ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වසර දෙකකට පසුව, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය යුද්ධය අවසන් කිරීමට හිමිව ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන ගනීවි ද?
- Author, ජෙරමි බෝවන්, ජාත්‍යන්තර පුවත් සංස්කාරක
- Role, බීබීසී
වසර දෙකක් පුරා පැවති යුද්ධයකින් අනතුරුව, ගාසා තීරයේ සිදුවන ඝාතන හා විනාශකාරී ක්‍රියා අවසන් කර මියගිය සහ ජීවතුන් අතර සිටින ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් ඔවුන්ගේ පවුල් වෙත ආපසු භාර දිය හැකි ගිවිසුමක් සඳහා අවස්ථාවක් හිමිව තිබේ.
එය කදිම අවස්ථාවකි, නමුත් හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය විසින් එය ප්‍රයෝජනයට ගනු ඇද්ද යන්න නිශ්චිතව පැවසිය නොහැකි ය.
ඊශ්‍රායල් ජාතිකයින්ට තවමත් දරුණු කම්පනයක් ගෙන දී ඇති හමාස් සංවිධානයේ දැඩි ප්‍රහාරයෙන් නිශ්චිතව ම වසර දෙකක් ගත වීමෙන් පසුව සිදුවෙමින් පවතින සාකච්ඡා නොපැහැදිලි අහම්බයකි.
ඔක්තෝබර් 7 වන දා එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 1,200 දෙනෙකු පමණ මිය ගිය අතර ඉන් බොහෝ දෙනෙකු ඊශ්‍රායල් සිවිල් වැසියන් විය, 251 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස රැගෙන ගොස් තිබිණි.
ඊශ්‍රායලය ඇස්තමේන්තු කර ඇත්තේ, ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු තවමත් ජීවතුන් අතර සිටින බව ය. තවත් 28 දෙනෙකුගේ සිරුරු ආපසු ලබා ගැනීමට ද ඔවුන්ට අවශ්‍ය වී තිබේ.
ඊශ්‍රායලයේ විනාශකාරී මිලිටරි ප්‍රතිචාරය ගාසා තීරයේ වැඩි ප්‍රමාණයක් විනාශ කර දමා ඇති අතර පලස්තීනුවන් 66,000කට වැඩි පිරිසක් ඝාතනය කර තිබේ, ඔවුන්ගෙන් වැඩි පිරිසක් සිවිල් වැසියන් වන අතර 18,000කට වැඩි ළමුන් පිරිසක් ද ඊට අයත් වෙති.
මෙම සංඛ්‍යා ලේඛන හමාස් පරිපාලනයේ තවදුරටත් ක්‍රියාකාරීව පවතින කොටසක් වන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබේ. එහි සංඛ්‍යා ලේඛන සාමාන්‍යයෙන් විශ්වාසදායක ලෙස සැලකේ.
ලන්ඩනය පදනම් කර ගත් වෛද්‍ය සඟරාවක් වන The Lancet සිදු කරන ලද අධ්‍යයනයකින් යෝජනා කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා ඇති සංඛ්‍යා ලේඛන සැබෑ සංඛ්‍යා දත්තවලට වඩා පහළ අගයක් ගන්නා බව ය.
ඊශ්‍රායල ජාතිකයින් සහ පලස්තීනුවන් යන දෙපාර්ශවයට ම අවශ්‍ය වන්නේ යුද්ධය අවසන් කිරීමට ය. ඊශ්‍රායල ජාතිකයින් යුද්ධයෙන් වෙහෙසට පත්ව සිටින අතර මත විමසුම්වලින් පෙන්නුම් කරන්නේ, ප්‍රාණ ඇපකරුවන් ආපසු හිමි වන සහ යුද්ධය අවසන් කරන ගිවිසුමක් බහුතරයකට අවශ්‍ය වී තිබේ. නිල ඇඳුමින් සැරසී මාස ගණනාවක් පුරා සක්‍රීය සේවයේ නිරත වී සිටි සන්නද්ධ හමුදාව නියෝජනය කරන ඊශ්‍රායලයේ ආරක්ෂක හමුදාවේ සිය දහස් ගණනක් වූ භටයින්ට නැවත තම සුපුරුදු සාමාන්‍ය ජීවිතයට පැමිණීමට අවශ්‍ය වී තිබේ.
