කොවිඩ්: වසංගතය නිසා අලි ඇතුන් විකිණීමට සිදුවූ නේපාල 'සෆාරි' ව්‍යාපාරිකයන්ගේ කතාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, පනීන්ද්‍ර දහාල්
- Role, BBC නේපාල අංශය
පිටෙහි මගී ආසන සවිකරන ලද අලි ඇත්තු හිමාලය කඳු පාමුල වනගත අඩිපාරවල ඇවිද යති. එම ආසන මත හිඳ සිටින සංචාරකයන්ගෙන් වැඩිදෙනෙක් වනසතුන් නරඹන්නේ පළමු වරටය.
වනසත්වලෝලී සංචාරකයකුගේ ඇස ගැටෙන්නේ ඇතැම්විට කොටියකු හෝ ව්‍යාඝ්‍රයකු විය හැකිය. මෙය තනි අඟක් සහිත රයිනෝසරයන් සරන නේපාලයේ 'චිත්වාන්'(Chitwan) ජාතික වනෝද්‍යානයයි. එය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශ කරන ලද වන බිමකි.
'චිත්වාන්' අලි සම්පත යොදාගනු ලබන 'සෆාරි' විනෝද චාරිකා සංචාරකයන් ආකර්ෂණය කරගනු ලබන වැඩ පිළිවෙලක් වූ අතර එය ප්‍රදේශවාසීන්ට ද ආදායම් මාර්ගයක් වී තිබුණි.
එහෙත් ඒ අතරවාරයේ කොරෝනා වෛරසය විසින් නේපාලයේ සංචාරක කර්මාන්තයට විශාල අලාභයක් සිදුකරනු ලැබ ඇති අතර ඇතැම් සංවිධායකයන්ට ඔවුන් සතු අලි ඇතුන් විකුණා දැමීමට බලකෙරෙන තත්ත්වයක් පවා උද්ගත කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අපි ඔහු 'සුමන්' යනුවෙන් හඳුන්වමු. ඔහු සිය අනන්‍යතාව හඳුනා ගැනීම වළක්වනු පිණිස එනමින් පෙනී සිටියි. සුමන් 'චිත්වාන්' වනගැබ නැරඹීමට එන සංචාරකයන් සඳහා දශක කීපයක් තිස්සේ 'සෆාරි' චාරිකා සංවිධානය කරන අතළොස්සක් වූ හෝටල් හිමියන් අතර එක් ව්‍යාපාරිකයෙකි.
'සුමන්' 1980 දශකයේ සිය ව්‍යාපාරික කටයුතු ආරම්භකර තිබෙන්නේ නේපාල ජාතික ධනවතුන් සතු අලි ඇතුන් කුලියට ගැනීමෙනි. ඉතා ටික කලකින් තමාගේම අයිතිය මත අලි දෙදෙනෙක් ඉන්දියාවෙන් මිලට ගැනීමට තරම් සුමන් ආර්ථික අතින් පොහොසත් විය.
''අලි වනගත ප්‍රදේශවල 'සෆාරි' චාරිකා සඳහා හොඳින් ගැලපෙනවා'' සුමන් පවසයි.
''අලි ඇතුන් පිට ගමන් ගැනීමේ දී සංචාරකයන්ට ඔවුන්ගේ ගමන ඉතා සතුටින් ගතකරන්න පුළුවන් වගේම දුර්ලභ වනසතුන් ඇතුළත් හොඳම දර්ශන දැකගන්නත් ඔවුන්ට අවස්ථාව ලැබෙනවා''
අලි ඇතුන් නඩත්තු වියදම
වැඩුණු අලියෙක් සුමන් වැනි තම හාම්පුතුන් වෙනුවෙන් එක මාසයකට ඇමෙරිකානු ඩොලර් 1250ක් වැනි ලාභයක් උපයාදෙයි. එය හිමාල අඩවියේ පිහිටි භූමියෙන් වටවූ නේපාලයට හොඳ ආදායමකි.
එහෙත් කොරෝනා වසංගතය විසින් සිදුකරන ලද අලාභය කුමක්ද? සංචාරක කර්මාන්තය සඳහා තහංචි පනවනු ලැබුණි. ප්‍රතිඵලය වූයේ 'සෆාරි' සේවාවන් පවත්වා ගෙනගිය 'සුමන්' වැනි ව්‍යාපාරිකයන්ට තම අලිඇතුන් විකුණා දැමීමට සිදුවීමය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
''අලි ඇතුන් නඩත්තු කිරීමේ දී ඔවුන්ට ආහාර සහ බේත්හේත් සම්පාදනය කිරීමට සැලකිය යුතු මුදලක් වැය කිරීමට සිදුවෙනවා'' සුමන් පවසයි.
