එවරස්ට්: යු‍ක්රේන යුද්ධයෙන් එවරස්ට් කන්ද ආශ්‍රිත ආර්ථිකයට පහරක්

Guides and tents at base camp

ඡායාරූප මූලාශ්‍රය, BBC/Anbarasan

ආන්ග් සර්කි ෂර්පාවරයා යෙදී සිටින්නේ ලෝකයේ භයානකම රැකියාවක ය. නමුත් ඔහු එහි යෙදෙද්දී තව තවත් අවදානම් ගනියි. නේපාලයේ ඉතාමත්ම පළපුරුදු මාර්ගෝපදේශකයින් (මොවුන් 'අයිස්ෆෝල් ඩොක්ටර්ස්' යනුවෙන් ද හැඳින්වෙයි) අතර මුල් තැනක් ගන්නා ඔහුගේ රැකියාව වන්නේ ලොව උසම කන්ද වන එවරස්ට් නගින්නන් සඳහා ඒ මඟ ලණු සහ ඇලුමිනියම් ඉණිමං සවි කිරීම යි.

අයිස් ඉරිතැලීම් සහ ග්ලැසියර දියවීම පිළිබඳ නිරන්තර අවබෝධයෙන් යුතු ඔවුන් නිසා සෑම වසරකම කඳු නගින්නන් සිය ගණනකට නේපාලය දෙසින් එවරස්ට් තරණය කිරීමට හැකි වේ. ඔවුන්ගේ රැකියාව එවරස්ට්හි මූලික කඳවුරෙන් (බේස් කෑම්ප්) ඇරඹෙන අතර, අප්‍රේල් සහ මැයි මාසවල දී ඔවුන් මේ සඳහා එකට එක්වේ.

මෑත වසරවල දී නිරන්තරයෙන් ඇතිවූ මාරාන්තික හිමපාතයන් ද, ඉන්පසු 2020 වසරේ දී පැමිණි කොවිඩ් ද නිසා එවරස්ට් තරණයට එන සංචාරකයන්ගේ දැඩි අඩුවක් ඇතිව පැවතුණි. සංචාරකයින් ගණන වසංගතයට පෙර පැමිණි සංඛ්‍යාවන්ට ළඟාවනු ඇතැ යි යන බලාපොරොත්තුව මෑතක දී බිඳ වැටුණේ යුක්රේනයේ යුද්ධය ඇරඹීම හේතුවෙනි.

සිය කහ පැහැ කූඩාරම ඉදිරියේ සිටගෙන සිටි 50 හැවිරිදි ෂර්පාවරයා අත දිගුකර, ඉහළින් පිහිටි කුම්බු හිමඇල්ල පෙන්වා සිටියේ ය.

This aerial picture taken on April 18, 2021 shows climbers crossing the Khumbu icefall of Mount Everest, as seen from the Everest Base Camp, some 140 km northeast of Kathmandu

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, කුම්බු හිමඇල්ල - ගිය වසරේ ගත් ඡායාරූපයක්

"අතන අවදානම් කලාපවලින් එකක්. ඒ හරියේ හිම අතරේ ග්ලැසියර පිපිරුම් තියෙනවා. පරිස්සම් නොවුණොත් ඒවාට වැටෙන්න පුළුවන්. කඹ දාලා පාරක් හැදුවත් මාසයක් යනකොට ඒක අතුරුදන් වෙනවා. මේක හරිම අවදානම් රස්සාවක්," ඔහු BBC හා පැවසුවේ ය.

BBCය එහි යනවිට ෂර්පාවරයා හා ඔහුගේ නායකත්වයෙන් යුත් මාර්ගෝපදේශයෝ සයදෙනෙක්ගෙන් යුතු කණ්ඩායම උන්නතාංශයට හුරුවෙමින් සිටියහ. ඔවුහු කඹ හා ඉනිමං ආදී සිය ආම්පන්න ගොඩගැසූ කූඩාරම් අසල සිට තේ පානය කරමින් සිටියහ.

'අයිස්ෆෝල් ඩොක්ටර්ස්ලාගේ' වගකීම වන්නේ පළමු හා දෙවන කඳවුරු දෙක අතර ආරක්ෂිතම මාර්ගය හඳුනාගෙන කඹවලින් සලකුණු කිරීම යි. එතැන් සිට ඉහළට කඳු මුදුන දක්වා කටයුතු කිරීමට තවත් කණ්ඩායම් සිටියි.

