චෙම්මනි කැණීම්වලින් හමුවූ මිනිස් සිරුරු ගණන 209 දක්වා ඉහළට

    • Author, බීබීසී සිංහල

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ සිදු කෙරෙන පස්වන අදියරේ, හත්වන දින (අගෝස්තු 31 වැනිදා) කැණීම්වලින් තවත් මිනිස් සිරුරු 12කට අයත් අස්ථි කොටස් මතු කර ගෙන ඇතැයි කැණීම් නිලධාරීහු පවසති.

ඒ අනුව, මේ දක්වා සිදු කළ කැණීම්වලින් මිනිස් සිරුරු 209කට අදාළ අස්ථි කොටස් මතු කර ගෙන ඇති බව ද ඔවුහු පැවසූහ. ඉන් මිනිස් සිරුරු 191කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන තිබේ.

චෙම්මනි ප්‍රදේශයේ පස්වන අදියරේ කැණීම් කටයුතු අගෝස්තු 25 වන දා ආරම්භ වූ අතර සැප්තැම්බර් 7 වන දා දක්වා එය ක්‍රියාත්මක වේ.

යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජාගේ අධීක්ෂණය යටතේ, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසින් මේ සම්බන්ධයෙන් කැණීම් කටයුතු කෙරේ.

කැණීම් කටයුතුවලින් හමුවූ භාණ්ඩ යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ, යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨයේ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් භාරයේ තබා තිබේ.