ග්ලැසියර දියවීම නිසා නේපාලය එවරස්ට්හී මූලික කඳවුර ඉවත් කිරීමට සැරසෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් නේපාලය එවරස්ට්හී මූලික කඳවුර ඉවත ගෙන යාමට සූදානම් වේ.
වසන්ත ඍතුවේ කඳු නැගීම සඳහා පුද්ගලයින් 1,500 ක් පමණ භාවිතා කරන මෙම කඳවුර පිහිටා ඇත්තේ ශීඝ්‍රයෙන් තුනී වන කුඹු ග්ලැසියරය (Khumbu glacier) මතය.
වසර පුරා හිම නොවැටෙන, අඩු උසක පිහිටි නව ස්ථානයක් සොයා ගැනීමට නියමිත බව නිලධාරියෙක් බීබීසීයට පැවසීය.
පර්යේෂකයන් පවසන පරිදි දියවන ජලය නිසා ග්ලැසියරය අස්ථාවර වී ඇති අතර කඳු නගින්නන් පවසන්නේ ඔවුන් බලා සිටියදී ම මූලික කඳවුරේ (base camp) ඉරි තැලීම් ඇතිවන බවයි.
නේපාලයේ සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තාරානාත් අධිකාරි බීබීසීය වෙත පැවසුවේ "අපි දැන් එය වෙනත් ස්ථානයක ස්ථානගත කිරීම සඳහා සූදානම් වෙමින් සිටිනවා. අපි ඉක්මනින් සියලුම පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා ආරම්භ කරනවා."
"මේක මේ මූලික කඳවුරේ අපි දකින වෙනස්කම් වලට අනුවර්තනය වෙනවා විතරයි. කඳු නැගීමේ ව්‍යාපාරයේ තිරසාරභාවය සඳහා එහෙම කරන්න සිද්ධ වෙලා තියෙනවා."
කඳවුර දැනට මීටර් 5,364 ක උසක පිහිටා ඇත. නව ස්ථානය මීටර් 200 සිට 400 දක්වා අඩු වනු ඇතැයි අධිකාරි පැවසීය.
එවරස්ට් කලාපයේ කඳු නැගීම සඳහා පහසුකම් සැලසීමට සහ අධීක්ෂණය කිරීම සඳහා නේපාල රජය පිහිටුවන ලද කමිටුවක නිර්දේශ අනුව මෙම සැලසුම් සකස් කර ඇත.

හිමාලයේ අනෙකුත් ග්ලැසියර මෙන්ම කුඹු ග්ලැසියරය ද ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ වේගයෙන් දිය වෙමින් තුනී වෙමින් පවතින බව විද්‍යාඥයින් සොයාගෙන ඇත.
2018 දී ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කරන ලද අධ්‍යයනයකින් පෙන්නුම් කළේ ග්ලැසියරයෙන් වසරකට ජලය ඝන මීටර් මිලියන 9.5 ක් අහිමි වන බවත්, මූලික කඳවුරට ආසන්න කොටස වසරකට මීටර් 1 කින් වේගයෙන් තුනී වන බවත්ය.
"මූලික කඳවුරු ප්‍රදේශයේ අයිස් තුනී වීමේ වේගය ග්ලැසියරයේ අනෙකුත් කොටස් වලට වඩා වැඩි බව අපට පෙනී ගියේ එහි තුනී පාෂාණ සහ ගල් සුන්බුන් තට්ටුවක් ඇති නිසා" යැයි පර්යේෂකයන්ගෙන් එක් අයෙකු වන ස්කොට් වොට්සන් බීබීසීයට පැවසීය.
වොට්සන් පැවසුවේ, ග්ලැසියරයෙන් වැඩි ප්‍රමාණයක් මෙම පාෂාණමය සුන්බුන් වලින් වැසී ඇති නමුත් ග්ලැසියරය වඩාත් අස්ථාවර වන්නේ අයිස් කඳු ලෙස හඳුන්වන නිරාවරණය වූ අයිස් ප්‍රදේශ දියවී යාමෙන් බවයි.
"අයිස් කඳු එසේ දියවෙද්දි, අයිස් කඳු මුදුනේ තියෙන ගල් හා පාෂාණ සුන්බුන් චලනය වෙලා වැටෙනවා. ඊට පස්සේ අයිස් දියවීම නිසා ජල කඳන් නිර්මාණය වෙනවා."
"ගල් වැටෙන එක වැඩිවෙන බව පේනවා. ග්ලැසියරයේ මතුපිට දියවුණු ජලය ගලන කරන එක අනතුරුදායකයි."
කඳු නගින්නන් සහ නේපාල බලධාරීන් පවසන්නේ මූලික කඳවුර මැදින් ඇති දිය පහරක් වසරින් වසර පුළුල් වන බවයි.
ග්ලැසියර මතුපිට ඉරිතැලීම් ඇතිවීම පෙරට වඩා නිතර සිදුවන බව ද ඔවුහු පවසති.