Ang Sarki Sherpa

ඡායාරූප මූලාශ්‍රය, BBC/Anbarasan

ඡායාරූප ශීර්ෂ වැකිය, මේ, ආන්ග් සර්කි ෂර්පාවරයාටත්, ඔහුගේ කණ්ඩායමටත් වසරේ කාර්යයබහුලම කාලය යි

2014 වර්ෂයේ දී කුම්බු හිමඇල්ලට ඉහළින් ඇතිවූ හිමපාතයක් හේතුවෙන් ලණු සවිකරමින් සිටි මාර්ගෝපදේශකයන් 16 දෙනෙකු මියගියේ ය. ඉන් වසරකට පසුව, නේපාලයේ ඇතිවූ විශාල භූමිකම්පාවකින් ඇතිකරන ලද හිමපාතයෙන් පුද්ගලයෝ 19 දෙනෙකු මියගියහ.

එවරස්ට් කලාපයේ කඳු නැගීම වසංගතය නිසා දැඩි ලෙස අඩුවී තිබේ. මෙවර යන්තම් එය හිස ඔසවද්දීම රුසියාව යුක්රේනය ආක්‍රමණය කළේ ය.

"යුද්ධය නිසා එම කලාපයේ සංචාරක කණ්ඩායම් ගණනාවක් ඔවුන්ගේ සැලසුම් අවලංගු කරපුබව අපට ආරංචි වුණා. ඒ නිසා, මේ වසරේ ගොඩක් කඳු තරණයන් සිද්ධවෙන එකක් නැහැ," ෂර්පාවරයා පැවසීය.

Sherpas and belongings outside their tents at base camp

ඡායාරූප මූලාශ්‍රය, BBC/Anbarasan

ඡායාරූප ශීර්ෂ වැකිය, 'අයිස්ෆෝල් ඩොක්ටර්ස්ලාගේ' වගකීම වන්නේ පළමු හා දෙවන කඳවුරු දෙක අතර ආරක්ෂිතම මාර්ගය හඳුනාගෙන කඹවලින් සලකුණු කිරීම යි

මූලික කඳවුරට පැමිණෙන්නේ, මීටර් 8,848ක් උසින් පිහිටි එවරස්ට් කඳු මුදුනට ළඟාවීමට බලාපොරොත්තු වන පිරිස පමණක් නොවේ.

මුහුදු මට්ටමේ සිට මීටර් 5,400කට ආසන්න උසකින් පිහිටි මූලික කඳවුර කරා කන්ද තරණය කිරීමට සෑම වසරකම ලොව පුරා දසදහස් ගණනක් සංචාරකයින් පැමිණෙයි.

එවරස්ට් කලාපයට පිවිසුම් දොරටුව වන ලුක්ලා නගරයෙන් ආරම්භ වන මෙම ගමන සම්පූර්ණ කිරීමට සති දෙකක් පමණ ගතවිය හැකි ය.

2020 දී කොවිඩ් වසංගතය පැමිණීමෙන් පසු, 2021 දී නේපාලය එවරස්ට් නැගීමට කඳු නගින්නන්ට අවසර දුන් අතර කඳු මුදුනට යාමට බලපත්‍ර 408ක් නිකුත් කළේ ය. මේ වසරේ අප්‍රේල් 19 වන විට නේපාල සංචාරක අමාත්‍යාංශය නිකුත්කර තිබුණේ කඳු නැගීමේ බලපත්‍ර 287ක් පමණි.

"යුද්ධය නිසා මේ අවුරුද්දේ රුසියාවෙන් සහ යුක්රේනයෙන් පැමිණෙන කඳු නගින්නන් අඩු වෙලා. තාම එවරස්ට් තරණය කරන්න ආවේ එක් යුක්රේනියානු කඳු නගින්නෙකු විතරයි," එරට සංචාරක දෙපාර්තමේන්තුවේ කඳු නැගීමේ අංශයේ අධ්‍යක්ෂ සූර්ය ප්‍රසාද් උපාධ්‍යාය පවසයි.

රුසියානුවන් 17 දෙනෙකුට එවරස්ට් තරණය කිරීමේ බලපත්‍ර නිකුත්කර ඇති අතර, තවත් අය තමා නොපැමිණෙන නිසා බලපත් අවලංගු කරගෙන තිබේ. යුද්ධය නිසා පැණවුණු ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන් රුසියානුවන්ගේ මුදල් ඒකකය වන රූබල්වල වටිනාකම කඩා වැටී තිබේ. එසේම විදේශ මුදල් ලබා ගැනීමේ දුෂ්කරතා ද මතුව ඇත.

