ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'පලස්තීන රාජ්‍යයක අදහස මුලිනුපුටා දමන' ඊශ්‍රායලයේ මතභේදාත්මක E1 ජනාවාස සැලසුම යනු කුමක් ද?
ඊශ්‍රායලයේ අන්ත දක්ෂිණාංශික මුදල් අමාත්‍ය බෙසලෙල් ස්මොට්‍රිච් පැවසූ "පලස්තීන රාජ්‍යයක් පිළිබඳ අදහස වළලා දමන" මතභේදාත්මක ජනාවාසකරණ ව්‍යාපෘතියක් සඳහා වන සැලසුම් පුළුල් විවේචනයට ලක්ව තිබේ.
නැගෙනහිර ජෙරුසලම සහ මාලේ අදුමිම් ජනාවාසය අතර, [ඊශ්‍රායලය] අත්පත් කරගෙන සිටින බටහිර ඉවුරේ නිවාස 3,401ක් ඉදිකිරීමේ E1 සැලැස්ම, දැඩි විරෝධතා මධ්‍යයේ දශක ගණනාවක් තිස්සේ අත්හිටුවා තිබිණි.
ජාත්‍යන්තර නීතිය යටතේ මෙම ජනාවාස ඉදිකිරීම නීති විරෝධී ක්‍රියාවක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් බහුතරයක් දකින නමුත් ඊශ්‍රායලය ඊට එකඟ නොවේ.
පසුගිය බදාදා [අගෝස්තු 13], ස්මොට්‍රිච් මෙම යෝජනා ක්‍රමයට සහය දක්වමින්, එම තීරණය "ඓතිහාසික ජයග්‍රහණයක්" ලෙස හැඳින්වීය.
පලස්තීන විදේශ අමාත්‍යාංශය මෙම සැලැස්ම හැඳින්වූයේ, ඊශ්‍රායලය දිගු කලක් තිස්සේ ප්‍රතික්ෂේප කර ඇති චෝදනා වන "ජන සංහාරය, අවතැන්වීම සහ ඈඳා ගැනීම වැනි අපරාධවල දිගුවක්" ලෙස ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය හා යුරෝපා සංගමය මෙන් ම එක්සත් රාජධානිය සහ තුර්කිය වැනි විවිධ රටවල් ද E1 ජනාවාසකරණ සැලැස්ම විවේචනය කර ඇති අතර එය නතර කරන ලෙස ඉල්ලා තිබේ.
E1 ජනාවාසකරණ සැලසුම යනු කුමක් ද?
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති වඩාත් මතභේදාත්මක ගැටලුවලින් එකක් වන්නේ ජනාවාසකරණය යි.
E1 ජනාවාසකරණ සැලසුම පළමුව 1990 දශකයේදී යිට්ස්හක් රබින් යටතේ පැමිණි අතර, එහි මූලික සැලසුම නිවාස 2,500ක් ඉදිකිරීමෙන් ආරම්භ කිරීමට නියමිතව තිබිණි.
2004දී එය වාණිජ හා සංචාරක පහසුකම් සමග නිවාස ඒකක 4,000ක් පමණ දක්වා පුළුල් කෙරිණි.
2009 සහ 2020 අතර කාල වකවානුවේදී ඉඩම් අත්පත් කර ගැනීම්, සැලසුම් නිර්මාණ සහ මාර්ග ඉදිකිරීම් ඇතුළු ව්‍යාපෘතියේ නව අදියරයන් හඳුන්වා දෙන ලදී.
නමුත් ජාත්‍යන්තරයෙන් පැමිණි පීඩනය හේතුවෙන් මේ යෝජනා සෑම අවස්ථාවකදී ම නතර කිරීමට සිදුවිය.
එය එතරම් මතභේදාත්මක ඇයි?
E1 කලාපය සංවර්ධනය කිරීම පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමට ඵලදායී ලෙස බාධාවක් ලෙස බොහෝ කලක සිට සැලකේ.
ඒ, E1 කලාපයේ උපායමාර්ගික පිහිටීම නිසා ය: එය ජෙරුසලමට දකුණින් පිහිටි භූමිය උතුරෙන් වෙන් කරන අතර රාමල්ලා, නැගෙනහිර ජෙරුසලම සහ බෙත්ලෙහෙම සම්බන්ධ කරන පලස්තීන නාගරික ප්‍රදේශයක් පැවතීම වළක්වයි.
