රටවල් 13ක රැකියා සොයා යන ශ්‍රී ලාංකිකයින්ට ජූලි 1 වන දා සිට බලපාන අලුත් නීතිය

විදේශ රැකියා සඳහා සිදුවන ලියාපදිංචි කිරීම්

ඡායාරූප මූලාශ්‍රය, SLBFE

විදේශ රටවල් 13ක් සඳහා ස්වයං මාර්ගයෙන් රැකියා සඳහා යොමු වන මෙරට ශ්‍රමිකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබේ.

ගෘහස්ථ නොවන අංශයේ රැකියා සඳහා වන නව නීතිය ජූලි 1 වන දා සිට ක්‍රියාත්මක බව එම කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ සඳහන් කළේ ය.

"ස්වයංව රැකියා සොයාගෙන රටවල් 13ක රැකියා සඳහා යන ලාංකිකයින්ට ජූලි 1 වන දා සිට බලපාන අලුත් නීතිය රැකියාවක් ලබා ගන්න විදේශගත වන ක්‍රමවේදය හරහා යම් ප්‍රමාණයකට නීතිය ක්‍රියාත්මක වන අතර ම ඊට පරිබාහිරව අතරමැදි කණ්ඩායම් හරහා මේ ක්‍රමවේදය තුළ යම් කිසි අකටයුතුකම් සිද්ධ වෙනවා.

එම අකටයුතුකම් වැළැක්විමේ අරමුණින් සහ විදේශගතවන ශ්‍රමිකයාගේ රැකියාව සුරක්ෂිත කිරීමේ අරමුණින් අපි ස්වයංව රැකියා ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය වෙනස් කරමින් තියෙනවා.

එළඹෙන ජූලි 1 වන දා සිට නව නීතිය, නව ක්‍රමවේදයත් ස්වයංව රැකියා සොයා ගෙන විදේශගත වන්නන් සඳහා හඳුන්වා දෙනවා," යැයි සභාපතිවරයා මාධ්‍ය වෙත පැවසුවේය.

ලියාපදිංචි වීම අනිවාර්ය කළේ ඇයි?

යම් කිසි පුද්ගලයෙකුට විදේශ රටක සිටින තම පවුලේ ඥාතියෙකු, සහෝදරයෙකු හෝ මිත්‍රයෙකුගේ හැඳුනුම්කමක් ඔස්සේ රට රැකියාවක් ලබා ගැනීමට හෝ කලක් සේවය කළ ආයතනයකට මෙරටින් සේවකයෙකු නැවත ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකමක් ලෙස ස්වයංව රැකියා සඳහා විදේශගත වීම හඳුන්වා දී ඇති බව සභාපතිවරයා පවසයි.

කෙසේ වෙතත්, ස්වයංව රැකියා සඳහා විදේශ ගතවන්නන්ට සිදුවන අකටයුතුකම් වැළැක්විමේ අරමුණින් මෙලෙස නව නීති හඳුන්වා දුන් බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා පෙන්වා දෙයි.

"ස්වයංව රැකියා සොයාගෙන නිසි ක්‍රමවේදයට පරිබාහිරව අතරමැදි තැරැව්කරුවන් විසින් සහ තමන්ගේ රැකියා ගිවිසුම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි කර ගැනීමට යම් යම් තාක්ෂණික හේතු මත අසමත් වන, විදේශ රැකියා ලියාපදිංචි ආයතන පවා ඔවුන්ගේ එම අවස්ථාව ස්වයංව රැකියා සඳහා විදේශගතවන ක්‍රමවේදය අයුතු ලෙස පාවිච්චි කරමින් විදේශගත වීම් වාර්තා වෙලා තියෙනවා."

ඒ අවස්ථාවේදී ස්වයංව විදේශ ගතවූවන්ට රැකියා ගිවිසුම් නොලැබී යාම, අතරමං වීම්, එරටදී අකටයුතුකම්වලට ලක්වීම් වගේ දේවල් වාර්තා වෙලා තියෙනකොට අපි මේකෙන් උත්සහ කළා එසේ වෙන්න තියෙන හේතු සොයා බලා එය වළක්වා ගන්න," ඔහු පැවසුවේය.