Supplies at base camp

ඡායාරූප මූලාශ්‍රය, BBC/Anbarasan

ඡායාරූප ශීර්ෂ වැකිය, කඳු තරණ සාමය ගෙවාගැනීමට අවශ්‍ය බඩුබාහිරාදිය ෂර්පාවරුන්ගේ කූඩාරම් වටා ගොඩගසා තිබේ

මූලික කඳවුර දක්වා පිහිටි කුඩා ගම්මාන, දහස් ගණනක් කඳු නගින්නන්ට ජීවනාලිය මෙන් විය. නමුත් මෙහිදී ද යුක්රේන යුද්ධයේ බලපෑම දැනී තිබේ.

"යුද්ධය ආරම්භ වුණාට පස්සේ ඉන්ධන සහ බඩු මිල ඉහළ ගියා. අපිට මේ ව්‍යාපාරය කරගෙන යන්න ඒ දේවල් අවශ්‍ය යි. මිල තවත් ඉහළ යන බව අපට ආරංචියි. ඒක කණගාටුදායක යි," පක්ඩිං ගමේ නවාතැන්පළක් පවත්වාගෙන යන ආන්ග් දාවා ෂර්පාවරයා පවසයි.

නේපාල රජය මේ වසර තුළ පමණක් සිව් වතාවක් පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩිකර ඇති අතර, එනිසා සැපයුම් ගෙන ඒම මිල අධික වී තිබේ.

මෑත වසරවල එවරස්ට් වෙත පැමිණෙන්නන් සංඛ්‍යාව වැඩිවත්ම, කඳු නගින මාර්ගයන් ජනාකීර්ණ වී ඇත්ද යන ගැටලුව මතුවිය.

2019 දී ගත් ඡායාරූපයක, සිය ගණනක් දෙනා හිමෙන් වැසුණු මාර්ගයේ තම වාරය එනතුරු පෝළිමේ රැඳී සිටිනු දැක්වුණු අතර, එසේ සිටීම ආරක්ෂාකාරී ද යන ගැටලුව ඉදිරිපත් වුණි.

රජය පවසන්නේ තත්ත්වය සමනය කිරීමට පියවර ගෙන ඇති බව යි.

"අපි එවරස්ට් ජනාකීර්ණවීමේ ගැටලුව විසඳන්න කටයුතු කරගෙන යනවා. අපගේ අමාත්‍යාංශය කඳු නගින්නන්ට දිගුකාලීන බලපත්‍ර ලබා දීමට කටයුතු කරමින් සිටිනවා. එය සංචාර නියාමනය කිරීමට උපකාරී වෙනවා," කත්මණ්ඩුහි සංචාරක අමාත්‍යාංශයේ ලේකම් මහේෂ්වර් නියුපානේ පවසයි.

This picture taken on May 21, 2018 shows discarded climbing equipment and rubbish scattered around Camp 4 of Mount Everest.

ඡායාරූප මූලාශ්‍රය, Dom Sherpa/AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 2018 දී, ඉවත දැමූ උපකරණ සහ දමාගිය කුණුකසල ආදියෙන් සිව්වන කඳවුර වටවී ඇති අයුරු

ඔහු පවසන්නේ ගවේශන කණ්ඩායම් නිරීක්ෂණය කිරීම සඳහා පස්දෙනෙකුගෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් කඳු නැගීමේ සමය පුරාම මූලික කඳවුරට යොදවන බවයි.

පැමිණෙන්නන් දමා යන කුණුකසල ද තවත් ගැටලුවකි.

"ඒක අපට කනස්සල්ලට කරුණක්. එවරස්ට් සහ අනෙකුත් කඳු මුදුන්වල ඉතිරි වූ කුණු, මළ සිරුරු සහ අනෙකුත් අපද්‍රව්‍ය තවමත් පවතිනවා," සාගර්මාතා ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන පාලක තැන වන භූමිරාජ් උපාධ්‍යාය BBCයට පවසයි.

"නේපාල හමුදාව දැන් ඒවා ඉවත් කිරීමට කටයුතු කරන නමුත් ඒක දුෂ්කර ක්‍රියාවලියක්."