මානුෂීය ව්‍යසනයකට මුහුණ පා සිටින ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන් මිලියන දෙකකට අධික සංඛ්‍යාවක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ගේ ආයුධ බලය සහ ඊශ්‍රායල ආධාර සීමා කිරීම හමුවේ මිනිසා විසින් නිර්මාණය කරන ලද සාගතයකින් පීඩා විඳිමින් සිටිති.
මීට වසර දෙකකට පෙර ඊශ්‍රායලයට ප්‍රබල ලෙස පහර දුන් හමාස් සංවිධානය තවදුරටත් ශක්තිමත් හමුදා කණ්ඩායමක් ලෙස නොපවතී. දැන්, එය නගරයේ නටබුන් තුළ සිට ඊශ්‍රායල සොල්දාදුවන් සමග සටන් කරන ගරිල්ලා බළකායකි.
පලස්තීන බලධාරීන්ට බලය ලබා දීමට එකඟ වී ඇතත් හමාස් සංවිධානයට අවශ්‍ය වන්නේ ආරක්ෂා වීමට මාර්ගයක් සොයා ගැනීමට ය.
ඔවුන්ගේ ඉතිරිව ඇති බර අවි භාර දීමට හෝ විසුරුවා හැරීමට සිදුවන බව ඔවුහු පිළිගනිති, නමුත් දශක දෙකකට ආසන්න කාලයක් පැවති කුරිරු පාලනයට සහ හමාස් ප්‍රහාර ඔවුන් මත ගෙන ආ ව්‍යසනය සම්බන්ධයෙන් පළිගැනීමට කැමති පලස්තීනුවන්ට එරෙහිව ආරක්ෂා වීමට ප්‍රමාණවත් ආයුධ බලයක් පවත්වා ගෙන යාමට ඔවුන්ට අවශ්‍ය වී ඇත.
ඔවුහු එය ප්‍රසිද්ධියේ නොපවසති. නමුත් තවමත් ආධාරකරුවන් සහ ඊශ්‍රායලය විනාශ කිරීමේ ඉලක්කයක් ඇති කණ්ඩායමකට එහි නම එනම් ඉස්ලාමීය ප්‍රතිරෝධී ව්‍යාපාරය යන්න නැවත ගොඩනැගීමට සහ සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් සම්පත් අවශ්‍ය විය හැකි ය.
හමාස් සංවිධානයේ යටත් වීමක් සඳහා කොන්දේසි නියම කිරීමට ඊශ්‍රායලය කැමැත්තෙන් පසුවේ.
නමුත් හමාස් සංවිධානයට දැන් බැරෑරුම් ලෙස සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබී ඇති බැවින් මාසයකට පෙර ඔවුන් සතුව තිබූ තත්ත්වයට වඩා අවස්ථාවක් උදා කර දී තිබේ.
ඒ, ඔවුන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාම සැලසුම් සාකච්ඡා කරමින් සිටි දෝහා නගරයේ ගොඩනැගිල්ලකට ප්‍රහාරයක් එල්ල කර හමාස් නායකයන් ඝාතනය කිරීමට ඊශ්‍රායලය උත්සහ කළත් එය සාර්ථක නොවූ අවස්ථාව ය.
ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වන ජ්‍යෙෂ්ඨ නායක කලීල් අල්-හයියා, රතු මුහුදේ පිහිටි නිවාඩු නිකේතනයක් වන ෂර්ම් එල්-ෂෙයික්හි පැවැත්වෙන සාකච්ඡාවලදී හමාස් නියෝජිත පිරිසට නායකත්වය ලබා දෙමින් සිටියි.
අල්-හයියාගේ පුත්‍රයා මිය ගිය පිරිස අතර සිටි නමුත් නායකයෝ ජීවිත බේරාගෙන පළා ගියහ.
ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු වෙනස් ආකාරයක පැවැත්මක් පිළිබඳ සිතිවිල්ලක සිටියි.