විදේශ රැකියා සඳහා සිදුවන ලියාපදිංචි කිරීම්

ඡායාරූප මූලාශ්‍රය, SLBFE

ඡායාරූප ශීර්ෂ වැකිය, විදේශ රැකියා සඳහා සිදුවන ලියාපදිංචි කිරීම්

පළමු අදියර ක්‍රියාත්මක රටවල් මොනවා ද?

මෙහි පළමු අදියර ලෙස තානාපති කාර්යාල තුළ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කම්කරු අංශ ස්ථාපනය කර ඇති රටවල් 13ක තානාපති සේවා සැපයෙන අංශ 15ක් සඳහා පමණක් ක්‍රියාත්මක වන බව සභාපති කෝශල වික්‍රමසිංහ පැවසීය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සඳහන් පරිදි සවුදි අරාබිය, කුවේට්, බහරේන්, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන්, ඊශ්‍රායලය, ජෝර්දානය, ලෙබනන්, මාලදිවයින, මැලේසියාව, සිංගප්පූරුව සහ දකුණු කොරියාව එම රටවල් වේ.

වෘත්තීය සේවා නිදහස්

වෘත්තීය කාණ්ඩයට හසු නොවන කණ්ඩායම් සඳහා පමණක් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා පැවසුවේ ය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන පරිදි වෘත්තිය සේවා කාණ්ඩය සඳහා ස්වයං මාර්ගයෙන් රැකියා සඳහා විදේශගත වීමේදී වෘත්තිය දැක්වෙන ගමන් බලපත්‍රය හෝ අදාළ වෘත්තීයභාවය සනාථ කරන ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් රැකියා ගිවිසුම ශ්‍රී ලංකා දූත මණ්ඩල මගින් සහතික කර ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් විය හැකි ය.

අදාළ නොවන වෘත්තීය කාණ්ඩ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙබ් අඩවියේ ඇතුළත් බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයින් පිරිසක්

ඡායාරූප මූලාශ්‍රය, SLBFE

ඡායාරූප ශීර්ෂ වැකිය, විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයින් පිරිසක්

ලියාපදිංචි වන්නේ කොහොම ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ස්වයංව රැකියාවක් සඳහා විදේශගතවන විට අදාළ රැකියා ගිවිසුම ලියාපදිංචි කර ගන්නා ආකාරය පිළිබඳව ද විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මෙසේ පැහැදිලි කළේය.

"ඔබගේ සහෝදරයෙකු හෝ සහෝදරියකට ඔබ විසින් අන්තර්ජාල පහසුකමක් හරහා ලබා ගන්නා ගිවිසුමක් හෝ රැකියා අවස්ථාවක් ඔබ ඒ රටේ කන්සියුලර් අංශය හරහා ලියාපදිංචි කිරිමක් කළ යුතුයි.

එයට අදාළ රටේ ඔබ රැකියාවට ගෙන්වා ගන්නා ආයතනය විසින් අපගේ කන්සියුලර් අංශයට අවශ්‍ය මූලික ගිවිසුම්පත් ඉදිරිපත් කළාට පස්සේ අපි ලියාපදිංචි කිරීමක් කරනවා.

එහිදී රැකියා ගිවිසුම, කම්පැනියක් නම් කම්පැනියේ මූලික BR එක, රෙජිස්ටේෂන් එක සහ ගිවිසුම්පත් වන අදාළ මූලික ලියකියවිල අපි වෙබ් එකේ සඳහන් කරලා තියෙනවා මොනවා ද අවශ්‍ය කියලා. එම තොරතුරු ලබා දුන්නාට පස්සේ ඒ රටේ ඔබ රැකියාව ලබා ගන්න අවශ්‍ය විදියට ලියාපදිංචි කිරීමක් කරනවා.

ඒකට ඩොලර් 60ක වගේ මුදලක් අය කරනවා. එසේ එය සනාථ කර ලංකාවට ඒ තොරතුරු එව්වාට පස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය එම තොරතුරු සත්‍යාපනය කර අපගේ ස්වයංව රැකියා සඳහා පිටත් කරන කවුළුවලට පැමිණ ඔබ ලියාපදිංචි වී රට යන්න පුළුවන්."

නව නීතිය හේතුවෙන් දැනට ම වීසා ලබන සිටින පුද්ගලයන් හට විදේශගතවිමේදී ගැටලුවක් වේ ද, සහ මේ පිළිබඳව වැඩිදුර විස්තර විමසීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල උත්සහ කළ ද ඔහු ප්‍රතිචාර දැක්වූයේ නැත.