ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගාසා නගරයට පහර දීමේ පළමු අදියර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි
- Author, ඩේවිඩ් ග්‍රිටන් සහ ගේබ්‍රියෙලා පොමරෝයි
- Role, බීබීසී පුවත්
ගාසා නගරය මුළුමනින්ම අල්ලා ගැනීමට සහ අත්පත් කර ගැනීමට සැලසුම් කළ ගොඩබිම් ප්‍රහාරයේ "මූලික ක්‍රියාමාර්ග" ආරම්භ කර ඇති බවත්, තදාසන්න ප්‍රදේශ දැනටමත් තම පාලනය යටතේ පවතින බවත් ඊශ්‍රායල හමුදාව පවසයි.
ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් අඟහරුවාදා අනුමත කළ සහ මෙම සතිය අගදී ආරක්ෂක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රහාරයට සූදානම් වීමේ සැලස්ම සඳහා සයිටූව්න් සහ ජබාලියා ප්‍රදේශවල තම භට පිරිස් දැනටමත් ක්‍රියාත්මක වන බව හමුදා ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මෙහෙයුම සඳහා ක්‍රියාකාරී රාජකාරියේ නියුතු පිරිස් නිදහස් කිරීම සඳහා සැප්තැම්බර් මස මුලදී අමතර ස්වේච්ඡා භටයින් 60,000 ක් පමණ කැඳවනු ලැබ තිබේ.
"අහිංසක සිවිල් වැසියන්ට එරෙහි කුරිරු යුද්ධයක්" දිගටම කරගෙන යාම සඳහා සටන් විරාම ගිවිසුමකට ඊශ්‍රායලය බාධා කළ බවට හමාස් සංවිධානය චෝදනා කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
ඊශ්‍රායලය මෙම අත්පත් කර ගැනීමේ සැලැස්ම සඳහා සූදානම් වීමත් සමඟ ගාසා නගරයේ සිටින ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ට ඉන් ඉවත් වී දකුණු ගාසා තීරයේ ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස නියෝග කිරීමට නියමිතයි.
ඊශ්‍රායලයේ බොහෝ මිත්‍ර පාක්ෂික රටවල් මෙම සැලැස්ම හෙළා දැක ඇති අතර, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් බදාදා අනතුරු ඇඟවූයේ මෙය "දෙපාර්ශවයේම ජනතාවට ව්‍යසනයකට තුඩු දිය හැකි අතර මුළු කලාපයම ස්ථිර යුද චක්‍රයකට ඇද දැමීමේ අවදානමක් ඇති කළ හැකි" බවයි.
මේ අතර, ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC) පැවසුවේ ජනතාව තවදුරටත් අවතැන් වීම සහ සතුරුකම් තීව්‍ර වීම ගාසා තීරයේ මිලියන 2.1 ක ජනගහනය "දැනටමත් මුහුණ දී සිටින ව්‍යසනකාරී තත්ත්වයක් තවත් නරක අතට හැරවීමේ අවදානමක්" ඇති බවයි.
පසුගිය මාසයේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමක් සම්බන්ධයෙන් හමාස් සංවිධානය සමඟ පැවති නිල නොලත් සාකච්ඡා බිඳ වැටීමෙන් පසු, ඊශ්‍රායල රජය මුළු ගාසා තීරයම අත්පත් කර ගැනීමේ සිය අභිප්‍රාය ගැන නිවේදනය කළේය.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් එෆී ඩෙෆ්රින් බදාදා රූපවාහිනිය ඔස්සේ විකාශය කළ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ මාස 22 ක යුද්ධයෙන් පසු හමාස් සංවිධානය " තැළී පොඩි වී" ඇති බවයි.
"හමාස් ත්‍රස්තවාදී සංවිධානයේ රජයේ සහ මිලිටරි ත්‍රස්තවාදයේ බලකොටුව වන ගාසා නගරයේ හමාස් සංවිධානයට කරන හානිය අපි තවත් ගැඹුරු කරනවා," ඔහු තවදුරටත් පැවසීය. "අහසින් සහ ගොඩබිමින් ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට කරන හානිය අපි තවත් ගැඹුරු කරනවා, හමාස් මත ජනගහනයේ යැපීම කපා දමන්නෙමු."
නමුත් ඩෙෆ්රින් පැවසුවේ මෙහෙයුම ආරම්භ කිරීමට IDF "බලා නොසිටින" බවයි.
"අපි මූලික ක්‍රියාමාර්ග ආරම්භ කරලා තියෙනවා, දැනටමත් ඊශ්‍රායල ආරක්ෂක අංශ ගාසා නගරයේ තදාසන්න ප්‍රදේශ අල්ලාගෙන ඉන්නේ."
සයිටූව්න් නගරය ආශ්‍රිත භූමියේ බලසේනා දෙකක් ක්‍රියාත්මක වූ අතර, මෑත දිනවල ඔවුන් ආයුධ අඩංගු භූගත උමගක් සොයා ගත් බවත්, තුන්වන බලසේනාව ජබාලියා ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.
"සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කිරීම" සඳහා, ගාසා නගරයේ සිවිල් ජනතාවට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඉවත් වන ලෙස අනතුරු අඟවන බව ඔහු පැවසීය.