ඔහුට අවශ්‍ය වන්නේ, තම බලය ආරක්ෂා කර ගැනීමට, දූෂණ සම්බන්ධයෙන් ඔහුගේ නඩු විභාග කල් දැමීමට, ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ ජයග්‍රහණය කිරීමට සහ නාසි සමූල ඝාතනයෙන් පසු යුදෙව්වන් සඳහා උදාවූ මාරාන්තික ම දිනයට හේතු වූ ආරක්ෂක දෝෂ සඳහා වගකිව යුතු නායකයා ලෙස ඉතිහාසයට එක් නොවීමට ය.
එය සාක්ෂාත් කර ගැනීම සඳහා ඔහුට "පූර්ණ ජයග්‍රහණය" ප්‍රකාශ කිරීමට විශ්වාසදායක මාර්ගයක් අවශ්‍ය වේ, එය ඔහු නැවත නැවතත් භාවිත කර ඇති වාක්‍යකි.
ඔහු එය ප්‍රාණ ඇපකරුවන් නැවත පැමිණීම, හමාස් සංවිධානය විනාශ කිරීම සහ ගාසා තීරය හමුදාකරණය කිරීම ලෙස අර්ථ දක්වා ඇත. ඔහුට එය කළ නොහැකි වුවහොත්, පසුගිය වසර දෙක තුළ ඊශ්‍රායලය ලෙබනනයේ සහ ඉරානයේ සිටින තම සතුරන්ට සිදු කර ඇති සැබෑ හානිය පෙන්වා දීම ඔහුට ප්‍රමාණවත් නොවනු ඇත.
හමාස් සහ ඊශ්‍රායල නියෝජිතයින් මුහුණට මුහුණ හමුනොවනු ඇත. ඊජිප්තු සහ කටාර් නිලධාරීන් අතරමැදියන් වනු ඇති අතර, එහි සිටින ඇමෙරිකානුවන් ද ප්‍රධාන බලපෑමක් ඇති කරනු ඇත, ඇතැම් විට තීරණාත්මක එකක් වනු ඇත.
සාකච්ඡා සඳහා පදනම වන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කරුණු 20කින් යුත් ගාසා සාම සැලැස්ම යි.
කල්පවත්නා සාමයක් ගැන ඔහු සමාජ මාධ්‍යවල ප්‍රකාශ කළ ද, එය ජෝර්දාන් ගඟ සහ මධ්‍යධරණී මුහුද අතර ගොඩබිම සම්බන්ධයෙන් ඊශ්‍රායල් සහ පලස්තීනුවන් අතර දිගුකාලීන සටන අවසන් නොකරනු ඇත.
එක්සත් රාජධානිය සහ අනෙකුත් රටවල් පලස්තීන රාජ්‍යය ලෙස පිළිගෙන ඇති භූමි ප්‍රදේශවල අනෙක් කොටස වන බටහිර ඉවුරේ අනාගතය ගැන එහි සඳහන් නොවේ.
ෂාර්ම් එල්-ෂෙයික්හි අවදානම ඉහළ මට්ටමක පවතී. අරාබිවරුන් සහ යුදෙව්වන් අතර සියවසකට අධික ගැටුමක වඩාත් ම විනාශකාරී හා ලේ වැගිරුණු යුද්ධය අවසන් කිරීමට හේතු විය හැකි සටන් විරාමයකට යාමට එහිදී අවස්ථාවක් හිමිව තිබේ.
පළමු අභියෝගය වන්නේ, ඊශ්‍රායල් බන්ධනාගාරවල ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටින පලස්තීනුවන්ට සහ යුද්ධය ආරම්භ වූ දා සිට නඩු විභාගයකින් තොරව රඳවාගෙන සිටින ගාසා වැසියන් සඳහා හුවමාරුවක් ලෙස ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා කොන්දේසි සකස් කිරීම ය. එය සරල කාර්යයක් නොවේ.
