ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඔක්තෝබර් 7 ප්‍රහාරය: හමාස් නායකයින්ට එරෙහිව ඇමෙරිකාව අධිචෝදනා ගොනු කරයි
- Author, මැක්ස් මට්සා
- Role, බීබීසී
පසුගිය වසරේ ඔක්තෝබර් 7 වන දා ඊශ්‍රායලයට එල්ල කළ මාරාන්තික ප්‍රහාරය සම්බන්ධයෙන් හමාස් නායක යෙහ්යා සින්වර් සහ පලස්තීනයේ තවත් ප්‍රමුඛ පුද්ගලයින් කිහිප දෙනෙකුට ඇමෙරිකාව චෝදනා ගොනු කර තිබේ.
ඇමෙරිකානු පුරවැසියන් ඝාතනය කිරීම, ත්‍රස්තවාදයට මුදල් සැපයීමට කුමන්ත්‍රණය කිරීම සහ විනාශකාරී ආයුධ භාවිතය ඇතුළු චෝදනා 7ක් යටතේ හමාස් සාමාජිකයින් හය දෙනෙකුට අධිචෝදනා ගොනු කරන බව එරට අධිකරණ දෙපාර්තමේන්තුව පැවසීය.
අපරාධ පැමිණිල්ල මගින් හමාස් විසින් දශක ගණනාවක් තිස්සේ සිදු කරන ලදැයි කියනු ලබන ප්‍රහාර මෙන් ම වසරකට ආසන්න කාලයකට පෙර දකුණු ඊශ්‍රායලයට කල්තබා දැනුම් දීමකින් තොරව එල්ල කළ ප්‍රහාර ද මෙම අධිචෝදනාවලට ඉදිරිපත් කර තිබේ.
අධිචෝදනා පත්‍රයේ නම් කර ඇති චූදිතයින් අතරින් අවම වශයෙන් තිදෙනෙකු මිය ගොස් ඇති අතර සින්වාර් ගාසා තීරයේ කොතැනක හෝ උමං මාර්ගවල සැඟවී සිටින බව විශ්වාස කළ ද, ඔක්තෝබර් 7 ප්‍රහාරයට හමාස් ප්‍රධානීන් වගකිව යුතු බවට ඇමෙරිකාව නීතිය ක්‍රියාත්මක කිරීමේ පළමු පියවර එය යි.
අඟහරුවාදා වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමෙරිකාවේ නීතිපති මෙරික් ගාර්ලන්ඩ් පැවසුවේ, "ඇමෙරිකානු පුරවැසියන් ඝාතනය කිරීම සහ ඇමෙරිකාවේ ආරක්ෂාව අනතුරේ හෙළීම සඳහා දශක ගණනාවක් තිස්සේ දියත් කරන ලද ව්‍යාපාරයකට මුදල් සැපයීම සහ මෙහෙයවීම," සම්බන්ධයෙන් විත්තිකරුවන් වගකිව යුතු බව ය.
හමාස් කණ්ඩායම "ඊශ්‍රායල් රාජ්‍යය විනාශ කිරීමට සහ එම අරමුණ සඳහා සිවිල් වැසියන් ඝාතනය කිරීමට හමාස් දරන උත්සහයට නායකත්වය දුන්නා".
ඔක්තෝබර් 7 වන දින හමාස් විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරය, "හොලෝකෝස්ට් සිද්ධියෙන් පසුව සිදුවූ මාරාන්තික ම යුදෙව් සංහාරයේදී" 'පවුල් පිටින් ඝාතනය කරන ලද' කණ්ඩායම විසින් සිදු කරන ලද්දක්" යැයි ඔහු සඳහන් කළේය.
"ඔවුන් මහලු අය ඝාතනය කළා, කුඩා දරුවන් ඝාතනය කළා. ඔවුන් ස්ත්‍රී දූෂණය සහ ලිංග ඡේදනය ඇතුළු කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනය වැඩි කළා."
එම ප්‍රහාරයේදී හමාස් කණ්ඩායම "පුද්ගලයින් 1,200කට අධික සංඛ්‍යාවක් ඝාතනය කළ" අතර, එය "හොලෝකෝස්ට් සිද්ධියෙන් පසු සිදු කළ දරුණුතම යුදෙව් සංහාරය," බව ඔහු පැවසීය.