''මේ වසංගතය දීර්ඝ කාලයක් බලපැවැත්වුණොත් එම වියදම් දැරීම දුෂ්කර කටයුත්තක් වෙනවා''
අලියකු නඩත්තු කිරීමේ දී ආහාර සඳහා පමණක් සුමන් මාසයකට ඩොලර් දහකට ආසන්න මුදලක් වියදම් කරයි. එහෙත් කොරෝනා වසංගතය හමුවේ සිය ආදායම් පහත වැටීම නිසා තමා සතු එක අලියකු ඉන්දියානු ජාතිකයකුට විකුණා දැමීමට මෙම අලි අයිතිකරු තීරණය කළේය.
එම අලියා විකිණීමෙන් විශාල ලාභයක් ලැබෙන නමුත් සෙසු වියදම් නිසා එම මුදල ඉතා ඉක්මනින් ක්ෂයවන බවද සුමන් පවසයි.
''දැන් 'බිස්නස්' නැහැ. අතේ තිබුණ සල්ලිටික ණය ගෙවන්න, සෆාරි කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවන්න සහ අලුත්වැඩියා සඳහා වියදම් කළා''
''මගේ යාළුවා අලියා''
සුමන් පවසන පරිදි අලියකු යනු ''ව්‍යාපාරික වශයෙන් ආදායම් ඉපයීමේ ධන උල්පතකින් එහාගිය'' සම්පතකි.

ඡායාරූප මූලාශ්‍රය, Ishwor Joshi
''මම මගේ අලියකුට පළතුරු හෝ 'කෝලිෆ්ලවර්' දෙනකොට ඔවුන්ගෙන් සංඥාවක් ලැබෙනවා''සුමන් පවසයි.
''මම අලියා ළඟට යනකොට මා ඇස ගැටීමත් සමඟ ශබ්ද කරනවා''
අලින් බලාගැනීම ඇත්ගොව්වන්ට භාර දී ඇතත් තමාට හැකි සෑම මොහොතකම අලින් සමඟ කාලය ගතකරන බවත් සුමන් සඳහන් කළේය.
''විශේෂ වූ අලින් ඉතා දැඩි අධිෂ්ඨානශීලී ජීවීන් වන අතර ඔවුන් කොටි, ව්‍යාඝ්‍රයන්ටවත් බියපත් නොවන'' බවත් සුමන් සිහිපත් කරයි.
''කොටියකු ගැවසෙන බවට ඉව වැටුණොත් අලියෙක් සාමාන්‍යයෙන් ඉදිරියට යාම අතින් මැලිකමක් දක්වනවා. නමුත් අලියා ඇත්ගොව්වාගේ අණ පිළිපදිනවා. අලි කියන්නේ හරිම විනයක් තියෙන සත්තු''
තමා විසින් විකුණා දමන ලද අලියා අවසානයේදී ඉන්දියාවේ ධනවතකුගේ සුරතලකු හෝ කෝවිලක පෙරහැරවලට යොදාගනු ඇතැයි සුමන් උපකල්පනය කරයි.
එම අලියා විකුණා දැමීමෙන් පසු තමාගේ සෙසු අලිඇතුන් බලවත් විප්‍රයෝගයකින් පෙලෙන බවක් දක්නට ලැබුණු බවත් එම අලිඇතුන් සාමන්‍ය තත්ත්වයට පත්වීමට දින ගණනාවක් ගතවූ බවත් ඔහු සඳහන් කළේ සංවේදී ස්වරූපයෙනි.
නේපාල සෆාරි ව්‍යාපාරයේ අනාගතය කුමක්ද?
තම ව්‍යාපාර පෙනෙන අනාගතයක යළි යථා තත්ත්වයට පත්වීමක් පිළිබඳ අපේක්ෂාවක් නේපාලයේ සෆාරි සංචාර සංවිධායකයන් තුළ නොමැත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නේපාල ආගමන-විගමන දෙපාර්තමේන්තුව පවසන ආකාරයට 2019 වර්ෂයට සාපේක්‍ෂව 2020 දී රට තුළට සංචාරකයන්ගේ පැමිණීම 80%කින් පහත වැටුණි.
එවැනි වාතාවරණයක් යටතේ අලින් විකුණා දැමීමට සිදු වූ එකම නේපාල ව්‍යාපාරිකයා සුමන් පමණක් නොවේ. එම ව්‍යාපාරයේ නිරත වෙනත් පුද්ගලයන්ට ද ඔවුන්ගේ අලි ඇතුන් විකුණා දැමීමට සිදුවිය. එය දුර්ලභ වනජීවීන් විකිණීම තහනම් කෙරෙන ආණ්ඩුවේ නීතිය උල්ලංඝනය කිරීමකි.
වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වනජීවීන් සහ ශාක විකිණීම තහනම් කෙරුණු ජගත් සම්මුතියට ඉන්දියාව සහ නේපාලය අත්සන් තබා ඇත.
