වසර 7කට පසු ශ්‍රී ලංකාව ඉන්දියාවේදී 20/20 තරගයක් ජයගනී

ලෝක ක්‍රිකට් පිටියේ උද්වේගකර තරගයක් නැරඹීට ක්‍රිකට් ලෝලීන්ට වාසනාව උදාකර දෙමින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දෙවැනි 20/20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 16ක ජයක් ලැබීය.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට සුවිශේෂී වන්නේ ක්‍රිකට් වාර්තා පොත අලුත් කළ තරගයක් වීම නිසාය.

වසර 7කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේදී 20/20 තරගයක් ජයගත් පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේදී 20/20 තරගයක් ජයග්‍රහණය කර තිබුණේ 2016 වර්ෂයේ පූනේ හීදීය.

තරග තුනකින් සමන්විත 20/20 තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු තරගයෙන් ඉන්දියාව ලකුණු 2ක තියුණු ජයක් ලබා තරගාවලියේ පෙරමුණ ගෙන සිටි බැවින් අද තරගය ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් විය.

පූනේ නගරයේ පිහිටි මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනයේදී අද (ජනවාරි 05 වැනිදා ) තරගය පැවැත්විණි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 6කට ලකුණු 206ක් රැස් කළේය.

ඉන්දියාවට එරෙහි වේගවත්ම ප්‍රහාරය දසුන්ගෙන්

දසුන් ශානක නායකත්වයේ සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ අතර ඔහු පන්දු 22 කින් නොදැවී ලකුණු 56ක් රැස් කළ අතර ඔහු සිය අර්ධ ශතකය රැසකර ගනු ලැබූවේ පන්දු 20කට මුහුණ දෙමිනි.

එය පන්දුවාර 20/20 ක්‍රිකට් තරගයකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස්කළ වේගවත්ම අර්ධ ශතකයයි.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ මහේල ජයවර්ධනය.

2007 වසරේදී මහේල කෙන්යාවට එරෙහිව පන්දු 21කින් අර්ධ ශතකයක් වාර්තාකර තිබුණි.

කුමාර් සංගක්කාරද 2009 වසරේදී ඉන්දියාවට එරෙහිව පන්දු 21කින් ලකණු 50ක් වාර්තාකළ අතර

කුසල් ජනිත් පෙරේරා 2018 වසරේදී ඉන්දියාවට එරෙහිව අර්ධ ශතකයක් වාර්තාකර තිබුණේ පන්දු 22කින්ය.

දසුන් ශානකගේ ඉනිම හතරේ පහර 2කින් සහ හයේ පහර 6කින් වර්ණවත් විය.

ඔහුගේ ප්‍රහාරත්මක වේගය (strike rates) 254.54 විය.

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වාර්තා කළ ඉහළම ප්‍රහාරත්මක වේගය මෙය වීම විශේෂත්වයකි.

කුසල් මෙන්ඩිස් පන්දු 31කින් ලකුණු 52ක් රැස් කළේය.

අවසන් පන්දුවාර 5හේදී ලකුණු 77ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට ලකුණු 207ක ඉලක්කයක් ලබා දුන්නේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරුවන්ට පිටියේ වැඩි වේලාවක් රැඳී සිටීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොවීය.

ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 57කදී බිඳ වැටුණේ ඉන්දියාවේ සිහින බොඳකරමිනි.

එහෙත් අනතුරුව පිටියට පිවිසි සූර්යකුමාර් යාදව්, අක්සාර් පටෙල් සහ ශිවම් මාවි ඉන්දියාවට ජයග්‍රහණය පිළිබඳ යම් බලාපොරොත්තුක් ඇති කරමින් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය සමීපයට රැගෙන එනු ලැබීය.

එහෙත් තරගයේ ජයග්‍රහණය සඳහා ඔවුන්ගේ එම උත්සාහය ප්‍රමාණවත් නොවීය.

කෙසේවෙතත් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අක්සාර් පටෙල් ද පන්දු 20කින් ලකුණු 50ක් රැස් කිරීමට සමත්විය.

අක්සාර් පටෙල් පන්දු 31කදී ලකුණු 65ක් රැස් කළ අතර සූර්යකුමාර් යාදව් පන්දු 36කින් ලකුණු 51 ක් රැස් කළේය.

ශිවම් මාවි පන්දු 15කින් ලකුණු 26ක් රැස් කිරීමට සමත්විය.

පන්දු යැවීමේදී දසුන් ශානක, කසුන් රාජිත සහ දිල්ෂාන් මදුෂංක කඩුලු 2ක් බැගින් දවා ගත්හ.

පිත්තෙන් දැක්වු දස්කම් වලට අමතරව අවසන් පන්දුවාරයේදී කඩුලු දෙකක් ද දවා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක තරගයේ වීරයා බවට පත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම ජයග්‍රහණයත් සමග තරග 3කින් සමන්විත 20/20 තරගාවලිය තරග 1- 1ක් ලෙස සමව පවතී.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 3 වැනි 20/20 තරගය ලබන 7 වැනිදා (සෙනසුරාදා) රාත්‍රී 7ට සෞරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ඉන්දියාවේ රාජ්කොට් පිහිටි එම ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගුජරාටයේ පළමු සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ක්‍රීඩාංගණයයි.

ඒ අනුව සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන මෙම 20/20 තරගාවලියේ ශූරතාව දිනා ගන්නේ ආසියානු ක්‍රිකට් ශූර ශ්‍රී ලංකාව ද නැතහොත් ඉන්දීයාව ද යන්න මෙම තරගයෙන් තීරණය වනු ඇත.