දරුවෙකුට සත්ත්ව විද්‍යාඥයෙකු වීමේ සිහිනය සැබෑ කර ගන්න ලංකාවේ මගක් තිබේ ද?

ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා දරුවන්ට පරිසරය අධ්‍යනය ගැන පැහැදිළි කරන අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Young Zoologists' Association of Sri Lanka

ඡායාරූප ශීර්ෂ වැකිය, දරුවෙකු මිහින්තලේ නිවසක තබාගෙන සිටි සතුන් ලබන 06 වැනිදා වනයට මුදා හරින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
    • Author, ෂර්ලි උපුල් කුමාර
    • Role, බීබීසී සිංහල

අනුරාධපුරය, මිහින්තලේ ප්‍රදේශයේ පාසල් දරුවෙකු සිය නිවසේ නීති විරෝධී ලෙස උරගයින් රඳවාගෙන සිටීම ගැන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත අනුව කටයුතු කිරීමට සිදුවන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ නිවසේ සිටි සතුන් අද (ඔක්තෝම්බර් 02) වනජීවී නිලධාරීන්ගේ භාරයට ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාපය භාර සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ.එම්.එස් චන්ද්‍රරත්න BBC සිංහල සේවයට පැවසුවේය. අදාළ දරුවාගෙන් මේ වනවිට ප්‍රකාශයක් ද සටහන් කරගෙන තිබේ.

"මේක දරුවකු සම්බන්ධ දෙයක් නිසා අපි ඉතා සංවේදීව ඒ ප්‍රශ්නය දිහා බලන්නේ. මම ඒ දරුවාට පැහැදිලි කර දුන්නා මේක නිත්‍යානුකුල ක්‍රමවේදය තුළ කොහොමද කරන්නේ කියලා. දරුවා පාසල් යන මට්ටමේ හිටියට මම කිවුවා 'රිසර්ච් කමිටි' එක හරහා ඇප්ලිකේෂන් එකක් දාන්න කියලා. ගෙදරක මෙහෙම පර්යේෂණ මධ්‍යස්ථාන හදන්න නීතියෙන් අවසර දෙන්න බෑ. නමුත් ගිරිතලේ වනජීවී පුහුණු මධ්‍යස්ථානයේ හෝ විශ්වවිද්‍යාලයකට සම්බන්ධ කරලා ඒ හරහා මේ දරුවාට නිසි අවසරයක් ඇතිව අධ්‍යයන කටයුතු කරන්න මග පෙන්වන්න පුළුවන්" යනුවෙන් සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මිහින්තලේ දරුවෙකු සිය අධ්‍යන කටයුතු සඳහා බව පවසමින් නිවසක තබාගෙන සිටි උරගයින් රැගෙන යෑමට වනජීවී නිලධාරීන් පැමිණීම සහ පරිසර ඇමතිවරයා එම නිවසට ගොස් අදාළ දරුවාගේ ක්‍රියාව අගය කිරීම ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ උණුසුම් මාතෘකාවක් වී තිබේ.

'විෂකුරු සර්පයන් ඇති කරන ස්ථානයකි කියලා අඩුම ගානේ බෝඩ් එකක් ගහන්න වෙනවා'

නාගයෙකු අතින් අල්ලාගෙන සිටින පුද්ගලයෙකු මේ ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP /Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, නාගයා වැනි තවත් කෙනෙකුට දෂ්ඨනයක් විය හැකි සතෙකු ළඟ තබා ගැනීම අන්තරාදායක සතුන් පිළිබඳ ආඥා පනත යටතේ වරදකි.

වනසත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ 30 වන වගන්තිය අනුව සර්ප විශේෂ පහක් හැර අනෙකුත් සර්ප විශේෂ නීතියෙන් ආරක්‍ෂිත සතුන් වේ. එම පනතේ 30 වගන්තියේ දෙවන උපලේඛනය අනුව දැඩි ලෙස ආරක්‍ෂිත සතුන් ලේඛනයක් ද තිබේ. ඊට කිඹුලා සහ ඉබ්බා වැනි සතුන් අයත් වේ.

