ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇතැම් රටවල් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිනොගන්නේ ඇයි? ශ්‍රී ලංකාවේ ස්ථාවරය කුමක් ද?
එලඹෙන සැප්තැම්බර් මාසයේදී පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගන්නා බවට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් නිවේදනය කර ඇත්තේ එවැනි තීරණයක් ගන්නා පළමු G7 රට බවට ප්‍රංශය පත් කරමිනි.
Xහි සටහනක් තබමින් මැක්‍රොන් ප්‍රකාශ කළේ, නිව් යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියකදී ඊට අදාළ නිල ප්‍රකාශය සිදු කරන බව ය.
"අද තියෙන හදිසි අවශ්‍යතාව ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සහ සිවිල් ජනතාව බේරා ගැනීම යි. සාමය සාක්ෂාත් කර ගැනීම කළ හැකි දෙයක්. "අපට වහා ම සටන් විරාමයක්, සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ ගාසා තීරයේ ජනතාවට දැවැන්ත මානුෂීය ආධාර අවශ්‍ය යි," ඔහු ලිවීය.
පලස්තීන නිලධාරීන් මැක්‍රොන්ගේ තීරණය පිළිගත් නමුත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ, 2023 ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලය වෙත හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයෙන් පසු මෙවැනි පියවරක් ගැනීම "ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නක්" බව ය.
මැක්‍රොන්ගේ නිවේදනය එක්සත් ජනපදය "තරයේ ප්‍රතික්ෂේප කරන" ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවසුවේ, එම තීරණය "ඔලමොට්ටල" තීරණයක් බව ය.
G7 යනු, ලොව ප්‍රධාන දියුණු සහ ශක්තිමත් කර්මාන්ත ඇති රටවල් සමූහයක් වන අතර එයට ප්‍රංශය සමග ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ජර්මනිය, කැනඩාව සහ ජපානය ඇතුළත් වේ.
ඊශ්‍රායලය පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළි නොගන්නා අතර, වත්මන් ඊශ්‍රායල රජය බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කිරීමට විරුද්ධ වේ. එවැනි රාජ්‍යයක් ඊශ්‍රායලයේ පැවැත්මට තර්ජනයක් වනු ඇතැයි ඔවුහු තර්ක කරති.
අගමැති නෙතන්යාහු X සටහනක මෙසේ ලිවීය: "මෙම තත්ත්වයන් යටතේ පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කිරීම යනු, එය සාමයෙන් ජීවත් වීම සඳහා නොව ඊශ්‍රායලය මුළුමනින් ම විනාශ කිරීමේ මූලාරම්භයක් වනු ඇත. පැහැදිලිව කියනවා නම්: පලස්තීනුවන් හදන්නේ ඊශ්‍රායලය අසල රාජ්‍යයක් නිර්මාණය කරන්න නෙවෙයි, එයාලට අවශ්‍ය ඊශ්‍රායලය වෙනුවට රාජ්‍යයක් නිර්මාණය කරන්න."
පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා රටවල් මොනවා ද?
වර්තමානයේ, එක්සත් ජාතීන්ගේ අරාබි කණ්ඩායමේ සාමාජිකයින්, ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය සහ නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය ඇතුළුව එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193න් 140කට වැඩි සංඛ්‍යාවක් පලස්තීන රාජ්‍යය පිළිගෙන ඇත.
2024 මැයි මාසයේදී පලස්තීන රාජ්‍යය නිල වශයෙන් පිළිගත් ස්පාඤ්ඤය, අයර්ලන්තය සහ නෝර්වේ ඇතුළු ඇතැම් යුරෝපීය රටවල් ද ඒ අතර වේ. ඊට පෙර, යුරෝපීය රටවල් අතළොස්සක් පමණ එම තීරණය කර තිබුණේ, ඒවායින් බොහොමයක් 1988දී සෝවියට් කඳවුරේ කොටසක්ව සිටියදී ය.
