එවරස්ට් කඳු නගින්නිය සුරක්ෂිතව යළි පැමිණෙයි

ඡායාරූප මූලාශ්‍රය, Jayanthi Kuru-Uthumpala
එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වූ ජයන්ති කුරු උතුම්පාල සුරක්ෂිතව නේපාලයේ කත්මන්ඩු අගනුවරට ලඟා වී සිටින්නීය.
මීට සති කිහිපයකට ඉහත දී යොහාන් පීරිස්ද සමඟ එවරස්ට් තරණය ආරම්භ කළ ජයන්ති, පසුගිය සෙනසුරාදා එවරස්ට් කඳු මුදුනට ළඟාවීමට සමත් වූවාය.
එහෙත් ඇය සමඟ කඳු මුදුනට ආසන්නයටම ලඟා වූ යොහාන් පීරිස්ට අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් සිය අපේක්ෂාව ඉටු කර ගත නොහැකි වූ බව ජයන්ති කුරු උතුම්පාල බීබීසී සංදේශයට සනාථ කළාය.
"අපරාදේ එයාට තව මීටර් සිය ගාණක් විතරයි තිබුණේ," යනුවෙන් සඳහන් කළ ඇය, ඒ මොහොතේ වැඩිදුර විස්තර හෙළි කළ නොහැකි බවත් කියා සිටියාය.

ඡායාරූප මූලාශ්‍රය, Jayanthi Kuru-Uthumpala
මේ වසරේ එවරස්ට් කන්ද තරණය කිරීමට උත්සාහ කළ තිදෙනකුවත් පසුගිය දින කිහිපය තුල මරණයට පත් වී තිබේ.
ඉන්දීය ජාතික සුභාෂ් පෝල් මියගොස් තිබෙන්නේ කන්ද තරණය කොට ශර්පා ජාතික මඟ පෙන්වන්නේකුගේ ආධාරයෙන් ආපසු බසිමින් සිටියදී.
ඔහු සමඟ සිටි තවත් ඉන්දීය කඳු නගින්නන් දෙදෙනෙක් කඳු මුදුන ආසන්නයේදී අතුරුදහන් වූහ.
නෙදර්ලන්ත ජාතිකයකු සහ ඕස්ට්‍රේලියානු කාන්තාවක්ද කන්ද මුදුනේ පීඩනය දරාගත නොහැකිව මරණයට පත් විය.
මේ වසරේ එවරස්ට් තරණය කිරීමේ වසන්ත කාල සටහන නිමා වෙද්දී තවත් තිස් දෙනකු පමණ රෝගාබාධවලට ගොදුරු වූහ.








