ඊශ්‍රායලය ගාසාහි ජන සංහාරයක් සිදු කර ඇති බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම පවසයි

    • Author, ඩේවිඩ් ග්‍රිට්න්

ඊශ්‍රායලය ගාසාහි පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් සිදු කර ඇති බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසමක් පවසයි.

2023 වසරේදී හමාස් සමග යුද්ධය ආරම්භ වූ දා සිට ජාත්‍යන්තර නීතිය යටතේ අර්ථ දක්වා ඇති ජන සංහාරක ක්‍රියා පහෙන් හතරක් ඊශ්‍රායලය සිදු කර ඇති බවට නිගමනය කිරීමට සාධාරණ හේතු ඇති බව නව වාර්තාවක සඳහන් වේ: කණ්ඩායමක සාමාජිකයන් ඝාතනය කිරීම, ඔවුන්ට බරපතළ ශාරීරික හා මානසික හානියක් සිදු කිරීම, කණ්ඩායම විනාශ කිරීමට සැලසුම්සහගතව තත්ත්වයන් හිතාමතා ම ඇති කිරීම සහ උපත් වැළැක්වීම එම ක්‍රියා වේ.

ඔවුහු ඊශ්‍රායල් නායකයින්ගේ ප්‍රකාශ සහ ඊශ්‍රායල් හමුදාවල හැසිරීම් රටාව, ජන සංහාරක අභිප්‍රාය පිළිබඳ සාක්ෂි ලෙස උපුටා දක්වති.

ඊශ්‍රායල් විදේශ අමාත්‍යංශය පැවසුවේ, එම වාර්තාව "විකෘති හා අසත්‍ය" ලෙස හෙළා දකිමින් එය තරයේ ප්‍රතික්ෂේප කරන බව ය.

කොමිසමේ විශේෂඥයින් තිදෙනා "හමාස් නියෝජිතයින්" ලෙස කටයුතු කරන බවත්, "දැනටමත් අසත්‍ය බවට ඔප්පු වී ඇති" "අනෙක් අය විසින් සත්‍ය යැයි ඇඟවීමට නැවත නැවත කියන" හමාස් අසත්‍යයන් මත සම්පූර්ණයෙන් ම යැපෙන බවත් ප්‍රකාශකයෙක් චෝදනා කළේ ය.

"වාර්තාවේ ඇති බොරුවලට හාත්පසින් ම වෙනස් පැත්ත දිහා බැලුවා ම හමාස් කියන්නේ ඊශ්‍රායලයේ ජන සංහාරයට උත්සහ කළ පාර්ශවය. මිනිස්සු 1,200ක් ඝාතනය කිරීම, කාන්තාවන් දූෂණය කිරීම, පවුල් පණපිටින් පුළුස්සා දැමීම සහ සෑම යුදෙව්වෙකු ම මරා දැමීමේ ඉලක්කය විවෘතව ප්‍රකාශ කරපු කණ්ඩායමක්," එම ප්‍රකාශකයා තවදුරටත් පැවසීය.

2023 ඔක්තෝබර් 7 වන දින දකුණු ඊශ්‍රායලයට හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද පෙර නොවූ විරූ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල හමුදාව ගාසාහි මෙහෙයුමක් දියත් කළ අතර එහිදී පුද්ගලයින් 1,200 දෙනෙකු පමණ මිය ගොස් 251 දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන තිබිණි.

එතැන් සිට ගාසාහි ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 64,905 දෙනෙකු මිය ගොස් ඇති බව හමාස් සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ජනගහනයෙන් වැඩි කොටසක් නැවත නැවතත් අවතැන් වී ඇත; ඇස්තමේන්තු කර ඇති පරිදි නිවාසවලින් 90%කට වඩා හානි වී හෝ විනාශ වී ඇත; සෞඛ්‍ය සේවා, ජලය, සනීපාරක්ෂක පද්ධති බිඳ වැටී ඇත; එමෙන් ම එක්සත් ජාතීන්ගේ සහය ලත් ආහාර සුරක්ෂිතතා විශේෂඥයින් විසින් ගාසා නගරයේ සාගතයක් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

ජාත්‍යන්තර මානුෂීය සහ මානව හිමිකම් නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා 2021 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින්, අත්පත් කරගෙන සිටින පලස්තීන භූමිය පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කොමිසම පිහිටුවන ලදී.

ත්‍රිපුද්ගල විශේෂඥ කමිටුවේ සභාපතිත්වය දරනු ලැබුවේ, රුවන්ඩාවේ ජන සංහාරය පිළිබඳ ජාත්‍යන්තර විනිශ්චය සභාවේ සභාපතිනිය වූ, දකුණු අප්‍රිකානු හිටපු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී නවී පිල්ලේ විසිනි.