කෙසේ වෙතත්, ඊශ්‍රායලයේ ප්‍රධාන ආධාරකරු වන එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව ඇතුළු එහි මිත්‍ර රටවල් වන පලස්තීන රාජ්‍යයක් පිළිගෙන නොමැත. ඊශ්‍රායලය සමග මැදිහත් වී තමන්ට "ද්වී-රාජ්‍ය විසඳුමක් සඳහා දිරි ගැන්වීමක්" කළ හැකි බව ඔස්ට්‍රේලියාව පෙන්වා දී තිබේ.
ඇතැම් රටවල් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිනොගන්නේ ඇයි?
පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිනොගන්නා රටවල් සාමාන්‍යයෙන් එසේ නොකරන්නේ, ඊශ්‍රායලය සමග සාකච්ඡාමය විසඳුමක් සඳහා එළඹ නොමැති නිසා ය.
"පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම ගැන එක්සත් ජනපදය කටින් කිව්වත්, ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඍජු සාකච්ඡා විය යුතුයි කියන දේ එක්සත් ජනපදය අවධාරණය කරනවා. ඒකෙ අවසාන ප්‍රතිඵලය තමයි, පලස්තීනුවන්ගේ ස්වයං නිර්ණය සම්බන්ධ තීරණවලට බලපෑම් කරන්න ඊශ්‍රායලයට නිශේෂ බලය ලැබෙන එක," London School of Economics හි ජාත්‍යන්තර සබඳතා සහ මැද පෙරදිග දේශපාලනය පිළිබඳ මහාචාර්ය ෆවාස් ගර්ජස් පවසයි.
1990 ගණන්වල සාම සාකච්ඡා ආරම්භ වූ අතර ඊශ්‍රායලයට සහ පලස්තීනුවන්ට වෙන වෙන ම රටවල ජීවත් විය හැකි ද්වි-රාජ්‍ය විසඳුමක ඉලක්කය ගොඩනැගුණේ ඉන් පසුව ය.
කෙසේ වෙතත්, සාම ක්‍රියාවලිය 2000 දශකයේ මුල් භාගයේ සිට එනම්, ඊශ්‍රායල සහ පලස්තීනුවන් අතර වොෂින්ටනයේ පැවති සාකච්ඡා අසාර්ථක වූ 2014 වසරට පෙර සිට ම ක්‍රමයෙන් අසාර්ථක වීම ආරම්භ විය. අනාගත පලස්තීන රාජ්‍යයක දේශසීමා හා ස්වභාවය, ජෙරුසලමේ තත්ත්වය සහ ඊශ්‍රායලය නිර්මාණය කිරීමේ ප්‍රකාශයෙන් පසුව ඇති වූ 1948-49 යුද්ධයෙන් සරණාගතයින් බවට පත්වුණු පලස්තීනුවන්ගේ ඉරණම ඇතුළු කටුක ගැටලු නොවිසඳී පවතී.
පලස්තීනය එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා ගැනීමේ යෝජනාවට ඊශ්‍රායලය තම දැඩි විරෝධය පළ කරයි. ඒඑෆ්පී පුවත් සේවයට අනුව, ඊශ්‍රායලයේ එක්සත් ජාතීන්ගේ තානාපති ගිලාඩ් අර්ඩන් අප්‍රේල් මස මුලදී ප්‍රකාශ කළේ, සාකච්ඡාව පැවැත්වෙන බවට වන කාරණය "දැනටමත් ජන සංහාරක ත්‍රස්තවාදයේ ජයග්‍රහණයක්" බව ය. එහිදී ඔහු තව දුරටත් සඳහන් කර ඇත්තේ, එම ඉල්ලීම සාර්ථක වන්නේ නම්, එය ඔක්තෝබර් 7 වන දා ප්‍රහාරයෙන් පසු, ත්‍රස්තවාදය වෙනුවෙන් ලබා දෙන ත්‍යාගයක් වනු ඇති බව ය.