ජනාධිපති ට්‍රම්ප් ඉක්මනින් ප්‍රතිඵල අපේක්ෂා කරයි. ඊශ්‍රායලය සහ සෞදි අරාබිය අතර සහයෝගීතාවක් ඇති කර ගැනීම කේන්ද්‍ර කර ගත් මැද පෙරදිග මහා පරිමාණ ගනුදෙනුවක් සඳහා මැදිහත්කරුවෙකු බවට පත්වීමේ සිය අරමුණ නැවත පණ ගැන්වීමට ඔහුට අවශ්‍ය වේ.
ඊශ්‍රායලය ගාසා තීරයේ වෙසෙන පලස්තීන සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කරමින් සහ ඔවුන් පීඩාවට පත් කරන පරිදි මානුෂීය ආධාර සඳහා සීමාවන් පනවන විට මෙන් ම හමාස් සංවිධානය ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් රඳවාගෙන සිටින විට එය සිදුවිය නොහැක.
ස්වාධීන පලස්තීන රාජ්‍යයක් සඳහා පැහැදිලි සහ ආපසු හැරවිය නොහැකි මාවතකින් තොරව එය සිදුවිය නොහැකි බව සෞදි අරාබිය ප්‍රසිද්ධියේ පළ කළ ප්‍රකාශයකින් පැහැදිලිව ප්‍රකාශ කර තිබේ.
පලස්තීන නිදහස පිළිගත හැකි නොපැහැදිලි සහ අවිනිශ්චිත සඳහනක් ඇතුළත් ලියවිල්ලකට අත්සන් කිරීමට ට්‍රම්ප් නෙතන්යාහුට බල කළේ ය. පසුව ප්‍රකාශයක් නිකුත් කළ නෙතන්යාහු පලස්තීනුවන්ට කිසි දා රාජ්‍යයක් හිමි නොවන බවට දුන් පොරොන්දුව අවධාරණය කරමින් එම ලියවිල්ල නොසලකා හැරියේ ය.
හමාස් සංවිධානයේ බලය අවසන් කිරීමට සහ ගාසා තීරයේ අනාගත පාලනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට අවශ්‍ය බොහෝ කරුණු ට්‍රම්ප්ගේ ලේඛනයට ඇතුළත්ව තිබේ.
නමුත් නෙතන්යාහු ඕවල් කාර්යාලයේදී තමාගේ ස්ථාවරය ම අවධාරණය කර සිටියේ ය. ඒ වෙනුවට, හමාස් නායකත්වය විනාශ කිරීමට උත්සහ දැරූ අසාර්ථක වූ ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් කටාර් අග්‍රාමාත්‍යවරායාගෙන් විධිමත් ලෙස සමාව අයැදීමක් සිදුකිරීමට ට්‍රම්ප් ඔහුට බල කළේ ය. මැද පෙරදිග නැවත නිර්මාණය කිරීමේ ඔහුගේ අරමුණු සමග ඉදිරියට යාමට ට්‍රම්ප්ට කටාර් රාජ්‍යය අවශ්‍ය වේ
එක් ප්‍රශ්නයක් වන්නේ ගාසාවෙන් පිටව යාමට සහ යුද්ධය අවසන් කිරීම සඳහා ඊශ්‍රායලයට නිශ්චිත කාලරාමුවක් ඉදිරිපත් කිරීමකින් තොරව ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමට හමාස් සංවිධානය සූදානම් වන්නේ ඇයි ද? යන්න යි. ජීවත්ව සිටින සහ මියගිය සියලු ම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් යළි ගෙන්වා ගැනීමෙන් සිය ජයග්‍රහණය ප්‍රකාශ කිරීමට ට්‍රම්ප්ට අවස්ථාවක් ලබා දෙන්නේ නම් එය සිදුවනු ඇතැයි කටාරය ඔවුන්ට ඒත්තු ගන්වා තිබිය හැක.
එසේ වුව ද ගිවිසුම ප්‍රතික්ෂේප කළහොත් හමාස් සංවිධානය විනාශ කිරීමට ඉදිරියට යාම සඳහා ඊශ්‍රායලයට සිය පූර්ණ සහය ලබා දීම වැනි හමාස් වෙත තර්ජනය කරන ප්‍රකාශ ට්‍රම්ප් තවමත් සිදු කරමින් සිටියි. ඊශ්‍රායල වැසියන්ට ඇසීමට සැලැස්වීම සඳහා නෙතන්යාහුට අවශ්‍ය වන්නේ, එවැනි ප්‍රකාශ යි.