මාර්තු සිට මැයි අවසානය දක්වා පවතින වසන්ත ඍතුවේ කඳු නැගීමේ සමයේදී පිරිසිදු කිරීමේ වැඩසටහනකට නායකත්වය දෙමින් මූලික කඳවුරේ රැඳී සිටි නේපාල හමුදාවේ කර්නල් කිෂෝර් අධිකාරි පැවසුවේ "අපි නිදාගන්න තැන්වලත් රෑ එළි වෙද්දි ඉරි තලනවා," කියාය.

ඡායාරූප මූලාශ්‍රය, World Vlog Challenge
"එළි වෙද්දි අපි ගොඩක් අය ඒවා දැකලා බය වෙනවා. සමහරවිට අපි ඒවා ඇතුලට වැටෙන්නත් ඉඩ තිබුණා. පොළොව ඉක්මනට පුපුරලා යනවා. හරිම භයානකයි"
සාගර්මාතා පරිසර දූෂණ පාලන කමිටුවේ (SPCC) එවරස්ට් කඳවුරු කළමනාකරු ෂ'රිං ටෙන්සිං ශර්පා ද පැවසුවේ එය ම ය.
අයිස් චලනය වීම හෝ පාෂාණ කඩා වැටීම නිසා ඇතිවන විශාල ශබ්ද ද නිතර ඇසෙන බව ඔහු පැවසීය. මූලික කඳවුරේ කූඩාරමක් සැකසීමට පෙර අයිස් මත ඇති පාෂාණ ස්ථරයේ මතුපිට සමතලා කළ යුතු බවත්, ග්ලැසියරය චලනය වන විට මෙය වරින් වර සිදු කළ යුතු බවත් ඔහු පැවසීය.
"ඉස්සර සමතලා බිම වෙනස් වුණේ සති දෙක තුනකට පස්සේ. ඒත් දැන් ඒක සතිපතාම සිද්ධ වෙනවා," ඔහු පැවසීය.
මූලික කඳවුරේ ස්ථානය මාරු කළ යුතු බවට නිර්දේශ කළ කමිටුවේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන කිම්ලාල් ගෞතම් පැවසුවේ කඳවුරේ විශාල පිරිසක් සිටීම ද මෙම ගැටලුවට දායක වන බවයි.
"උදාහරණයක් විදියට, මූලික කඳවුරේ දවසකට ලීටර් 4,000 ක් විතර මිනිසුන් මුත්‍රා කරන බව අපට පෙනී ගියා," ඔහු පැවසීය.
"ඒ වගේම ආහාර පිසීමට සහ උණුසුම ලබා ගන්න භූමිතෙල්, ගෑස් පත්තු කළාම ග්ලැසියරයේ අයිස්වලට ඒක අනිවාර්යයෙන්ම බලපානවා."
කඳු මාර්ගෝපදේශ සමාගමක් වන ඇල්පන්ග්ලෝ එක්ස්පෙඩිෂන්ස් හි නිර්මාතෘ ඒඩ්‍රියන් බේලින්ගර් මෙම කඳවුරේ ස්ථාන මාරුව පිළිබඳ තීරණයට එකඟ වූ අතර, අනාගතයේ දී වත්මන් මූලික කඳවුරු ප්‍රදේශයේ තවත් හිම කුණාටු, අයිස් වැටීම් සහ පාෂාණ වැටීම් සිදුවනු ඇතැයි පුරෝකථනය කළේය.
මින් සිදුවන ප්‍රධාන අවාසිය නම්, මූලික කඳවුරේ සිට කන්දේ මීළඟ නැවතුම වන පළමු කඳවුර අතර පවතින උස වැඩි වීමයි.
බොහෝ කඳු නගින්නන් තවමත් නේපාලය පැත්තෙන් එවරස්ට් තරණය කරන නමුත් චීනයෙන් ගමන අරඹන සංඛ්‍යාව ද වැඩි වෙමින් පවතී.
SPCC හි ෂර්පා පැවසුවේ ගැටළු තිබෙන නමුත් වර්තමානයේ මූලික කඳවුරු භූමිය තවමත් ස්ථාවර බව යි. තවත් වසර තුන හතරක් දක්වා එය භාවිතා කළ හැකි බව ඔහු කියයි.
නමුත් නේපාල බලධාරීන් පවසන්නේ 2024 වන විට මෙම ස්ථාන මාරුව සිදු විය හැකි බවයි.
"අපි මූලික කඳවුරේ තාක්ෂණික හා පාරිසරික අංශ තක්සේරු කළා. ඒත් අපි එය වෙන තැනකට ගෙනියන්න කලින් ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ සංස්කෘතියට සිද්ධ වෙන බලපෑම වගේ අනෙකුත් අංශ ගැනත් සාකච්ඡා කරලා බලන්න වේවි," අධිකාරි පැවසීය.
"අපි එය කරන්නේ සියලුම පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් පසුවයි."