ඊශ්‍රායලය සමඟ සුහද සබඳතාවක් පවත්වා ගැනීමට අදහස් කරන රටවල්, පලස්තීන රාජ්‍යයක් පිළිගැනීමෙන් තම මිත්‍ර රාජ්‍ය කෝපයට පත්වන බව දැන සිටී.
ඊශ්‍රායලයේ ආධාරකරුවන් ඇතුළු ඇතැම් පාර්ශව තර්ක කරන්නේ, 1993 මොන්ටෙවිඩියෝ සම්මුතියේ අර්ථ දක්වා ඇති රාජ්‍යත්වය සඳහා වන ප්‍රධාන නිර්ණායකවලට [ස්ථිර ජනගහනයක්, නිශ්චිත භූමියක්, රජයක් සහ වෙනත් රාජ්‍යයන් සමඟ සබඳතා ඇති කර ගැනීමේ හැකියාව] පලස්තීනුවන් නොගැළපෙන බව ය.
නමුත් වෙනත් රාජ්‍යයන් විසින් පිළිගනු ලැබීම වැනි කාරණා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් අනෙක් පාර්ශව වඩාත් නම්‍යශීලී නිර්වචනයක් පිළිගනිති.
ශ්‍රී ලංකාවේ ස්ථාවරය කුමක් ද?
ශ්‍රී ලංකාව පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගත්තේ 1988 වසරේදී ය.
"එක්සත් ජාතීන්ගේ අදාළ යෝජනා මත පදනම්ව, පලස්තීන ජනතාවගේ අහිමි කළ නොහැකි අයිතිවාසිකම් සහ ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් සඳහා ඔවුන්ගේ අයිතියට ශ්‍රී ලංකාව නිරන්තරයෙන් සහය දක්වා ඇත," යනුවෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේ වෙබ් අඩවියේ සඳහන් වෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පලස්තීන භූමි ප්‍රදේශවලට ඇත්තේ කුමන තත්ත්වයක් ද?
පලස්තීනුවන්, 'හෝලි සී' (පාප් වහන්සේගේ අධිකරණමය බලය යටතේ ඇති රෝමයේ ප්‍රදේශයකි) මෙන් සාමාජික නොවන නිරීක්ෂක රාජ්‍යයක් යන තත්ත්වය දරයි.
2011 වසරේදී පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ඇති රාජ්‍යයක් වීමට අයැදුම් කළ නමුත් එම උත්සහය අසාර්ථක වූයේ, ඊට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී එතරම් සහයක් හිමි නොවීමත් එය කිසි විටෙකත් ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා හේතු පාදක නොවීමත් හේතුවෙනි.
නමුත් 2012 වසරේදී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පලස්තීනුවන්ගේ තත්ත්වය "සාමාජික නොවන නිරීක්ෂක රාජ්‍යයක්" දක්වා උසස් කිරීමට ඡන්දය ප්‍රකාශ කළේ ය. එමගින් ඔවුන්ට යෝජනා සඳහා ඡන්දය ප්‍රකාශ කළ නොහැකි වුව ද, රැස්වීම් විවාදවලට සහභාගී වීමට ඉඩ සලසයි.
2012 තීන්දුව බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ වෙසෙන ජනතාව විසින් පිළිගන්නා ලද නමුත් එය එක්සත් ජනපදය හා ඊශ්‍රායලය විසින් විවේචනයට ලක් කරන ලදී. එම තීරණය හරහා එක්සත් ජාතීන්ගේ උපරිමාධිකරණය, ජාත්‍යන්තර අපරාධ අධිකරණය (2015 වසරේදී සම්බන්ධ විය) ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවලට සම්බන්ධ වීමට පලස්තීනුවන්ට අවස්ථාව සැලසිණි.
2024 මැයි මාසයේදී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී සංවිධානය තුළ පලස්තීනය සඳහා වැඩි අයිතිවාසිකම් ගණනක් හිමි වූ අතර උණුසුම් විවාදයකින් පසුව එය සාමාජිකයෙකු ලෙස පිළිගන්නා ලෙස ඉල්ලා සිටියේ ය.
