ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චෙම්මනි මිනිස් අස්ථි කොටස් ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා උතුරේ තෙදින විරෝධතාවක්
- Author, බීබීසී සිංහල
යාපනයේ චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්න ස්ථානයෙන් මිනිස් අස්ථි කොටස් සොයා ගැනීම ගැන සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස හා යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට ඉල්ලීම් කරමින් උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ සංගමය හා උතුරු පළාතේ සිවිල් සංවිධාන රැසක් (ජූනි 23) චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසනයේ විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
විරෝධතාවය ජූනි 23 වැනිදා සිට ජුනි 25 දක්වා පැවැත්වීමට නියමිත බව උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ සංගමයේ සභාපති යෝගරාජා කනගරංජනි පැවසුවා ය.
මෙම ස්ථානයේ තෙවැනි අදියරේ කැනීම් කටයුතු ජුනි 26 වැනිදා නැවත ආරම්භ කිරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබිණි.
චෙම්මනි සුසාන භූමිය ආසන්නයෙන් අස්ථි කොටස් මතුවීම
යාපනයේ, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය සංවර්ධනය කිරීමේ කටයුත්තකදී පළමු වරට මිනිස් අස්ථි කොටස් කිහිපයක් 2025 පෙබරවාරි මස 20 වැනිදා එහි ඉදිකිරීම් කටයුතු කළ පිරිසකට හමුවී තිබිණි.
අදාළ අස්ථි කොටස් හමුවීමෙන් අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් යාපනය පොලීසිය දැනුවත් කිරීමට එම කටයුතු භාර නිලධාරීන් කටයුතු කර තිබිණි.
පැවති වැසි තත්වය මත අදාළ ස්ථානයේ කැණීම් කටයුතු සිදු කරගැනීමට නොහැකි වූ අතර, වර්ෂාව නිමාවීමෙන් පසු යාපනය පොලීසිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග මත අස්ථි කොටස් හමුවූ ස්ථානයේ කැණීම් කටයුතු කිරීමට නියෝගයක් ලබා ගත්තේය.
කැණීම් ස්ථානය සම්බන්ධයෙන් යාපනය පොලීසිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව, අධිකරණය විසින් අදාළ ස්ථානය විශේෂඥ පිරිසකගේ අධීක්ෂණය යටතේ කැණීම් කළ යුතු බවට නියෝග ලබාදුන් බව පොලිසිය සඳහන් කළේ ය.
යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය යටතේ 2025 මැයි මස 15 වැනිදා, මැයි මස 16 වැනිදා, 17 වැනිදා අස්ථි කොටස් හමුවූ ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කරනු ලැබූ අතර එහිදී මිනිස් සිරුරුවල හිස් කබල් දෙකක කොටස් මතු කර ගැනීමට හැකි වී තිබූ නමුත් වර්ෂාව හේතුවෙන් කැණීම් කටයුතු තාවකාලිව නවතා දැමිණි.
මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතුවල දෙවැනි අදියර ජූනි 02 සිට ජූනි 07 දක්වා පැවැත්විණි.
දෙවැනි අදියර කැනීම් තුළින් මිනිස් සිරුරු 17කට අදාළ අස්ථි කොට මතුකර ගනු ලැබී ය.
මෙහි පළමු අදියර තුළින් මිනිස් සිරුරු දෙකකට අදාළ අස්ථි කොටස් ද, දෙවැනි අදියරේ කැණීම්වලින් මිනිස් සිරුරු 17කට අදාළ අස්ථි කොටස් ද මතුකරගත් බව කැණීම් නිලධාරීහු පැවසූහ.
යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ කැණීම් ස්ථානයේ කැණීම් කටයුතුවල තෙවැනි අදියර ජූනි 26 දින නැවත ආරම්භ කිරීමට නියමිතය.
යාපනය රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන්ගේ අධීක්ෂණය යටතේ කැණීම් ස්ථානයෙන් මතුකරගත් අස්ථි කොටස් සුරක්ෂිතව තැබිය යුතු බවට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙම සුසානය තුළින් මතුකරගත් අස්ථි කොටස් සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් කැණීම් නිලධාරීන් ඉල්ලීම් කර ඇත්තේ, සමූහ මිනීවළේ කැණීම් කටයුතු අවසන් නොමැති බැවින් තවත් දින 45ක පමණ කාලයක් කැණීම් ස්ථානයේ කැණීම් පවත්වාගෙන යාමට අධිකරණ අවසරය ලබාදෙන ලෙස ය.
කැණීම් නිලධාරීන්ගේ ඉල්ලීම සලකා බැලූ අධිකරණය සමූහ මිනීවළේ කැණීම් කටයුතු ඉදිරියට පත්වාගෙන යාමට අවසරය ලබාදී ඇති අතර, අධිකරණ නියෝග මත කැණීම් ස්ථානයේ තෙවැනි අදියරේ කැණීම කටයුතු ජූනි 26 වැනිදා ආරම්භ කිරීමට නියමිත ය.
කැණීම් කටයුතු කරන්නේ කවු ද?
යාපනය මහේස්ත්‍රාත් ඒ. ආනන්දරාජාගේ අධීක්ෂණය යටතේ, පුරාවිද්‍යාව පිළිබඳ කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව හා යාපනය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනාවන් යන අයගේ ප්‍රධානත්වයෙන්, යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නිලධාරීන්, යාපනය පොලීසියේ නිලධාරීන් සහ බෝම්බ නිශ්ක්‍රීය අංශ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් විසින් මෙම කැණීම් සිදුකරනු ලබයි.