කටාර් අගනුවරදී ජ්‍යෙෂ්ඨ හමාස් නායකයින් ඉලක්ක කර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

    • Author, බීබීසී සිංහල

ජ්‍යෙෂ්ඨ හමාස් නායකයින් ඉලක්ක කර කටාර්හිදී ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායල නිලධාරියෙක් තහවුරු කළේය.

හමාස් ජ්‍යෙෂ්ඨ නායකයින් ඉලක්ක කර ගනිමින් "නිශ්චිත ප්‍රහාරයක්" එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පැවසීය.

"නිෂ්චිතව ඉලක්කයට ප්‍රහාර එල්ල කළ හැකි අවි ආයුධ භාවිත කරමින් සහ අතිරේක බුද්ධි තොරතුරු ඇතුළුව සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා ප්‍රහාරයට පෙර, පියවර ගන්නා ලදී," යනුවෙන් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.

දෝහා හිදී හමාස් නියෝජිත කණ්ඩායමක් ඉලක්ක කර ගෙන ඇති බව හමාස් නිලධාරියෙක් බීබීසීයට පැවසීය.

ජාත්‍යන්තර නීති 'දැඩිව උල්ලංඝනය කිරීමක්'

ඊශ්‍රායල ප්‍රහාරය ජාත්‍යන්තර නීති 'දැඩිව උල්ලංඝනය කිරීමක්' බව කටාර් රාජ්‍යය පවසයි.

ඊශ්‍රායලය වගකීම භාරගෙන ඇති මෙම ප්‍රහාරය කටාර් විදේශ අමාත්‍යාංශය දැඩිව හෙළා දැක තිබේ.

ආචාර්ය මජෙඩ් අල් අන්සාරි පවසන්නේ "හමාස් දේශපාලන කාර්යාංශයේ සාමාජිකයින් ගණනාවක් කටාර් අගනුවර වන දෝහා හි වාසය කරන" නේවාසික පරිශ්‍රයකට ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

මෙම ප්‍රහාරය ජාත්‍යන්තර නීති "දැඩි ලෙස උල්ලංඝනය කිරීමක්" මෙන්ම කටාර්හි වෙසෙන ජනතාවට "බරපතල තර්ජනයක්" බව ඔහු පවසයි.

"කටාර් රාජ්‍යය මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින අතර, ඊශ්‍රායලයේ මෙම නොසැලකිලිමත් හැසිරීම සහ කලාපයේ ආරක්ෂාවට සහ තම ස්වෛරීභාවය ඉලක්ක කරගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් නොඉවසන බව අවධාරණය කරමු," යනුවෙන් නිවේදනයේ දැක්වෙයි.

ප්‍රහාරය 'ස්වාධීන ඊශ්‍රායල මෙහෙයුමක්' - නෙතන්යාහුගේ කාර්යාලය

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය පවසන්නේ "හමාස් සංවිධානයේ ඉහළම ත්‍රස්තවාදී නායකයින්ට එරෙහිව අද ගත් ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම ස්වාධීන ඊශ්‍රායල මෙහෙයුමක්" බවයි.

"ඊශ්‍රායලය එය ආරම්භ කළා, ඊශ්‍රායලය එය මෙහෙය වනු ලැබුවා, ඊශ්‍රායලය එහි සම්පූර්ණ වගකීම භාර ගන්නවා," යනුවෙන් නිවේදනයේ දැක්වෙයි