මිහින්තලේ නිවසින් සොයාගත් සර්පයින් අතර නීතියෙන් ආරක්‍ෂිත නොවන සර්පයින් මෙන් ම ආරක්‍ෂිත සතුන් ද හමුවී ඇත.

"සර්පයින් පස්දෙනෙක් ආරක්‍ෂිත කාණ්ඩයේ උරගයින් විදියට දැනට නම් කරලා නෑ, ඒ ඔවුන් දෂ්ඨනයකදී මිනිසුන්ට හානිකර වෙන්න පුළුවන් හින්දා. ඒ වගේ සතෙක්ව විද්‍යාත්මක පර්යේෂණයකට හෝ ළඟ තබා ගන්නවා නම් වනසත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ 49 (අ) වගන්තියෙන් ඒකට වෙනම අවසරයක් ගන්න ඕනා. ඊට අමතරව අන්තරාදායක සතුන් පිළිබඳ ආඥා පනත යටතේ මෙවැනි භයානක සතුන් ළඟ තබා ගෙන ඉන්න කෙනෙක්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්" යනුවෙන් ආචාර්ය ජගත් ගුණවර්ධන මෙම සිදුවීමට අදාළ නීතිමය තත්ත්වය විස්තර කළේය.

නාගයා වැනි තවත් කෙනෙකුට දෂ්ඨනයක් විය හැකි සතෙකු ළඟ තබා ගැනීම අන්තරාදායක සතුන් පිළිබඳ ආඥා පනත යටතේ වරදකි.

"අන්තරාදායක සතුන් පිළිබඳ ආඥා පනත ගැන බොහෝ දෙනෙක් දන්නේ නැහැ. තමන් ළඟ අන්තරායකර සතෙක් ඉන්නවා නම් ඒක සමාජයට දැනුම් දෙන්න ඕනා. ඉස්සර බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියලා බෝඩ් එකක් ගහන්නෙත් ඒකයි. ඒ අනුව 'විෂකුරු සර්පයන් ඇති කරන ස්ථානයකි' කියලා අඩුම ගානේ බෝඩ් එකක් ගහන්න වෙනවා. පොඩි ළමයාගේ ඉඳන් අපි ප්‍රවර්ධනය කරන සංකල්පය තමයි ජනතා විද්‍යාව (citizen science) කියන්නේ. ඒකට වයසක් නැහැ. ඒ නිසා මේ ළමයා ඒ විදියට හරියට වැඩ කළා නම් ඒක වනජීවී දෙපාර්තමේන්තුව යටතේ වුණත් 'ජනතා විද්‍යාඥ' හේතුවක් උඩ සතෙක්ව තියාගන්න පුළුවන් නම් තියාගන්න ඉඩදෙනවා ඒ අය. ඒ වගේම යම් විද්‍යාත්මක කටයුත්තක් සඳහා වෙනත් ආකාරයෙන් නීති විරෝධී වෙන දෙයක් වුණත් නීත්‍යනුකූල ලෙස අවසර දීමේ වරප්‍රසාදයක් දෙනවා ඒ පර්යේෂකයින්ට" යනුවෙන් ආචාර්ය ජගත් ගුණවර්ධන වැඩිදුරටත් විස්තර කළේය.

'අපිට හිතෙන හිතෙන පර්යේෂණ කරන්න බෑ'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පර්යේෂණ මූලධර්ම අනුව වනසතුන් යොදාගෙන හෝ තමන්ට අභිමත පරිදි ඕනෑම පර්යේෂණයක් සිදු කිරීමට ඉඩක් නැත. ඒවා ආචාර ධර්මවලට (ethics) අනුව සිදු කිරීම අනිවාර්ය අවශ්‍යතාවයකි. එමෙන්ම යම් පර්යේෂණයක් සිදු කරනු ලබන්නේ මෙතෙක් අප නොදන්නා, හිඩැසක්ව පවතින දෙයක් (research gap) පිරවීම සඳහා ය. නමුත් වනයේ සිටින සත්ත්ව විශේෂ දෙකක් මුහුම්කර නව විශේෂයක් පිළිබඳ අත්හදා බැලීම වැනි පර්යේෂණයක් සාමාන්‍ය තත්ත්වය යටතේ කිරීමට ඉඩක් ලැබෙන්නේ නැත.

