ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චෙම්මනි අස්ථි කොටස් පිළිබඳ වාර්තාව හෙට අධිකරණයට
- Author, බීබීසී සිංහල
යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ සිදු කළ කැණීම්වල 5 වන අදියරේදී සොයා ගැනුණු අස්ථි කොටස් පිළිබඳ වාර්තාව සැප්තැම්බර් 18 වන දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
පස්වන අදියරේ කැණීම් කටයුතු සැප්තැම්බර් 06 වන දින නවතා දැමූ බව එහි කැණීම් නිලධාරීහු පවසති.
එලෙස කැණීම් තාවකාලිකව නවතා දැමුණේ පස්වන අදියරේ 13 වන දිනයේදී ය.
කැණීම්වලින් මෙතෙක් හමුවී ඇති දේවල්
සමස්ත කැණීම් තුළින් මේ වන විට මිනිස් සිරුරු 240කට අදාළ අස්ථි කොටස් මතුකරගෙන ඇති බව කැණීම් නිලධාරීහු පැවසූහ.
මේ ස්ථානයේ සිදු කළ ස්කෑන් පරීක්ෂණ වාර්තා සැළකිල්ලට ගනිමින් හය වන අදියරේ කැණීම් කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන බව ද කැණීම් නිලධාරීහු පවසති.
යාපනය වැඩබලන මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේ, කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, යාපනය විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසින් මේ සම්බන්ධයෙන් කැණීම් කටයුතු සිදුකරනු ලබති.
කැණීම් තුළින් හමුවූ අස්ථි කොටස් හා සමූහ මිනිවළ තුළින් හමුවු භාණ්ඩ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග යටතේ, යාපනය විශ්ව විද්‍යාලය විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් භාරයේ තබා තිබේ.
පස් වන අදියරේ කැණීම් කටයුතු සිදු වූ අකාරය
චෙම්මනි පස්වන අදියර අගෝස්තු 25 වැනිදා ආරම්භ කළ අතර, පස්වන අදියර කැණීම් තුළින් මේ දක්වා මිනිස් සිරුරු 90 කට අදාළ අස්ථි කොටස් මතුකරගෙන තිබිණි.
සමූහ මිනිවළ පස්වන අදියරේ කටයුතු සම්බන්ධයෙන් සැප්තැම්බර් 18 වන දා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත ය.
සැප්තැම්බර් 18 වන දා අධිකරණ ක්‍රියාවලියෙන් අනතුරුව කැණීම් කටයුතුවල ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අධිකරණය විසින් නියෝග නිකුත් කෙරෙනු ඇත.