20/20 ලෝක කුසලානය:එංගලන්තය හා නවසීලන්තය ලෝක කුසලාන අවසන් පුර්ව වටයට

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන අද (නොවැම්බර් 7) උදෑසන දිවයිනට පැමිණියේ ය.

ගුවන් තොටුපළේ දී මාධ්‍ය අමතමින් මහේල ජයවර්ධන පැවසුවේ, "බොහෝමයක් තරගවල සුපුරුදු දක්ෂතා තිබුණට අවශ්‍යම තරගවල අපේ අතින් වැරදි වුණා.

මේ වගේ තරගාවලියක දී හොඳ කණ්ඩායම් එක්ක අතපසුවීම් කරලා ජයග්‍රහණය කරන්න අමාරු යි. විශේෂයෙන්ම ලෝක කුසලානය වගේ තරගාවලියක දි."

මහේල පෙන්වා දුන්නේ ඕස්ට්‍රේලියානු තණතීරුවලට හැඩගැසීම ක්‍රීඩකයින්ට අභියෝගයක්වූ බව ය.

"හැම තරගයක දීම හොඳ විදිහට තරගයට ප්‍රවේශවුණාට, ඒ තරග පුරාම ඒ මට්ටම තියාගෙන ගියේ නැහැ. කණ්ඩායම අතින් වැරදි වුණා. පිතිකරණ අංශයෙන්, පන්දු යවන අංශයෙන්, පන්දු රකින අංශයෙන්. ඉතින් ඔවුන්ට ඒ අත්දැකීම් එක්ක ඉදිරියට යන එකයි අවශ්‍ය වෙන්නේ," මහේල ජයවර්ධන වැඩිදුරටත් පැවසීය.

එංගලන්තය හා නවසීලන්තය ලෝක කුසලාන අවසන් පූර්ව වටයට

2022 ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට එංගලන්තය නොවැම්බර් 05 වැනිදා සුදුසුකම් ලැබුවේ ය.

ඒ, සුපිරි 12 තරග වටයේ දී ශ්‍රී ලංකාවට එරෙහි අතිශය තීරණාත්මක තරගය කඩුළු හතරකින් ජයගනිමිනි.

මෙම තරගය එංගලන්ත කණ්ඩායම ජය ලැබීමත් සමග ඕස්ට්‍රේලියාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ වරම් අහිමිවිය.

සුපිරි 12 කණ්ඩායම්වල පළමු කාණ්ඩයේ රටවල් අතරින් වැඩිම ලකුණු ලබමින් නවසීලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාසිටි අතර, ඊට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම වන්නේ ඕස්ට්‍රේලියාව ද එංගලන්තයදැ යි තීරණය කිරීම සඳහා අද තරගය දෙපිලටම තීරණාත්මක විය.

එංගලන්තය අද තරගය ජය ලැබීමත් සමග ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ ඔස්ට්‍රේලියාවේ ලෝක කුසලාන සිහිනය බොඳකර දමමිනි. ඒ අනුව පළමු කාණ්ඩයෙන් නවසීලන්තය හා එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත.

එංගලන්තයට එරෙහි තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර පන්දුවාර 20 අවසානයේ කඩුළු 8කට ඔවුන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 141කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්තය පන්දුවාර 19.4ක දී තරගය ජයග්‍රහණය කළේ කඩුළු 6ක් දැවී ලකුණු 144ක් රැස් කරමිනි.

සුපිරි 12 වටයේ දෙවන කාණ්ඩායේ තරග තුනක් හෙට දිනයේ දී පැවැත්වීමට නියමිත ය.

අවසන් පූර්ව වටයේ තරග නොවැම්බර් 9 වැනිදා ආරම්භ කිරීමට නියමිත ය.

2022 ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියේ ඉතාම තීරණාත්මක තරගයකට එංගලන්තය අද ශ්‍රී ලංකාවට එරෙහිව තරග වදියි.

ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු දැනටමත් ගිලිහීගොස් ඇත. එහෙත් එංගලන්තයට අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා අද තරගයේ ජයග්‍රහණය අත්‍යාවශ්‍ය සාධකයක් වනු ඇත.

ඒ අනුව ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයේ මෙන්ම ඕස්ට්‍රේලියාවේ ඉරණම ද ශ්‍රී ලංකාවට එරෙහි අද තරගයේ ජයග්‍රහණය මත තීරණය වනු ඇත.

අවසන් පුර්ව වටයට යන්නේ එංගලන්තය ද, ඕස්ට්‍රේලියාව ද ?

නවසීලන්තය පළමු කාණ්ඩයෙන් දැනටමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත. ඊට සූදුසුකම් ලබන දෙවැනි කණ්ඩායම වන්නේ ඕස්ට්‍රේලියාව ද, එංගලන්තය ද?

ක්‍රිකට්ලෝලීන්ට එම තීරණය තවත් පැය කිහිපයකින් දැනගත හැකි ය.

එංගලන්තයට එරෙහිව තරගයට අද දින තරගවැදීමටත් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමිව ගියේ, නොවැම්බර් 04 වැනිදා පැවති තරග දෙකෙහි තීරණය මත ය.

සුපිරි 12 වටයේ දී නවසීලන්තය හා ඕස්ට්‍රේලියාවට එරෙහි තරගවලින් ලැබූ පරාජය ශ්‍රී ලංකාවට තරගාවලියේ බලාපොරොත්තු ගිලිහීමට මූලික හේතුව විය.