''වසංගතය ආරම්භවීමට පෙර පෞද්ගලික අයිතියට යටත් අලිඇතුන් 55ක් හිටියා. දැන් එම සංඛ්‍යාව 35කට පහත වැටිලා'' චිත්වාන් වනෝද්‍යානයේ අලි ඇතුන් පිළිබඳ සහයෝගීතා සංවිධානයේ සභාපති රිෂි තිවාරි (Rishi Tiwari) පවසයි.
අලි ඇතුන් සඳහා විශේෂ තණබිම් ඇතිකිරීමට සහ දැනට මුහුණ දී සිටින දුෂ්කරතාවන් සැහැල්ලුකර ගැනීම සඳහා ණය සැපයීම වැනි පියවර රජය පාර්ශවයෙන් ගතයුතුව ඇති බවත් රිෂි තිවාරි සඳහන් කළේය.
එහෙත් නේපාල ආණ්ඩුව කියා සිටින්නේ සංරක්‍ෂිත කලාපයන්හි තණ බුදීමේ වරම ව්‍යාපාරයන්හි යොදාගනු ලබන හීලෑ අලින්ට දිය නොහැකි බවය. ඒ අතරම අලින් දේශසීමා ඔස්සේ ගමන් කිරීම නතර කිරීමට නිලධාරීහු විපරමින් පසුවෙති.
හීලෑ අලින් සංචාරකයන් පිනවීමට යොදාගනු ලබන ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ තායිලන්තය වැනි බොහෝ රටවල අලි අයිතිකරුවන් මූල්‍ය වියදම් අතින් දැඩි දුෂ්කර තත්ත්වයන්ට මුහුණදෙමින් සිටිති.
තවත් අලි නැහැ
මෑත අවුරුදුවල සෆාරි ව්‍යාපාරිකයන් මුහුණදුන් තවත් ගැටලුවක් වූයේ සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන සංවිධාන කෙරෙන් එල්ල වූ බලපෑමය.
අලි පිට විනෝද සංචාරයන්හි නිරත කරවනු ලැබීම සහමුලින්ම තහනම් කළ යුතුව ඇතැයි සත්ත්ව අයිතිය වෙනුවෙන් පෙනීසිටින ඇතැමුන් අවධාරණය කරද්දී තවත් ක්‍රියාකාරිකයන් කියාසිටින්නේ 'සෆාරි' සඳහා යොදාගනු ලබන අලිඅතුන්ට හොඳින් සත්කාර කළ යුතු බවය.

ඡායාරූප මූලාශ්‍රය, Ishwor Joshi
''ඇතැම් අලිකාරයන් තුළ මතයක් තිබුණා - පහරදීම මගින් අලින් පාලනය කරගන්න පුළුවන් කියල, නමුත් දැන් ඒ මතයේ සැලකිය යුතු වෙනසක් සිදුවෙලා තියෙනව'' සුමන් සඳහන් කළේය.
සුමන් පවසන පරිදි ඔහු සිය අලින්ට හොඳින් සත්කාර කිරීමට සුදුසු මට්ටමින් ඇත්ගොව්වන්ට පුහුණුවක් ලබා දී ඇත. එහෙත් සත්ත්ව අයිතිය වෙනුවෙන් පෙනීසිටින උද්ඝෝෂකයන්ගේ සියලු ඉල්ලීම් සපුරාලීම සිදුකළ නොහැක යන්න ඔහුගේ අදහස වී ඇත.
''අලියා විලංගු දමා බැඳ ආවරණයක් යට රඳවා තැබුවේ නැත්නම්,ඔවුන් පැනල යනවා''
සත්ත්ව අයිතිය වෙනුවෙන් පෙනීසිටින ක්‍රියාධරයන්ගේ උද්ඝෝෂණ නිසා යම්කිසි බලපෑමක් දැනටමත් සිදුව ඇත. ඔහුගේ අලිපිට ගමන්ගන්නා සංචාරකයින්ගේ සංඛ්‍යාව දිනෙන් දින පහත වැටුණි.
අලි පිට ගමන් ගැනීම වෙනුවට සතුන් පිටුපස පාගමනින් ගොස් නැරඹීමේ විකල්ප වැඩ පිළිවෙලක් 'චිත්වාන්' වනෝද්‍යානයේ නිවාඩු නිකේතනයක් මගින් දැනටමත් හඳුන්වා දී ඇත.
''මම තවත් අලි ඇතුන් මිලට ගන්නේ නැහැ'' එය සුමන්ගේ නිගමනයයි.
''ඉදිරි කාලය තුළ අපේ රටේ සංචාරක කර්මාන්තයේ විශාල වෙනසක් වේවි. එදාට අලි ඇතුන් සෆාරි සංචාරවලට යොදා නොගනීවි''
කියවන්න;