හමාස් සංවිධානය මෙය බරපතළ ලෙස සලකන්නේ ද යන්න තීරණය කිරීමට දින කිහිපයක් ගතවනු ඇතැයි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසා තිබේ. සංකීර්ණ ගනුදෙනුවක් සඳහා අවශ්‍ය වැදගත් කරුණු සැකසීමට වැඩි කාලයක් ගත වනු ඇත. දැන් ඔවුන් සතුව ඇත්තේ ට්‍රම්ප්ගේ සැලැස්ම පමණි.
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පැවති දිගු හා නොවිසඳුණු ගැටුම ගාසා යුද්ධයක් දක්වා වර්ධනය වී වසර දෙකකට පසුව, ඝාතන අවසන් කර පලස්තීනුවන් සහ ඊශ්‍රායල වැසියන්ගේ අනාගතයක කඩිනමින් සුරක්ෂිත කිරීම ප්‍රධාන අභියෝගයකි.
ඒ සඳහා ට්‍රම්ප්ගේ කරුණු 20 සැලැස්ම තුළ ඉන් සුළු ප්‍රමාණයක් ඇතුළත් දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකභාවයක් සහ දීර්ඝ, සවිස්තරාත්මක උත්සාහයක් අවශ්‍ය වනු ඇත. හිදැස් සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය නිවැරදි කරුණු සොයා ගැනීමට උත්සහ කිරීම බොහෝ බාධක ඇති කරයි.
ඔහු විසින් ම පවසා ගන්නා පරිදි ගනුදෙනුවකට එළඹීම සඳහා ට්‍රම්ප්ට වඩා උසස් මතයක් ගෙන ඒමට හැකි කිසිවෙකු නොමැත. විදේශ ප්‍රතිපත්තිය තුළ, ඔහු මෙතෙක් කර ඇති දේ ඔහුගේ පොරොන්දුවලට නොගැලපේ.
ඔහු යුද්ධ රැසක් සමථයකට පත් කර නොමැත; ඔහු අවසන් කළ බවට කියන යුද්ධ ගණන කොපමණ ද යන්න ඔහු පවසන ප්‍රමාණය සමග නොගැලපේ. වඩාත් ම කුප්‍රකට දෙය නම් ඔහු අනාවැකි පළ කළ පරිදි ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු එක් දිනක් ඇතුළත රුසියානු-යුක්රේන යුද්ධය අවසන් නොකිරීම යි. නමුත් ජීවිත කාලය පුරා ම දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නියැලීමෙන් පසු ට්‍රම්ප් සතුව ඇති එක් කුසලතාවක් නම්, ඔහුට අවශ්‍ය දේ ලබා ගැනීම සඳහා පීඩනය යෙදිය යුතු ආකාරය පිළිබඳව පවතින සහජ බුද්ධිය යි.
ඊජිප්තුවේ නිල නොවන සාකච්ඡා සිදුවන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප් දෙපාර්ශ්වයට ම පීඩනය යෙදීමට සමත් වූ බැවිනි. ඔහුගේ සැලැස්මට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කළහොත් හමාස් සංවිධානය තුරන් කරන බවට තර්ජනය කිරීම පහසු කොටස විය. 2006 දී පලස්තීන මැතිවරණයක් ජයග්‍රහණය කළ දා සිට සහ අනතුරුව එළඹි වසරේදී පලස්තීන ප්‍රතිවාදීන් වන ෆාටා සංවිධානයෙන් ගාසා තීරය අත්පත් කර ගැනීමට බලය යෙදවූ දා සිට එක්සත් ජනපද ජනාධිපතිවරුන් හමාස් සංවිධානයට ජාත්‍යන්තර වශයෙන් පීඩනයක් එල්ල කර ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිටපු ජනාධිපතිවරුන් වන ක්ලින්ටන්, ඔබාමා සහ බයිඩ්න් අතර ඇති විශාල පරස්පරතාවක් වන්නේ ඔහුගේ ඩිමොක්‍රටික් පූර්වගාමීන්ට කිරීමට අවශ්‍ය වූ හෝ කළ හැකි වූ ප්‍රමාණයට වඩා බෙන්ජමින් නෙතන්යාහු ඔහුව හසුරුවා ගැනීමට ගත් උත්සහයන්වලදී ඔහු දැඩි ලෙස හා තීරණාත්මකව ප්‍රතිචාර දැක්වීම යි.