"ලංකාවේ ආචාර ධර්මවලට ලොකු තැනක් දෙන්නේ නෑ. නමුත් පිටරටවල ළමයින්ටත් ඕක ගොඩක් උගන්වනවා. අපිට හිතෙන හිතෙන පර්යේෂණ කරන්න බෑ. සත්තුන්ට පර්යේෂණයක් සඳහා ඒ අයගේ කැමැත්ත (consent) දෙන්න බැහැනේ. ඒ තැන්වලදී ආචාරධර්ම කමිටු (ethical committee) තියෙනවා. විශ්වවිද්‍යාලවල බොහෝවිට වෛද්‍ය පීඨයන්ට සම්බන්ධ මෙඩිකල් රිසර්ච් කමිටි තියෙනවා. අපි සමහර පර්යේෂණ වලට ඒවායින් එතිකල් ක්ලියරන්ස් ගන්න ඕනා. සමහර මිනිසුන් ආශ්‍රිත පර්යේෂණ කළත් අපිට ඒ සඳහා පූර්ව අනුමැතිය ගන්න ඕනා." යනුවෙන් ජීව විද්‍යා පර්යේෂිකාවක වන ආචර්ය ඉරේෂා හරිස්චන්ද්‍ර පැවසුවා ය.

ඇය විස්තර කරන ආකාරයට දරුවෙකුගේ පර්යේෂණ උත්සහයක් අගය කළ යුතු සේම එම කටයුතු රටේ නීතියට අනුව, විධිමත්ව සහ නිවැරදිව සිදු කළ යුතු ආකාරය ගැන දරුවන්ට නිවැරදි මගපෙන්වීමක් සිදු කිරීම ද අත්‍යවශ්‍ය අවශ්‍යතාවයකි.

සමාජයේ කතාබහට ලක් වූ දරුවා හමුවීමට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සැප්තැම්බර් 30 වැනි දා ඔහුගේ නිවසට ගොස් තිබිණි. එමෙන්ම වනජීවී නිලධාරීන් දරුවාගේ නිවසට පැමිණි දිනයේම අමත්‍යවරයා දුරකතනයෙන් දරුවා අමතා ඉල්ලා සිටියේ මේ සිදුවීම නිසා අධෛර්යයට පත් නොවන ලෙස ය. ඔහුගේ පර්යේෂණ හා අධ්‍යයන කටයුතු නීතියට අනුව සිදු කිරීමට ඉක්මනින් විධිමත් ක්‍රමවේදයක් සකස් කර දෙන බවට ඇමතිවරයා දරුවාට පොරොන්දුවක් ලබා දුන්නේය.

"ලංකාවේ ආචාර ධර්මවලට ලොකු තැනක් දෙන්නේ නෑ. නමුත් පිටරටවල ළමයින්ටත් ඕක ගොඩක් උගන්වනවා"

ඡායාරූප මූලාශ්‍රය, Young Zoologists' Association of Sri Lanka

ඡායාරූප ශීර්ෂ වැකිය, "ලංකාවේ ආචාර ධර්මවලට ලොකු තැනක් දෙන්නේ නෑ. නමුත් පිටරටවල ළමයින්ටත් ඕක ගොඩක් උගන්වනවා"

පරිසරය ගවේෂණයට සහ සතුන් අධ්‍යනයට මග පෙන්වීමක්

පරිසරය සහ වන සතුන් නිරීක්ෂණයට කැමැත්තක් දක්වන දරුවන්ට මග පෙන්වීම සඳහා 70 දශකයේ දී ශ්‍රී ලංකා වන සත්ත්ව සහ ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) විසින් පාසල් හරහා 'සොබාදහම් සිසු හවුල' නමින් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබුණි. 90 දශකය වන විට එය ඉතා සක්‍රීය තත්වයේ පැවතිය ද එම වැඩපිළිවෙල පසුව බිඳ වැටිණි. 1987 දී මධ්‍යම පරිසර අධිකාරිය විසින් අධ්‍යාපන අමාත්‍යංශය සමග එක්ව ක්‍රියාත්මක කළ 'පරිසර නියමු' ව්‍යාපෘතිය ඉන් අනතුරුව දරුවන් අතර වඩාත් ජනප්‍රිය විය.

