ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
20/20 තරගාවලියේ ජය ඉන්දියාවට
ආසියානු ක්‍රිකට් ශුර ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර 20/20 ක්‍රිකට් තරගාවලියේ 3 වැනි සහ අවසන් 20/20 ක්‍රිකට් තරගය ලකුණු 91කින් ජයගනිමින් ඉන්දියාව තරගාවලියේ ජය හිමි කර ගනු ලැබීය.
රාජ්කොට් සෞරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්විණි.
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම විසින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ශ්‍රී ලංකාවට ලකණු 229ක දැවැන්ත ඉලක්කයක් ලබා දෙනු ලැබීය.
ඉන්දීය පිතිකරු බලකායේ දක්ෂ පිතිකරුවෙකු වන සූර්යකුමාර් යාදව් විශිෂ්ට පිති හරඹයක නිරත වූ අතර පන්දු 51කින් නොදැවී ලකුණු 112ක් රැස්කිරීමට ඔහු සමත්විය.
ඊට හතරේ පහර 7ක් සහ 6 පහර 9ක් අයත්විය.
සූර්යකුමාර් යාද්ව්ගේ ප්‍රහාරක වේගය 219.60 ක් ලෙස වාර්තා විය.
ශුබ්මන් ගිල් ද පන්දු 36කින් වේගවත් ලකණු 46ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් තරගයට මනා ආරම්භයක් ලබා දීමට උත්සහ කළත් ඔවුන්ට සාර්ථක වීම ඉන්දීය පන්දු යවන්නන්ගේ බල ඇණියෙන් ඉඩක් නොවීය.
ලකුණු 229 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙකුට ලකුණු 23 සීමාව පසු කිරීමට ඉන්දීය පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොවීය.
කුසල් මෙන්ඩිස් සහ නායක දසුන් ශානක ලකුණු 23 බැගින් රැස් කළහ.
දසුන්ගේ එම ලකුණු 23ට 6 පහර 02ක් ද අයත්විය.
ඒ සමගම ඉන්දියාවට එරෙහි මෙම තරගාවලිය තුළ ඔහු එල්ල කළ 6 පහර සංඛ්‍යාව 9කි.
කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් පන්දුවාර 16.4ක දී දැවී ගියේ ලකුණු පුවරුව ලකුණු 137ක් ව තිබියදීය.
තරගයේ වීරයා ලෙස සූර්යකුමාර් යාදව් ද තරගාවලියේ වීරයා ලෙස අක්සාර් පටෙල් ද නම් කෙරිණි.
තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක කියා සිටියේ “මෙහෙට එන්න කලින් මම ටොප් ෆෝම් එකේ සිටියේ නැහැ. මම ක්‍රීඩා කළ ආකාරය ගැන ගොඩක් සතුටුයි. කණ්ඩායමේ ක්‍රීඩකයින් තරගාවලියට ක්‍රීඩා කළ ආකාරය බැලුහාම, ධනාත්මක කරුණු රාශියක් තිබුණා. ක්‍රීඩකයෝ ගොඩක් දියුණු වෙලා. ඔවුන් හොඳින් ක්‍රීඩා කරනවා දැකීම සතුටක්.”
ඔහු වැඩිදුරටත් පැවසුවේ “තරගාවලියට එනකොට මට ආබාධයක් තිබුන නිසා මම ප්‍රමාණවත් තරම් පන්දු යැව්වේ නැහැ. එක්දින තරගාවලියේදී වැඩිපුර පන්දු යවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. මට අවශ්‍ය වන්නේ පිටියේ ක්‍රීඩකයින් සැහැල්ලුවෙන් තබා ගැනීමටයි.”
ඉන්දීය කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යා පැවසුවේ “මගේ ආදර්ශ පාඨය මගේ ක්‍රීඩකයන්ට පිටුබලය දීමයි. මොවුන් T20 තරගවල හොඳම ක්‍රිකට් ක්‍රීඩකයින්. ජාත්‍යන්තර ක්‍රිකට්වල ඒ ගැන සැක කිරීමට තැනක් නැහැ. අපි ක්‍රීඩා කරපු විදිහ ගැන මම ගොඩක් සතුටු වුණා. අපි තරග කරපු විදිහ දැක්කම හිතට සතුටක් දැනෙනවා.”
තරගාවලියේ පළමු තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 2ක තියුණු ජයක් ලැබූ අතර දෙවැනි 20/20 තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 16ක ජයක් ලැබීය.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම 20/20 තරගාවලිය ජයගනු ලැබුවේ තරග 2- 1 ක් ලෙසය.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය බර්සපරාහි ඇසෑම් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනයේ දී ලබන 10 වැනිදා පැවැත්වීමට නියමිතය.