1948 ජන සංහාර සම්මුතිය යටතේ අර්ථ දක්වා ඇති ජන සංහාරක ක්‍රියාවන් පහෙන් හතරක් ජාතික, වාර්ගික, භෞතිකව වෙනස් හෝ ආගමික කණ්ඩායමකට එරෙහිව මෙම අවස්ථාවේදී, ගාසාහි වෙසෙන පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායල බලධාරීන් සහ ඊශ්‍රායල හමුදා සිදු කර ඇති බවට කොමිසමේ නවතම වාර්තාව මගින් චෝදනා කරයි.

  • ආරක්ෂිත ස්ථානවලට (පාසල්, රෝහල් වැනි) පහර දීමෙන් කණ්ඩායමේ සාමාජිකයන් ඝාතනය කිරීම; සිවිල් වැසියන් සහ අනෙකුත් ආරක්ෂිත පුද්ගලයින් ඉලක්ක කර ගැනීම; සහ මරණයට හේතු වන තත්ත්වයන් හිතාමතා ඇති කිරීම
  • සිවිල් වැසියන්ට සහ ආරක්ෂිත වස්තූන්ට ඍජු ප්‍රහාර එල්ල කිරීම මගින් කණ්ඩායමේ සාමාජිකයින්ට බරපතළ ශාරීරික හෝ මානසික හානියක් සිදු කිරීම; රැඳවියන්ට දරුණු ලෙස හිරිහැර කිරීම; බලහත්කාරයෙන් අවතැන් කිරීම; සහ පාරිසරික විනාශය
  • පලස්තීනුවන්ට අත්‍යවශ්‍ය ව්‍යුහයන් සහ ඉඩම් විනාශ කිරීම හරහා සමස්තයක් වශයෙන් හෝ අර්ධ වශයෙන් කණ්ඩායම විනාශ කිරීමට සැලසුම්සහගතව තත්ත්වයන් හිතාමතා ම ඇති කිරීම; වෛද්‍ය සේවා විනාශ කිරීම සහ ප්‍රවේශය නතර කිරීම; බලහත්කාරයෙන් අවතැන් කිරීම; අත්‍යවශ්‍ය ආධාර, ජලය, විදුලිය සහ ඉන්ධන පලස්තීනුවන්ට ළඟා වීම අවහිර කිරීම; ප්‍රජනක ප්‍රචණ්ඩත්වය; සහ දරුවන්ට බලපාන නිශ්චිත තත්වයන්
  • ගාසාහි විශාලතම සාඵල්‍යතා සායනයට 2023 දෙසැම්බර් මාසයේ එල්ල වූ ප්‍රහාරය හරහා උපත් වැළැක්වීමට අදහස් කරන පියවර පැනවීම, එහිදී කළල 4,000ක් සහ ශුක්‍රාණු සාම්පල 1,000ක් සහ සංසේචනය නොවූ ඩිම්බ විනාශ කළ බවට වාර්තා වේ

ජන සංහාර සම්මුතිය යටතේ ජන සංහාරය පිළිබඳ නීතිමය අර්ථ දැක්වීම සපුරාලීම සඳහා, අපරාධකරු එම ක්‍රියාවන්ගෙන් ඕනෑ ම එකක් එම කණ්ඩායම සම්පූර්ණයෙන් ම හෝ අර්ධ වශයෙන් විනාශ කිරීමේ නිශ්චිත අභිප්‍රාය ඇතිව සිදු කර ඇති බව තහවුරු කළ යුතු ය.

ඊශ්‍රායල නායකයින් කළ ප්‍රකාශ විශ්ලේෂණය කළ කොමිසම, ජනාධිපති අයිසැක් හර්ට්සොග්, අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් "ජන සංහාරයක් කිරීම සඳහා පෙළඹවූ" බවට චෝදනා කරයි.

ගාසාහි ඊශ්‍රායල බලධාරීන්ගේ සහ ආරක්ෂක හමුදාවන්ගේ හැසිරීම් රටාවෙන් නිගමනය කළ හැකි එක ම සාධාරණ නිගමනය "ජන සංහාරක චේතනාව" බව ද එහි සඳහන් වේ.

කොමිසම පවසන්නේ, හැසිරීම් රටාවට හිතාමතා ම බර අවි භාවිත කරමින් පෙර නොවූ විරූ සංඛ්‍යාවක් පලස්තීනුවන් ඝාතනය කිරීම සහ බරපතළ ලෙස හානි කිරීම; ආගමික, සංස්කෘතික සහ අධ්‍යාපනික ස්ථානවලට ක්‍රමානුකූලව සහ පුළුල් ලෙස ප්‍රහාර එල්ල කිරීම; සහ ගාසා තීරය වටලෑමකට ලක් කර එහි ජනතාව කුසගින්නේ තැබීම ඇතුළත් වන බව ය.

