චෙම්මනි: සිව්වන අදියරේ කැණීම් තාවකාලිකව නවතයි. මෙතෙක් සිදු වූයේ කුමක් ද?

    • Author, බීබීසී සිංහල

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ කැණීම් කටයුතු (අගෝස්තු 6) තාවකාලිකව නවතා දැමිණි. කැණිම් කටයුතුවල මීළඟ අදියර අගෝස්තු 22 වන දා නැවත ආරම්භ කිරීමට නියමිත බව කැනීම් නිලධාරීහු පැවසූහ.

සිව්වන අදියරේ සිදුකළ කැණිම්වලින් තවත් මිනිස් සිරුරු 6කට අදාළ අස්ථි කොටස් මතු කර ගත් බව කැනීම් නිලධාරීහු සඳහන් කළහ.

ඔවුන් පැවසුවේ, කැණිම්වලින් මේ වන විට මිනිස් සිරුරු 147කට අදාළ අස්ථි කොටස් මතු කර ගෙන ඇති අතර මිනිස් සිරුරු 140කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇති බව ය.

ස්කෑන් පරීක්ෂණ වාර්තාව

අස්ථි කොටස් හමු වූ ස්ථානය ආශ්‍රිතව අගෝස්තු 4 හා 5 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ විශේෂඥ කණ්ඩායමක් විසින් ස්කෑන් පරීක්ෂාවක් සිදු කළ අතර, එම වාර්තාව අගෝස්තු 14 වන දා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අදාළ විශේෂඥ කණ්ඩායම කටයුතු කරනු ඇතැයි කැණීම් කටයුතු නිරීක්ෂණ කරන නීතිඥ වී.කේ. නිරංජන් සඳහන් කළේ ය.

නීතිඥවරයා පැවසුවේ, ස්කෑන් පරීක්ෂණ වාර්තා ලැබීමෙන් අනතුරුව මීළඟ කැණීම් කටයුතු අගෝස්තු 22 වන දා නැවත ආරම්භ කිරීමට නියමිත බව ය.

මේ දක්වා හමුවූ අස්ථි කොටස් හා අනෙකුත් ද්‍රව්‍ය අධිකරණ නියෝග යටතේ යාපනය ශික්ෂණ රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා පිරනවන් භාරයේ තබා ඇත.

අස්ථි නොවන අනෙකුත් ද්‍රව්‍ය මහජන ප්‍රදර්ශනය

කැණීම් කටයුතු නිරීක්ෂණය කරන නීතිඥ රනිතා ඥානරාජා පැවසුවේ, මෙම ස්ථානයෙන් හමුවූ භාණ්ඩ අගෝස්තු 5 වන දා සවස 2 සිට 5 දක්වා මහජන ප්‍රදර්ශනයට යොමු කෙරුණු බව ය.

පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් භාණ්ඩ පරීක්ෂා කිරීමට සහභාගි වූ බවද නිතීඥවරිය පැවසුවා ය.

භාණ්ඩ පරීක්ෂා කිරීමට එක්වූ කිසිවෙකුත් අදාළ භාණ්ඩ හදුනා ගැනීමට සමත් නොවූ අතර හමුවූ භාණ්ඩ මූලිකව හඳුනා ගැනීමට අධිකරණය නියෝග ලබා දී තිබිණි.