ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට සහ රැකියා අපේක්ෂකයින්ට බලපාන කැනඩාවේ අලුත් තීරණය

SL Canada

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල කැපී පෙනෙන වෙනසක් සනිටුහන් කරමින් "ජනගහන වර්ධනයට විරාමයක්" තැබීමේ උත්සහයක් ලෙස රට තුළට ඒමට ඉඩදෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාවේ තියුණු කප්පාදුවක් නිවේදනය කර තිබේ.

මෙම සංශෝධනවල කොටසක් ලෙස, 2025 වසර වන විට ස්ථිර පදිංචියට අවසර දීම පෙර පැවති 500,000ක ඉලක්කය, 395,000 දක්වා අඩු කිරීමට කැනඩාව පියවර ගනු ඇත. එය, 21%ක කප්පාදුවකි.

අග්‍රාමාත්‍ය ටෲඩෝ පැවසුවේ, ශ්‍රම හිඟය විසඳීම සඳහා කොරෝනා වසංගත සමයෙන් පසු සංක්‍රමණ වැඩි කළ ද, සිය රජය එහි “සමතුලිතතාව පවත්වාගෙන යාමට අපොහොසත් වූ” බව ය.

කැනඩාවේ සංක්‍රමණ සඳහා මහජන සහයෝගය අඩුවෙමින් පවතින අතර, වර්ධනය වන සංක්‍රමණිකයින් සංඛ්‍යාව සහ නිවාස හා සමාජ සේවා කෙරෙහි එහි බලපෑම පිළිබඳව සැලකිල්ල වැඩි වෙමින් පවතින බව මත විමසුම්වලින් යෝජනා වී තිබේ.

ජාත්‍යන්තර සිසුන් සහ තාවකාලික විදේශ ශ්‍රමිකයන් යන දෙඅංශයෙන් ම දැනටමත් ප්‍රකාශයට පත් කරන ලද අඩු කරන ලද ඉලක්ක මත පදනම්ව මෙම පියවර ගෙන තිබේ.

බ්‍රහස්පතින්දා, අගමැති ටෲඩෝ සහ ආගමන කටයුතු ඇමති මාක් මිලර්, අලුතින් ස්ථිර පදිංචිය ලබා දෙන සංඛ්‍යාව තවදුරටත් කප්පාදු කරන බව නිවේදනය කළේ ය.

මිලර් ප්‍රකාශ කළේ, 2027 වන විට ස්ථිර පදිංචිය හිමි වන සංඛ්‍යාව 365,000 දක්වා අඩු කිරීම සිය ඉලක්කය වී ඇති බව ය.

මෙම අඩු කිරීම ඉදිරි වසර දෙක තුළ කැනඩාවේ ජනගහන වර්ධනයට විරාමයක් තබනු ඇති අතර, ඔවුන්ගේ සෞඛ්‍ය සේවා වැඩසටහන් සහ නිවාස ගණන ඉහළ නැංවීමට පළාත්වලට කාලය ලබා දෙමින් ටෘඩෝ පැවසීය.

සංක්‍රමණ ක්‍රමවේදය රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ විවිධත්වයෙන් යුත් ප්‍රජාවන් ගොඩනැගීමට ඉවහල් වූ බව පැවසූ අගමැතිවරයා, ඒ පිළිබඳව "කැනේඩියානුවන් යුක්තිසහගත ලෙස ආඩම්බර වන" බව පැවසීය.

"අපගේ ආගමන ක්‍රමවේදය සැමවිට ම වගකීම්සහගතව ක්‍රියාත්මක වූ අතර එය සැමවිට ම නම්‍යශීලීව පැවතුණා," ටෲඩෝ පැවසීය. "අපි අද ක්‍රියා කරන්නේ, වසංගතයෙන් ගොඩ ආ, ශ්‍රම අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීම සහ ජනගහන වර්ධනය පවත්වා ගැනීම අතර ඇති වූ කැළඹිලි සහිත කාලයක නිසා, එහි සමතුලිතතාව පවත්වාගෙන යන්න අසමත් වුණා."

රජයේ දත්තවලට අනුව පසුගිය වසරේ කැනඩාවේ ජනගහන වර්ධනයෙන් අතිමහත් බහුතරයක් - 97%ක් පමණ සංක්‍රමණිකයින්ගෙන් නියෝජනය විය.

ඒ සමග ම, කැනඩාවේ විරැකියා අනුපාතය 6.5% දක්වා වැඩි වී ඇති අතර, තරුණයින් සම්බන්ධයෙන් එම අගය 14% ඉක්මවා ඇත.

කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්

මේ වන විට ශ්‍රී ලාංකිකයින් 250,000ත් 300,000ත් අතර පිරිසක් කැනඩාවේ වාසය කරන බව කැනඩාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඉන් බහුතරය කැනඩාවේ පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය හිමි කරගෙන සිටිති.

කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් සැලකිය යුතු පිරිසක් ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වන බවත්, ඉන්දියාව හැරුණු විට විශාලතම දෙමළ ඩයස්පෝරාව වෙසෙන රට කැනඩාව බව එරට රජය පවසයි.

ශ්‍රී ලාංකිකයින්ගෙන් බහුතරයක් ටොරොන්ටෝ නගරය ආසන්නව වාසය කරන බව ද සංඛ්‍යා ලේඛන වාර්තාවල සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් කාර්යාලය ඔටාවාහි පිහිටා ඇති අතර, කැල්ගර්, හැලිෆැක්ස්, මොන්ට්‍රියල්, ටොරොන්ටෝ, වැන්කූවර් සහ විනිපෙග් යන නගරවල කොන්සල් කාර්යාල පිහිටුවා තිබේ.