2012 සිට පලස්තීනය සාමාජික නොවන නිරීක්ෂක රාජ්‍ය තත්ත්වය පවත්වාගෙන යන අතර, එමගින් පූර්ණ සාමාජිකත්වය ඇති රටක් සඳහා ලැබෙන අයිතිවාසිකම් නොව ඇතැම් අයිතිවාසිකම් ලබා දෙයි.
එහි සාමාජිකත්වය ලබා දිය හැක්කේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පමණි. 2024 අප්‍රේල් මාසයේදී, ස්ථිර සාමාජිකයන් පස් දෙනාගෙන් එක් අයෙකු වන එක්සත් ජනපදය, පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීම සඳහා පුළුල් ලෙස සහය දක්වන ලද ඇල්ජීරියානු යෝජනාවක් නිෂේධ කළේ එවැනි පියවර ගැනීම "ඉක්මන් වැඩි" බව සඳහන් කරමිනි.
ආරක්ෂක මණ්ඩල විසින් ගනු ලබන යෝජනා පිළිපැදීමට රටවල් නීත්‍යනුකූලව බැඳී සිටින අතර, මහා මණ්ඩල යෝජනා සම්බන්ධයෙන් නීතිමය බැඳීමක් නැත.
"එක්සත් ජාතීන්ගේ පූර්ණ සාමාජිකයෙකු වීම පලස්තීනුවන්ට ඍජුව ම යෝජනා සඳහා සහය දැක්වීමේ හැකියාව, මහා මණ්ඩලයේදී ඡන්දය ලබා දීම ('සාමාජික නොවන' රාජ්‍යයක් ලෙස ඔවුන්ට දැනට නොමැති) සහ අවසානයේ ආරක්ෂක මණ්ඩලයේදී ඡන්දය භාවිත කිරීමට හැකිවන ස්ථානයක් ඇතුළු රාජ්‍යතාන්ත්‍රික වශයෙන් වැඩි බලයක් ලබා දේවි," යැයි වොෂින්ටනයේ පිහිටි බුද්ධි මණ්ඩපයක් වන Middle East Instituteහි පලස්තීන සහ පලස්තීන-ඊශ්‍රායල් කටයුතු පිළිබඳ වැඩසටහනේ අධ්‍යක්ෂ ඛාලිඩ් එල්ජින්ඩි පවසයි.
"නමුත් මේ කිසිවක් ද්වි-රාජ්‍ය විසඳුමක් අරගෙන එන්නේ නැහැ. එය සිදු විය හැක්කේ ඊශ්‍රායලයේ ආක්‍රමණය අවසන් කිරීමෙන් පමණයි," ඔහු තවදුරටත් පවසයි.
කෙසේ වෙතත් අප්‍රේල් 18 වන දා ඡන්දය පලස්තීනයට අවශ්‍ය පරිදි සිද්ධ වුව ද, "පලස්තීන අධිකාරියට මහා දෙයක් ලැබෙන්නේ නැහැ," යනුවෙන් ලන්ඩනයේ School of Oriental and African Studies විශ්වවිද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මහාචාර්ය ගිල්බට් අච්කර් පවසයි.
"ඒක බොහෝ දුරට සංකේතාත්මක ජයග්‍රහණයක් වේවි: ඒ කියන්නේ, මනකඃල්පිත 'පලස්තීන රාජ්‍යයක්' පිළිගැනීමට එදිරිව 1967 වසරේදී ආක්‍රමණයට නතු වුණු ප්‍රදේශවලින් සුළු කොටසක පමණක් බලය ඇති සහ සම්පූර්ණයෙන් ම පාහේ ඊශ්‍රායලය මත රඳා පවතින බල රහිත 'පලස්තීන අධිකාරියක්'. ඒ අතින් ගත්තා ම එය 'ස්වාධීන සහ ස්වෛරී පලස්තීන රාජ්‍යයකට' ආලෝක වර්ෂ ගණනක් දුරින් ඇති එකක්," හෙතෙම පවසයි.