චෝදනා එල්ල වී ඇති අනෙකුත් හමාස් නායකයින් අතර හිටපු නායක ඉස්මයිල් හනියේ ද ඇතුළත් ය; සංවිධානයේ සන්නද්ධ අංශයේ නියෝජ්‍ය නායක මර්වාන් ඉසා; ගාසා තීරයෙන් සහ බටහිර ඉවුරෙන් පිටත කණ්ඩායම මෙහෙයවන ඛලීඩ් මෂාල්; මොහොමඩ් ඩයිෆ් සහ අලි බරාකා ද ඊට ඇතුළත් කර තිබේ.
මරණයට හේතු වන පොදු ජනතාව ගැවසෙන ස්ථානයකට බෝම්බ හෙළීමට කුමන්ත්‍රණය කිරීම, ත්‍රස්තවාදයට මුදල් සැපයීමට කුමන්ත්‍රණය කිරීම සහ මරණයට හේතු වන ත්‍රස්තවාදී ක්‍රියා සඳහා ද්‍රව්‍යමය ආධාර සැපයීම අදාළ අධිචෝදනා අතර වේ.
අධිකරණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ, සියලු ම "විත්තිකරුවන් මිය ගොස් හෝ නිදැල්ලේ සිටින" බව ය.
හනියේ, ඉසා සහ ඩයිෆ් පසුගිය මාස කිහිපය තුළ ඊශ්‍රායලය විසින් ප්‍රකාශ කරන ලද ආකාරයට ඔවුන් එල්ල කළ ප්‍රහාරවලින් මිය ගිය බව වාර්තා වේ.
පසුගිය සතියේ ඇමෙරිකා-ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවෙකු වූ 23 හැවිරිදි හර්ෂ් ගෝල්ඩ්බර්ග්-පෝලින් හැරුණුවිට ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් මිය ගිය තවත් ඇමරිකානු පුරවැසියන් 42 දෙනෙකු සහ ප්‍රාණ ඇපයට ගත් 10 දෙනෙකු සම්බන්ධයෙන් නීතිපතිවරයා අඟහරුවාදි අදහස් දැක්වීය.
"හර්ෂ්ගේ ඝාතනය සහ හමාස් කණ්ඩායම විසින් කෲර ලෙස ඝාතනය කළ සෑම ඇමෙරිකානු වැසියෙකු සම්බන්ධයෙන් ම ත්‍රස්ත ක්‍රියා යටතේ විමර්ශන සිදු කරනවා," ගාර්ලන්ඩ් පැවසීය.
මෙම චෝදනාවලට වරදකරුවන් වුවහොත්, හමාස් චූදිතයින් ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට හෝ මරණීය දණ්ඩනයට ලක්විය හැකි ය.
පසුගිය පෙබරවාරි මාසයේදී චෝදනා ගොනු කරනු ලැබූව ද, ඇමෙරිකාවට කුමන හෝ විත්තිකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අවස්ථාව තිබේ දැයි සොයා බැලීම සඳහා එය ප්‍රකාශයට පත් කිරීම අඟහරුවාදා දක්වා වසන් කරනු ලැබූ බව නම හෙළි නොකළ අධිකරණ දෙපාර්තමේන්තු නිලධාරියෙක් බීබීසී ඇමෙරිකා හවුල්කරු CBS ප්‍රවෘත්ති සේවයට පැවසීය.
සති අන්තයේදී, හමාස් කණ්ඩායම ගෝල්ඩ්බර්ග්-පෝලින් ඝාතනය කිරීම ජනාධිපති ජෝ බයිඩ්න් විසින් හෙළා දකිනු ලැබූ අතර, එය "එය ඛේදනීය මෙන් ම හෙළා දැකිය යුතු" ක්‍රියාවක් ලෙස හැඳින්වීය.
"කිසි ම අතවැරැද්දක් කරන්න එපා, මේ අපරාධවලට හමාස් නායකයෝ වන්දි ගෙවයි," බයිඩ්න් පැවසීය.
මේ අතර, ඊශ්‍රායලයට ඇතැම් ආයුධ විකිණීම තහනම් කිරීමට එක්සත් රාජධානිය ගත් තීරණය තහවුරු කර තිබේ. එම තීරණය ගෙන ඇත්තේ, එම ආයුධ ගාසා තීරය තළ භාවිත කළ හැකි ආකාරය පිළිබඳව සැලකිල්ලට ගනිමිනි.
හමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලින්, පුද්ගලයින් 1200ක් පමණ ඝාතනය වූ අතර තවත් 251ක් ප්‍රාණ ඇපයට ගැනිණි.
හමාස් පාලනය යටතේ ක්‍රියාත්මක වන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ඊශ්‍රායලයේ අඛණ්ඩ හමුදා මෙහෙයුම්වලින් ගාසා තීරයේ 40,000කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.