අයර්ලන්තයට එරෙහි තරගයෙන් ලකුණු 35ක් ජයක් ලැබූ නවසීලන්තය පළමු කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණ හිමි කරගත්තේ ය. ඒ අනුව ලකුණු 7ක් ලබා ලකුණු සටහනේ පළමු තැන හිමිකර ගෙන සිටින නවසීලන්තයේ ශූද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය 2.113කි.

ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගයෙන් ඕස්ට්‍රේලියාව ලකුණු 4ක තියුණු ජයක් ලැබීමත් සමග අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකාවට පැවති අවසන් බලාපොරොත්තුව ද ගිලිහී ගියේ ය.

ඒ අනුව ඕස්ට්‍රේලියාව ද ලකුණු 7ක් ලබා ගනිමින් ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිකර ගෙන සිටින අතර ඔවුන්ගේ ශුද්ධ ලකුණු වේගය (-0.173) කි.

තුන්වැනි ස්ථානයේ පසුවන එංගලන්තය දැනට ලකුණු 5ක් ලබා සිටින අතර ශුද්ධ ලකුණු වේගය +0.547කි.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි අද තරගය ජය ලැබුවහොත් එංගලන්තයට ලැබෙන ලකුණු 2ත් සමග ඔවුන් ද ප්‍රසාද ලකුණු 7ක් ලබන අතර ශූද්ධ ලකුණු වේගය ඕස්ට්‍රේලියාවට වඩා ඉහළ බැවින් එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ වරම් හිමිකර ගනු ඇත.

එසේ වුවහොත් ඕස්ට්‍රේලියාවට ද ලොක කුසලාන බලාපොරොත්තු ගිලිහී යනු ඇත.

එක් කාණ්ඩයකින් වැඩිම ලකුණු ලබා ගන්නා කණ්ඩායම් දෙක පමණක් අවසන් පුර්ව තරගයට සුදුසුකම් ලබයි.

අවසන් පුර්ව වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකාව එංගලන්තයට වරම් දෙයි ද?

සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (නොවැම්බර් 5 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට තරගය ආරම්භ කිරීමට නියමිත ය.

දැනට එංගලන්තයට ඇති ශුභාරංචිය නම් (නොවැම්බර් 5 වැනි) සෙනසුරාදා සිඩ්නි නගරයට අයහපත් කාලගුණයක් පුරෝකථනය නොකිරීම යි. වර්ෂාවෙන් අද තරගයට බාධා ඇතිවුවහොත් එය එංගලන්ත කණ්ඩායමේ අවාසියට හේතුවනු ඇත.

තවත් හොඳ ආරංචියක් වන්නේ එංගලන්තයේ ශුද්ධ ලකුණු වේගය ඕස්ට්‍රේලියාවට වඩා ඉහළ මට්ටමක පැවතීම ය. එංගලන්තය ඕනෑම පරතරයකින් අද තරගය ජයග්‍රහණය කිරීම තරගාවලියේ මීළඟ වටයට පිවිසීම සඳහා එංගලන්තයට වරම් ලබා දෙයි.

2014 වසරේ සිට එංගලන්තය ශ්‍රී ලංකාව එරෙහිව එකම 20/20 තරගයක් හෝ පරාජය වී නොමැත.

එංගලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන්ගේ අවසන් 20/20 තරග හතම ජයගෙන ඇත. නමුත් අද තරගය පවැත්වෙන තණතීරුව තුළ මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංගගෙන් එංගලන්තයට ප්‍රබල තර්ජනයක් වනු ඇතැයි විශ්වාස කරෙයි.

අද දින තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම ඉතා විරල මට්ටමක පවතියි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින සුපිරි දඟපන්දු යවන්නන්ට මෙම තණතීරුව වඩාත් ගැලපෙනු ඇතැ යි විශ්වාස කෙරේ.

වනිඳු හසරංග ඔහු ක්‍රීඩා කළ තරග හතෙන් කඩුළු 13ක් ලබා සිටියි. ඔහුට වඩා වැඩි කඩුලු සංඛ්‍යාවක් ලැබූ කිසිවෙකු නොමැත. ඔහු පසුගිය ලෝක කුසලානයේ වැඩිම කඩුලුලාභියා ද විය.

තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න නැවත කණ්ඩායමට ගෙනඒම ගැන යම් අදහසක් තිබිය හැකිවුව ද ඇෆ්ගනිස්තානය පරාජය කළ ක්‍රීඩකයින් 11 දෙනා සමගම ශ්‍රී ලංකාව අද දින තරගයට ක්‍රීඩා කළ හැකි ය.

කුසල් මෙන්ඩිස් (Wk), පැතුම් නිශ්ශංක, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක, වනිඳු හසරංග, ප්‍රමෝද් මධුෂාන්, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ලහිරු කුමාර බොහෝවිට අද තරගයට ක්‍රීඩා කරනු ඇත.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට කළ හැක්කේ අවසන් පූර්ව වටයට පිවිසීමේ එංගලන්තයට ඇති අවස්ථාව අහිමිකිරීම පමණි. එහෙත් මෙය එංගලන්තයට අත්‍යවශ්‍ය ජයග්‍රහණයක් වනු ඇත.