ආගන්තුක අලින් සැරිසරන ගම්බිම්

උඩවලව ජාතික වනෝද්‍යානය අසල උක්ගස් වෙළඳාමේ නිරත දරුවෙක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, උඩවලව ජාතික වනෝද්‍යානය අසල උක්ගස් වෙළඳාමේ නිරත දරුවෙක්

වෙනත් ප්‍රදේශවල වෙසෙන ප්‍රචණ්ඩ වන අලි අල්ලා ගෙනවිත් උඩවලව ජාතික වනෝද්‍යානයට මුදා හැරීම හේතුවෙන් වන අලි උවදුර තවත් උග්‍ර වී ඇති බව වනෝද්‍යානය අවට ගම්මානවල වෙසෙන ජනතාව පවසති.

උඩවලව ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර මායිමේ පිහිටි මොනරාගල දිස්ත්‍රික්කයට අයත් හම්බෙගමුව සහ ඒ අවට ප්‍රදේශවල රාත්‍රි කාලයට පමණක් සීමා වී තිබූ වන අලි තර්ජනයට දහවල් කාලයේත් මුහුණ දීමට සිදු වී ඇති බවයි ප්‍රදේශවාසීන් කියා සිටින්නේ.

'වෙනදා දවල් අලි ආවේ නැහැ. දැන් මේ හරක් ගානට අලි ඉන්නේ. හරක් කන්නා වගේ ගොයම් කන්නේ' ප්‍රදේශවාසියෙක් සඳහන් කළේය.

වෙනත් ප්‍රදේශවලින් ගෙනවිත් උඩවලව වනෝද්‍යානය වෙත මුදා හළ ප්‍රචණ්ඩ වන අලි වෙලාවක් අවේලාවක් නොමැතිව ගම් වදින බව බලහරුව ප්‍රදේශයේ උදෑසන සිදු වූ වන අලි ප්‍රහාරයකින් දිවි බේරා ගත් පනස් අට හැවිරිදි ඒ.ජී.එම්. ජයරත්න පවසයි.

වන අලි ප්‍රහාරයෙන් සිය ජීවිතය බේරුනත් තම දහතුන් හැවිරිදි එකම මිනිබිරිය වන අලියාගේ ගොදුරක් බවට පත් වූ ආකාරය ඔහු කනගාටුවෙන් යුතුව සිහි කරයි.

අහිමි ජීවිත

වන අලි ප්‍රහාරයට ලක් වූ නිවසක්
ඡායාරූප ශීර්ෂ වැකිය, වන අලි ප්‍රහාරයට ලක් වූ නිවසක්

''දරුවත් අරං බයිසිකලේ යද්දී එකපාරම අලියා මාව හොඬවැලෙන් අල්ල ගත්තා. ඊට පස්සේ කරකවලා වීසි කළා. අඩි එකොළහක් විතර උස අලියෙක්. මීට කලින් දැකලා නෑ. කොහෙන් හරි ගෙනත් දාප එකෙක්. වීසි කලාට පස්සේ මට සිහිය නැති වුණා. බයිසිකලේ වාඩි වෙලා හිටපු දරුවා එක්ක බයිසිකලය වැටුණා. අලියා දරුවා පෑගුවා"

මේ අතර අලි දිවා රාත්‍රියේ ගම් වැදීම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට තදින් බලපා ඇති බව හම්බෙගමුව ද්විතීක විද්‍යාලයේ විදුහල්පතිනී ක්‍රිශාන්ති වීරසිංහ පෙන්වා දෙයි.

පෞද්ගලික සමාගම් සහ විවිධ පුද්ගලයන් විසින් ප්‍රදේශයේ ඉඩම් මහා පරිමාණයෙන් අත්පත් කර ගනු ලැබීම හේතුවෙන් වන අලි ගැවසෙන ප්‍රදේශවල බිම් ප්‍රමාණය අඩු වී ඇති බව ගොවි සංවිධාන ක්‍රියාකාරියකු වන එස්.පී සිරිසේන කියා සිටියි.

වන අලි ගම් වැදීමට එයත් එක් හේතුවක් වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හම්බෙගමුව, හම්බෙගමුව ජනපදය, බලහරුව, ගල්පොතුකන්ද, කලවැල්ගල, කිවුල, සූරියආර, කහකුරුල්ලන්පැලැස්ස, අලුත්වැව, පොකුණුතැන්න ආදී ගම්වල වැසියන් මේ වන විට නිරන්තරයෙන් වන අලි තර්ජනයට මුහුණ දෙන බවයි අජිත්ලාල් ශාන්තඋදය බීබීසී සිංහල සේවයට වාර්තා කළේ.

'අලි වෙඩි වෙනුවට පෙට්‍රල් '

වන අලියකුගේ ප්‍රහාරයට ලක් වී සිය මිනිබිරිය මරුමුවට පත් වූ බව පවසන ඒ.ජී.එම්. ජයරත්න
ඡායාරූප ශීර්ෂ වැකිය, වන අලියකුගේ ප්‍රහාරයට ලක් වී සිය මිනිබිරිය මරුමුවට පත් වූ බව පවසන ඒ.ජී.එම්. ජයරත්න

කලකට පෙර ඉහත කී ගම්මානවලට වන අලි තර්ජනයක් නොතිබූ බව පවසන කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියකු වන ටී.ඒ. නන්දසේන කියා සිටියේ මේ වන විට අලි වෙඩිවලට වන අලි හුරු වී ඇති බවයි.

ඒ හේතුවෙන් අලි පළවා හැරීම සඳහා හිංසාකාරී ක්‍රමවේද යොදා ගැනීමට ඇතැම් පුද්ගලයන් පෙලඹී ඇති බවත් ඔහු කියා සිටියේය.

''ග්‍රොසරි බෑග් වලට පෙට්‍රල් දාලා අලින්ගේ ඇඟට ඒ බෑග් වීසි කරලා තමයි අලි එළවන්නේ. පස්ස පැත්තට පෙට්‍රල් පාරක් ගැහුවම සතියකට විතර එන්නේ නෑ."

පිටස්තර ප්‍රදේශවලට අයත් ප්‍රචණ්ඩ වන අලි උඩවලව වනෝද්‍යානයට මුදා හරින බවට එල්ල වන චෝදනා වනජීවී දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් භාර සහකාර අධ්‍යක්ෂක ප්‍රශාන්ත විමලදාගේ ප්‍රතික්ෂේප කරයි.

''ඒක සාවද්‍ය කතාවක්. මිනී මරන, දේපල හානි කරන කිසිම අලියෙක් ගම්මානවලට මායිම් වූ වනෝද්‍යානවල ගෙනත් දමන්නේ නෑ. ඒක ප්‍රතිපත්තිමය තීරණයක්. හොරොව්පතානේ ඒ සඳහා විශේෂ තැනක් තියනවා.' ඔහු පැවසීය