බටහිර ඉවුරේ ජනාවාසකරණ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන ඊශ්‍රායල කණ්ඩායමක් වන Peace Now කණ්ඩායමට අනුව නව නිවාස මගින්, වර්තමානයේ 38,000ක පමණ ජනගහනයක් වාසය කරන මාලේ අදුමිම් ජනාවාසය 33%කින් විශාල වේ.
Peace Now සංවිධානයට අනුව, මෙම ව්‍යාපෘතියේ නිවාස පිහිටි ප්‍රදේශය, අසල පිහිටි කාර්මික කලාප සමග සම්බන්ධ කරන අතර බටහිර ඉවුරේ වැඩි කොටසක ඊශ්‍රායල් පාලනය පුළුල් කිරීමට මාර්ගය සකසා දෙනු ඇත.
සියලු විරෝධතා දැනටමත් ප්‍රතික්ෂේප කර ඇති තාක්ෂණික කමිටුවක් ලබන බදාදා E1 ජනාවාසකරණ සැලැස්මේ අවසාන අනුමත කිරීමේ විමර්ශනය පවත්වන බව එම කණ්ඩායම පැවසීය.
ඊශ්‍රායලය අත්පත් කරගෙන සිටින බටහිර ඉවුර යනු කුමක් ද?
ඊශ්‍රායලය සහ ජෝර්දාන් ගඟ අතර පිහිටා ඇති බටහිර ඉවුර, මිලියන තුනක් පමණ පලස්තීනුවන්ගේ නිවහන වේ.
නැගෙනහිර ජෙරුසලම සහ ගාසා තීරයත් ඇතුළුව, එය [ඊශ්‍රායලය] අත්පත් කරගෙන සිටින පලස්තීන බල ප්‍රදේශවල කොටසක් ලෙස සැලකෙයි.
බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසලමේ ඊශ්‍රායල ජනාවාස 160ක් පමණ ඇති අතර, ඒවායේ යුදෙව්වෝ 700,000ක් පමණ වාසය කරති.
මෙම ප්‍රදේශවල ඊශ්‍රායලයේ පැවැත්මට පලස්තීන ජාතිකයෝ සැමවිට ම විරුද්ධ වූහ. බටහිර ඉවුරේ සමස්ත පාලනය ඊශ්‍රායලය විසින් පවත්වාගෙන යනු ලබන නමුත්, 1990 ගණන්වල සිට පලස්තීන අධිකාරිය ලෙස හඳුන්වන පලස්තීන රජය එහි බොහෝ නගර පාලනය කර තිබේ.
2023 ඔක්තෝබර් 07 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු, ආරක්ෂක හේතු මත යැයි පවසමින් ඊශ්‍රායලය බටහිර ඉවුරේ පලස්තීනුවන් මත පීඩනය වැඩි කිරීම නීත්‍යනුකූල බවට සාධාරණීකරණය කර තිබේ.
ජූනි මාසයේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වසර 20කට වැඩි කාලයක් තුළ එක් මාසයක වැඩි ම තුවාල ලැබූ පලස්තීන ජාතිකයන් සංඛ්‍යාව වාර්තා කළ අතර, ඊශ්‍රායල පදිංචිකරුවන්ගෙන් 100 දෙනෙකු තුවාල ලැබූ බව ප්‍රකාශ කෙරිණි.
2025 වසරේ මුල් භාගය තුළ, එම සංවිධානය විසින් ඊශ්‍රායල පදිංචිකරුවන්ගේ ප්‍රහාර පිළිබඳ සිද්ධි 757ක් වාර්තා කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පලස්තීන ජාතිකයන්ගේ ජීවිත හානි හෝ දේපළ හානි සිදුව තිබේ. එය 2024 වසරේ එම කාලයට වඩා 13%ක වැඩිවීමකි.
හියුමන් රයිට්ස් වොච් 2024 වසරේ නිකුත් කළ වාර්තාවකට අනුව, පලස්තීනුවන් සහ ඔවුන්ගේ ම පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා ආක්‍රමණිකයින් ලෙස ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඔවුන්ගේ නීතිමය යුතුකම ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවට පලස්තීනුවන් සහ මානව හිමිකම් කණ්ඩායම් ද චෝදනා කරති - පදිංචිකරුවන්ගේ ප්‍රහාර දෙස ඇස් පියාගෙන සිටීම පමණක් නොව, ඊට සම්බන්ධ වීම පවා සිදුවන බවට චෝදනා එල්ල වෙයි.
අත්පත් කර ගන්නා ප්‍රදේශවල ජනාවාස තහනම් කරන ජිනීවා සම්මුතීන් බටහිර ඉවුරට අදාළ නොවන බව ඊශ්‍රායලය පවසන නමුත් ඔවුන්ගේ ම බොහෝ මිත්‍ර පාක්ෂිකයෝ සහ නීති විශේෂඥයෝ මෙය ප්‍රතික්ෂේප කරති.