ඊශ්‍රායල රජය අවධාරනය කරන්නේ තම උත්සහයන් ගාසාහි ජනතාවට එරෙහිව නොව හමාස් සංවිධානයේ හැකියාවන් අඩපණ සඳහා පමණක් යොමු කර ඇති බව ය. තම හමුදා ජාත්‍යන්තර නීතියට අනුකූලව ක්‍රියාත්මක වන අතර සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා කළ හැකි සියලු පියවර ගන්නා බව ඔවුහු පවසති.

"2023 ඔක්තෝබර් 7 වන දින, හමාස් සංවිධානය සිය සාමාජිකයින් යොදවා ඇති, ඔවුන් සැඟවී සිටින සහ ක්‍රියාත්මක වන සියලු ස්ථාන, එම පවිටු නගරය, සුන්බුන් බවට පත් කරමින් දරුණු ලෙස පළි ගන්නා බවට අගමැති නෙතන්යාහු ප්‍රතිඥා දුන්නා," බීබීසී සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී පිල්ලේ පැවසුවා ය.

"එම ප්‍රකාශයේ ම ඔහු 'පවිටු නගරය' යන වාක්‍ය ඛණ්ඩය භාවිත කිරීමෙන් ගම්‍ය වූයේ ඔහු මුළු ගාසා නගරය ම [ගාසා නගරය] වගකිව යුතු සහ පළිගැනීමේ ඉලක්කයක් ලෙස දුටු බවයි. ඔහු පලස්තීනුවන්ට කිව්වා 'ඉවත් වන්න, මොකද අපි සෑම තැනක ම බලය යොදා ක්‍රියාත්මක වෙනවා' කියලා."

ඇය මෙසේ ද පැවසුවා ය: "මේ සියලු ක්‍රියා ගැන තොරතුරු එක තැනකට රැගෙන සත්‍ය සොයාගැනීම් කිරීමට, එය සිදුවී ඇත්දැයි තහවුරු කර ගැනීමට අපට වසර දෙකක් ගත වුණා... මෙහි කරුණු සඳහන්ව ඇත්තේ සාක්ෂි මත පදනම්ව පමණයි. මෙම ක්‍රියා ජන සංහාර සම්මුතිය යටතට ගෙන ඒමට හැක්කේ එම ක්‍රියාවන් මෙම අරමුණින් සිදු කර ඇත්නම් පමණයි."

ඊශ්‍රායල දේශපාලන හා හමුදා නායකයින්ගේ ක්‍රියාවන් "ඊශ්‍රායල රාජ්‍යයට ආරෝපණය කළ යුතු" බවත්, එබැවින් "ජන සංහාරය වැළැක්වීමට අපොහොසත් වීම, ජන සංහාරය සිදු කිරීම සහ ජන සංහාරයට දඬුවම් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වගකීම ඊශ්‍රායල රාජ්‍යය දරන" බවත් කොමිසම පවසයි.

ජන සංහාර සම්මුතිය යටතේ අනෙකුත් සියලු ම රටවල් "ජන සංහාර අපරාධය වැළැක්වීම සහ දඬුවම් කිරීම" සඳහාත් ඒ සඳහා ඔවුන් සතු සියලු පියවර භාවිත ගත යුතු බවටත් එය අනතුරු අඟවයි. ඔවුන් එසේ නොකරන්නේ නම්, ඔවුන් ද ඊට වගකිවයුත්තන් ලෙස සැලකිය හැකි බව එහි සඳහන් වේ.

"අපි පාර්ශවයන් සම-කුමන්ත්‍රණකරුවන් ලෙස හෝ ජන සංහාරයට හවුල්කරුවන් ලෙස නම් කිරීමට තරම් දුර ගොස් නැහැ. "නමුත් ඒක තමයි මේ කොමිසම... කරගෙන යන්නේ. ඔවුන් එතනට එයි," පිල්ලේ පැවසීය.

ජාත්‍යන්තර සහ ඊශ්‍රායල මානව හිමිකම් සංවිධාන ගණනාවක්, ස්වාධීන එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් සහ විද්වතුන් ද ගාසාහි පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලය ජන සංහාරයක් සිදු කළ බවට චෝදනා කර තිබේ.

මේ අතර, ජාත්‍යන්තර අධිකරණය (ICJ) ඊශ්‍රායල හමුදාවන් ජන සංහාරයක් සිදු කළ බවට චෝදනා කරමින් දකුණු අප්‍රිකාව විසින් ගොනු කරන ලද නඩුවක් විභාග කරමින් සිටී. ඊශ්‍රායලය මෙම නඩුව "සම්පූර්ණයෙන් ම පදනම් විරහිත" සහ "පක්ෂග්‍රාහී සහ අසත්‍ය ප්‍රකාශ" මත පදනම් වූවක් ලෙස හඳුන්වා තිබේ.