ට්‍රම්ප් සිය සාමය සඳහා හමාස් සංවිධානයේ ප්‍රතිචාරය වන "ඔව් නමුත්" යන්න ඔහුගේ යෝජනාවලිය සඳහා ඔව් ලෙස ස්ථිරව ගෙන ආවේ ය. ඉදිරියට ගමන් කිරීමට ඔහුට එය ප්‍රමාණවත් විය. හමාස් කාලය සමග සෙල්ලම් කරන බව නෙතන්යාහු ඔහුට ඒත්තු ගැන්වීමට උත්සහ කළ විට ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය වූයේ, "ඔබ මෙතරම් ඍණාත්මක වන්නේ ඇයි" යන්න බව ඇක්සියෝස් ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබිණි.
ඊශ්‍රායලය එක්සත් ජනපදය මත යැපෙන රටකි. එක්සත් ජනපදය යුද්ධයේ පූර්ණ හවුල්කරුවෙකු වී සිටියි. ඇමෙරිකාවේ සහය නොමැතිව ඊශ්‍රායලයට මෙතරම් කුරිරු ලෙස හා දිගුකාලීන බලයකින් ගාසා තීරයට පහර දීමට නොහැකි වනු ඇත. එක්සත් ජනපදය විසින් ඔවුන්ට බොහෝ ආයුධ සපයනු ලබයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවට ඊශ්‍රායලයේ සටන් නතර කිරීම සඳහා බලපෑම් කරමින් ඉදිරිපත් කෙරෙන බහුවිධ යෝජනා නිෂේධ කර දේශපාලනික හා රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂාව ද සපයයි.
තමා අයර්ලන්ත සියොන්වාදියෙකු ලෙස හැඳින්වූ ජෝ බයිඩ්න්, ඊශ්‍රායලයට එක්සත් ජනපදය මත යැපීමට සිය බලය කිසි විටෙකත් භාවිත කළේ නැත. ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ සැලසුම්වලදී ඇමෙරිකාව වෙනුවෙන් ප්‍රමුඛත්වය දෙන අතර අවම වශයෙන් සාකච්ඡාවලට සම්බන්ධ වන විට, නෙතන්යාහු ඔහුගේ අභිප්‍රායන් සඳහා එකඟ කර ගැනීමට ඊශ්‍රායලය කෙරෙහි ඇමෙරිකාවේ සැඟවුණු බලය භාවිත කළේ ය.
හමාස් සහ ඊශ්‍රායල නියෝජිත කණ්ඩායම් දෙකට ම යුද්ධය අඛණ්ඩව කරගෙන යාමට අවශ්‍ය බලවත් විවේචකයෝ සිටිති. හමාස් ආරංචි මාර්ග බීබීසීයට පැවසුවේ, අවසානය දක්වා සටන් කිරීමට සහ හැකි තරම් ඊශ්‍රායල් ජාතිකයින් ඝාතනය කිරීමට සූදානම් හමුදා අණ දෙන නිලධාරීන් ගාසා තීරයේ තවමත් සිටින බව ය. බෙන්ජමින් නෙතන්යාහුගේ සන්ධානය, ගාසා තීරයේ පලස්තීනුවන් පලවා හැර යුදෙව් පදිංචිකරුවන් ස්ථාපනය කිරීමේ ඔවුන්ගේ සිහිනය ආසන්නයට ඔවුන් පැමිණ ඇතැයි සිතා සිටින ජාතිකවාදී අන්තවාදීන්ගේ සහය ලබමින් සිටී.
ඊජිප්තුවේ සාකච්ඡා අසාර්ථක වුවහොත්, කුමක හෝ අවසානයක් සිදුවනු ඇත.