ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චෙම්මනි කැණීම්වලින් හමු වූ භාණ්ඩ මහජන ප්‍රදර්ශනයට: භාණ්ඩ හඳුනා ගැනීමට 200කට ආසන්න පිරිසක්
- Author, බීබීසී සිංහල
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ කැණීම්වලින් හමුවූ මිනිස් අස්ථි කොටස් නොවන සෙසු භාණ්ඩ අද (අගෝස්තු 5) මහජන ප්‍රදර්ශනයට තැබිණි.
කැණීම් නිලධාරීන් පැවසූවේ, මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යාපනය අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව අධිකරණයේ නියෝග යටතේ අස්ථි කොටස් නොවන භාණ්ඩ මහජන ප්‍රදර්ශනයට තබා ඇති බව ය.
මහජන ප්‍රදර්ශනයට තැබූ භාණ්ඩ මොනවා ද?
කැණීම් කටයුතු නිරීක්ෂණය කරන නීතිඥ රනිතා ඥානරාජා පැවසුවේ, මෙම ස්ථානයෙන් හමුවූ භාණ්ඩ අද සවස මහජන ප්‍රදර්ශනයට තැබූ බව ය.
පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් භාණ්ඩ පරීක්ෂා කිරීමට සහභාගී වූ බවද නිතීඥවරිය පැවසුවා ය.
භාණ්ඩ පරීක්ෂා කිරීමට එක්වූ කිසිවෙක් අදාළ භාණ්ඩ හඳුනා ගැනීමට සමත් නොවූ අතර මෙම ස්ථානයෙන් හමුවූ භාණ්ඩ මූලිකව හඳුනා ගැනීමට අධිකරණය නියෝග ලබා දී තිබු බව ඇය සඳහන් කළා ය.
අස්ථි නොවන භාණ්ඩ 45ක් යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මෙහෙයවීම යටතේ හඳුනා ගැනීම සඳහා ප්‍රදර්ශනය කළ බව නීතිඥවරිය සඳහන් කළා ය.
යම් පුද්ගලයෙකු මහජන ප්‍රදර්ශනය මගින් කිසියම් භාණ්ඩයක් හඳුනා ගැනීම සිදු කළහොත් ඒ ඔස්සේ යම් අනාවරණයක් සිදුකර ගැනීමට විමර්ශන නිලධාරීන් අපේක්ෂා කරන බව ද ඥානරාජා පැවසුවා ය.
කැණීම්වලදී විවිධ භාණ්ඩ කිහිපයක් හමුවූ බවත්, ඒ අතර රබර් ලද බෝනික්කෙකු, සපත්තු යුගලක්, කුඩා දරුවන් පළඳින වළලු යුගලක්, කුඩා දරුවන් කිරි පානය කරන කිරි බෝතලයක්, මිනිස් ඇඳුම් කොටස් කිහිපයක්, ලෝහ කැබලි කිහිපයක් ඇතුළු භාණ්ඩ පැවති බව නීතිඥවරිය ප්‍රකාශ කළා ය.
චෙම්මනි මිනිස් අස්ථි කොටස් හමු වූ භූමිය ස්කෑන් පරීක්ෂාවට
අස්ථි කොටස් හමුවූ ස්ථානය අවට ප්‍රදේශය අද දිනයේදී ද ස්කෑන් පරීක්ෂාවකට ලක් කළ බව කැණීම් නිලධාරීහු ප්‍රකාශ කළහ.
කැණීම් නිලධාරීන් පැවසුවේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ විශේෂඥ කණ්ඩායමක් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලද අවසරය මත අස්ථි කොටස් හමුවූ ස්ථානය අවට සීමාවේ ස්කෑන් පරීක්ෂාව කළ බව ය.
අස්ථි කොටස් හමුවූ සීමාව ආශ්‍රිත භූමිය තුළ තවත් මිනිස් අස්ථි කොටස් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම එහි අරමුණයි.
යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජාගේ නියෝග මත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ විශේෂඥයින් පිරිසක් මේ ස්කෑන් පරීක්ෂාව සිදු කළහ.
චෙම්මනි කැණීම්වලින් හමුවූ මිනිස් සිරුරු ගණන 130 දක්වා ඉහළට
කැණීම් කටයුතුවලින් මේ දක්වා මිනිස් සිරුරු 130කට අදාළ අස්ථි කොටස් මතු කර ගෙන ඇතැයි කැණීම් නිලධාරීහු පවසති.
ඒ අනුව, මේ වන විට සිරුරු 120කට අදාළ අස්ථි කොටස් ගොඩ ගෙන තිබේ.
සිව් වන අදියරේ කැණීම් කටයුතු දින 15ක් පුරා සිදු කිරීමට නියමිත ය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා නියෝජිතයින්ගේ නිරීක්ෂණයට
මිනිස් අස්ථි කොටස් හමුවූ ප්‍රදේශයේ ස්කෑන් පරීක්ෂාව හා එහි කැණීම් කටයුතු නිරීක්ෂණයට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නියෝජිතයින් ද අගෝස්තු 4 වන දා එක්ව සිටියහ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් වන මහාචාර්ය ටී. තනරාජ්, මහාචාර්ය ෆාතිමා ෆර්සානා හනීෆා, ආචාර්ය ගිහාන් ගුණතිලක ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.