පලස්තීන ජනතාවට ඊශ්‍රායල ජනාවාස ඉවත් කිරීමට අවශ්‍ය වන්නේ, ඔවුන් [ඊශ්‍රායල ජාතිකයන්] අල්ලාගෙන සිටින බටහිර ඉවුර ඔවුන්ගේ අනාගත රාජ්‍යය සඳහා භූමියක් ලෙස සලකන බැවිනි.
කෙසේ වෙතත්, ඊශ්‍රායල රජය පලස්තීන ජාතිකයන්ට තමන්ගේ ම රාජ්‍යයක් පවත්වාගෙන යාමට ඇති අයිතිය පිළි නොගන්නා අතර බටහිර ඉවුර ඊශ්‍රායල නිජබිමේ කොටසක් බවට තර්ක කරයි.
2024 ජූලි මාසයේදී, එක්සත් ජාතීන්ගේ ඉහළ ම අධිකරණය වන ජාත්‍යන්තර අධිකරණය (ICJ), ඊශ්‍රායලය අත්පත් කරගෙන සිටින පලස්තීන ප්‍රදේශවල දිගට ම රැඳී සිටීම නීති විරෝධී බවත්, ඊශ්‍රායලය පදිංචිකරුවන් ඉවත් කර ගත යුතු බවත් ප්‍රකාශයට පත් කළේ ය.
එහි අනෙකුත් ළඟා වීමට දුෂ්කර නිගමන අතර, අල්ලා ගත් ප්‍රදේශවල පලස්තීනුවන්ට ඊශ්‍රායල සීමාවන් "ජාතිය, ආගම හෝ වාර්ගික සම්භවය මත පදනම් වූ පද්ධතිමය වෙනස් කිරීමක්" අවශ්‍ය බව අධිකරණය පැවසීය.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ, අධිකරණය "බොරු තීරණයක්" ගෙන ඇති බව ය.
"යුදෙව් ජනතාව ඔවුන්ගේ ම දේශයේ, අපගේ සදාකාලික අගනුවර වන ජෙරුසලමේ හෝ අපගේ මුතුන් මිත්තන්ගේ උරුමය වන ජුදා සහ සමාරියාව [බටහිර ඉවුරේ] ආක්‍රමණය කරන්නන් නොවෙයි," යනුවෙන් නෙතන්යාහු නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
E1 සැලසුම සම්බන්ධයෙන් ලෝකය දක්වා ඇති ප්‍රතිචාර මොනවා ද?
සැලැස්ම නිවේදනය කිරීමෙන් පසු, ස්මොට්‍රිච්, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ තානාපති මයික් හකබි දැක්වූ සහයෝගයට ස්තූති කරමින්, බටහිර ඉවුර "දෙවියන් වහන්සේ විසින් පොරොන්දු වූ ඊශ්‍රායල් දේශයේ වෙන් කළ නොහැකි කොටසක්" බවට තමා විශ්වාස කරන බව පැවසීය.
බටහිර ඉවුරේ නව පදිංචිකරුවන් මිලියනයක් පදිංචි කරවීමේ තම සැලසුම්වලට අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහය දක්වන බව ද ඔහු පැවසුවේ ය.
පලස්තීන විදේශ කටයුතු අමාත්‍යාංශය E1 ව්‍යාපෘතිය හෙළා දකිමින් එය පලස්තීන භූමියේ එක්සත්භාවයට එල්ල කරන ප්‍රහාරයක් සහ රාජ්‍යයක් පිහිටුවීමේ හැකියාවට එල්ල කරන පහරක් ලෙස හැඳින්වීය.
මෙම සැලැස්ම භූගෝලීය හා ජනවිකාස එකමුතුව දුර්වල කරන බවත්, බටහිර ඉවුර ජනාවාසවලින් වට වූ හුදෙකලා ප්‍රදේශවලට බෙදන බවත්, ඊශ්‍රායලයට භූමිය ඈඳා ගැනීම පහසු කරන බවත් එහි සඳහන් විය.
E1 ප්‍රදේශයේ ඉදිකිරීම් සැලසුම්වලට ප්‍රතිචාර වශයෙන්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ, "ස්ථාවර බටහිර ඉවුරක් ඊශ්‍රායලය සුරක්ෂිතව තබා ගන්නා අතර කලාපයේ සාමය ළඟා කර ගැනීමේ පරිපාලන ඉලක්කයට අනුකූල වන," බව ය.
කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියේ සැලැස්ම සමග ඉදිරියට නොයන ලෙස ය.
E1 ප්‍රදේශයේ ඉදිකිරීම් උතුරු සහ දකුණු බටහිර ඉවුර දෙකඩ කරනු ඇති බවටත්, "සජීවී, අසල්වැසි පලස්තීන රාජ්‍යයක් සාක්ෂාත් කර ගැනීමේ අපේක්ෂාවන් දැඩි ලෙස අඩපණ කරන" බවටත් එක්සත් ජාතීන් අනතුරු හඟවා තිබේ.
EU විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධානී කාජා කල්ලාස් පැවසුවේ, නව E1 ජනාවාසකරණ සැලසුම "ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් වන අතර ම ද්විත්ව රාජ්‍ය විසඳුම තවදුරටත් අඩපණ කරන," බව ය.
එක්සත් රාජධානියේ විදේශ අමාත්‍ය ඩේවිඩ් ලැමී මෙම සැලසුම්වලට විරුද්ධ වෙමින් කියා සිටියේ, ඒවා "අනාගත පලස්තීන රාජ්‍යයක් දෙකට බෙදා ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක්" වනු ඇති බවට ය.
එය "ජාත්‍යන්තර නීතිය නොසලකා හරින" බවත් පලස්තීන රාජ්‍යයේ "භෞමික අඛණ්ඩතාව" ඉලක්ක කරන බවත් තුර්කි විදේශ අමාත්‍යාංශය ද මෙම තීරණය හෙළා දකිමින් කියා සිටියේ ය.
ඊජිප්තුව මෙම ව්‍යාපෘතිය හැඳින්වූයේ, "ජාත්‍යන්තර නීතිය සහ ආරක්ෂක මණ්ඩල යෝජනා බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක්" ලෙස ය.
ජෝර්දාන විදේශ කටයුතු අමාත්‍යාංශය ද මෙම සැලැස්මට විරුද්ධ වූ අතර, එය "1967 ජූනි 4 වන දින දේශසීමා මත පදනම්ව, නැගෙනහිර ජෙරුසලම එහි අගනුවර ලෙස පවත්වා ගනිමින් ස්වාධීන සහ ස්වෛරී රාජ්‍යයක් පිහිටුවීමට පලස්තීන ජනතාවට ඇති අත්හළ නොහැකි අයිතියට පහර දීමක්," ලෙස හැඳින්වීය.
ප්‍රංශය සහ කැනඩාව වැනි විවිධ රටවල් මෙම වසර අගදී පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමට සැලසුම් කර ඇති බව පැවසීමෙන් ටික කලකට පසු E1 පිළිබඳ නිවේදනය නිකුත් විය.
වර්තමානයේ බොහෝ රටවල්, එනම් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193න් 147ක්, පලස්තීන රාජ්‍යයක් නිල වශයෙන් පිළිගනියි.
ගාසා තීරයේ සටන් විරාමයකට එකඟ වීම සහ ද්විත්ව රාජ්‍ය විසඳුමක අපේක්ෂාව නැවත පණ ගැන්වීම ඇතුළු ඇතැම් කොන්දේසි ඊශ්‍රායලය සපුරාලන්නේ නැතහොත් සැප්තැම්බර් මාසයේදී එක්සත් රාජධානිය ද පලස්තීන රාජ්‍යයක් පිළිගන්නා බව එක්සත් රාජධානියේ අගමැති ශ්‍රීමත් කියර් ස්ටාර්මර් පැවසීය.
නව E1 ජනාවාසකරණ සැලැස්ම නිවේදනය කිරීමෙන් පසුව, ස්මොට්‍රිච් පැවසුවේ "පිළිගැනීම සඳහා රාජ්‍යයක් නොමැති" බව ය.
"අද ලෝකයේ පලස්තීන රාජ්‍යයක් හඳුනා ගැනීමට උත්සහ කරන ඕනෑ ම කෙනෙකුට අපේ පිළිතුර බිම් මට්ටමේදී ම ලැබෙයි. ලේඛන සමග හෝ තීරණ හෝ ප්‍රකාශ එක්ක නොවෙයි, නිවාස පිළිබඳ කරුණු, අසල්වැසි ප්‍රදේශ පිළිබඳ කරුණු සමග," ස්මොට්‍රිච් පැවසීය.
අතිරේක වාර්තාකරණය: බීබීසී අරාබි සේවය වෙනුවෙන් ඇලා ඩරම් සහ මුහනඩ් ටුටැංජි