පරිසරය හෝ සතුන් පිළිබඳව විධිමත් අධ්‍යනයක් සඳහා ප්‍රවීණ විද්‍යාඥයින් සහ පර්යේෂකයන්ගේ ඍජු මග පෙන්වීම ලැබෙන වඩාත් ප්‍රයෝගික වැඩසටහනක් දෙහිවල ජාතික සත්වෝද්‍යානය කේන්ද්‍ර කරගෙන තරුණ සත්වවේදීන්ගේ සංගමය නමින් ක්‍රියාත්මක වේ. පින්නවල සහ රිදියගම සත්වෝද්‍යාන වල ද එහි ශාඛා ක්‍රියාත්මක වේ.

ඊට අමතරව කුරුල්ලන් පිළිබඳ විධිමත් ලෙස අධ්‍යනය සඳහා 1976 වසරේ සිට කොළඹ විශ්වවිද්‍යාලය කේන්ද්‍රකරගෙන ශ්‍රී ලංකා ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා කවය (FOGSL) ක්‍රියාත්මක වේ. එමෙන්ම මහනුවර කේන්ද්‍ර කරගෙන යොවුන් ගවේෂණ සංගමය (YES), ගාල්ල කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන වනජීවී සංරක්ෂණ සංගමය මේ සඳහා උනන්දුවක් දක්වන දරුවන්ට මග පෙන්වීමක් ලබා දෙන සංවිධාන අතරට අයත් වේ.

විද්‍යාඥයෙකු වීමට සිහින දකින්නෙකු ඒ සිහිනය හඹා යන්නේ කෙසේ ද?

විද්‍යාඥයෙකු වීම සඳහා සිහින දකින්නෙකු අනුගමනය කළ යුතු එක් පියවරක් වන්නේ නිරීක්ෂණය යි.

ස්වභාවික පරිසරයේ සිටියදී ම සතුන් නිරීක්ෂණය කිරීම වඩාත් වැදගත් වේ. එවිට එම සතුන්ගේ ස්වභාවික චර්යා නිරීක්ෂණයට සහ අධ්‍යනයට ඉඩ ලැබේ.

එම නිරීක්ෂණ විධිමත් ලෙස සටහන් තබා ගැනීම ඊළඟ වැදගත් ලක්ෂණය වේ. එම තොරතුරු විශ්ලේෂණය තවත් වැදගත් කාර්යයකි. පසුව එම පර්යේෂණ දත්ත සහ තොරතුරු විද්‍යාත්මක පර්යේෂණ වාර්තා ඉදිරිපත් කරන සැසියක දී හෝ පර්යේෂණ පත්‍රිකාවක් මගින් ප්‍රකාශයට පත් කළ යුතු වේ.

"පළවෙනි දේ තමයි මේ කාර්යයේ දී ඒ තැනැත්තාගේ සංයමය තියෙන්න ඕනා. එමෙන්ම නීත්‍යනුකූල වෙන්න ඕනා. තුන්වෙනි එක විධිමත් වෙන්න ඕනා. ඒ වගේම කරන පර්යේෂණවල පරමාර්ථයක් තියෙන්න ඕනා. කෙටි කාලීන ජයග්‍රහණ හඹාගෙන යනකොට බොහෝ දෙනෙකුට දිගු කාලින විනාශය පෙන්නේ නෑ" යනුවෙන් ආචාර්ය ජගත් ගුණවර්ධන BBC සමග කළ සංවාදයේ දී සඳහන් කළේය.

අංකුර විද්‍යාඥයින් බිහි කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ යම් වැඩසටහන් ක්‍රියාත්මක වුව ද ඒවා ප්‍රමාණවත් නොවන බව අප සමග අදහස් දක්වූ බොහෝ විද්‍යාඥයෝ සහ පර්යේෂකයෝ පැවසූහ. ඒ අනුව විද්‍යාඥයින් වීමට සිහින දකින දරුවන්ගේ සිහින සැබෑ කිරීමට මීට වඩා ක්‍රමවත්, ප්‍රයෝගික වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව ඔවුන්ගේ අදහසයි.