ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මෝදිගේ සංචාරයෙන් අපට අවශ්‍ය දේවල් වෙන්නේ නෑ'-කඳුකර දෙමළ ජනතාව සහ උතුරේ ධීවරයන්
- Author, බීබීසී සිංහල
සියවස් ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ දේශපාලනයට ඍජු මැදිහත්වීම් කරන ප්‍රධාන රටක් ලෙස ඉන්දියාව සැලකෙයි.
භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවට ආසන්නයෙන් පිහිටීම නිසා ඉතිහාසයේ පටන් ශ්‍රී ලංකාවට වරින් වර ඉන්දියානු ආක්‍රමණවලට මුහුණ දීමට ද සිදුවිය.
එමෙන් ම ඉන්දියාවේ දේශපාලනික ප්‍රබෝධයන් ශ්‍රී ලංකාවට ද බලපෑ අතර, ඉන්දියානු ජාතික ව්‍යාපාරයෙන් පන්නරය ලැබූ ශ්‍රී ලංකාවේ ජාතික ව්‍යාපාරය එයට නිදසුනකි.
ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට ද ඍජුව මැදිහත් වූ අතර, 1987දී අත්සන් කෙරුණු ඉන්දු-ලංකා ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ බලය බෙදීමට පළාත් සභා ක්‍රමය ඇති කරන ලද අතර, එම ගිවිසුම අත්සන් කිරීම සඳහා එවකට ඉන්දීය අගමැතිවරයා වූ රජීව් ගාන්ධි ශ්‍රී ලංකාවට පැමිණීම විශේෂ සිදුවීමකි.
මෙවැනි සිදුවීම් නිසා ම ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු විරෝධයක් ද මතු වී තිබූ අතර, වර්තමානයේ ශ්‍රී ලංකාවේ පාලන බලය හිමි ජාතික ජන බලවේගයේ ප්‍රධානතම පාර්ශවකරුවෙකු වන ජනතා විමුක්ති පෙරමුණ ද "ඉන්දියානු ව්‍යාප්තවාදයට" එරෙහිව එකල හඬ නැගූ කණ්ඩායම් අතර ප්‍රමුඛත්වයක් ගත්තේ ය.
වර්තමානයේ ද ඉන්දියාව උපායමාර්ගිකව ශ්‍රී ලංකාවට බලපෑම් සිදුකිරීම වරින් වර සිදුවෙයි.
ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ඉන්දියානු ධීවරයන් විසින් ආක්‍රමණය කිරීම නිසා උතුරේ ධීවරයන් ද, ඉන්දියාවෙන් වසර 202කට පෙර ශ්‍රී ලංකාවේ වතුවල සේවය කිරීමට ගෙන ආ මලෛයහ දෙමළ ජනතාව ද, ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට කරනු ලබන බලපෑම්වලට ඍජුව නොවුණ ද දෙආකාරයකින් ලක්වන කණ්ඩායම් දෙකකි.
ඔවුන් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයෙන් බලාපොරොත්තු වන්නේ මොනවා ද? මේ, ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ සොයා බැලීමකි.
අවසන් නොවන ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටලුව
ඉන්දියානු ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාව අතික්‍රමණය කිරීම නිරන්තරයෙන් සිදුවන අතර, ශ්‍රී ලංකික ධීවරයන් ද ඉන්දියානු මුහුදු සීමාව ඉක්මවා ගිය අවස්ථා ද නැතුවා ම නොවේ.
එලෙස මුහුදු සීමා අතික්‍රමණය කරන ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් ඉන්දියාවේ තමිල්නාඩුව වැනි ප්‍රාන්ත රජයන්ගෙන් ද දැඩි විරෝධයක් එල්ල විය.
මුලින් ඉන්දියාව සතුව පැවති, ඉන්දිරා ගාන්ධි අගමැතිවරිය ලෙසින් සිටියදී, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක සමග ඇති කර ගත් එකඟතාවක් අනුව ශ්‍රී ලංකාවට පවරා දුන් කච්චතිව් දූපතේ පිහිටි දේවස්ථානයේ වාර්ෂික උත්සවය සඳහා පසුගිය වසරේ (2024) ඉන්දියානු ධීවරයන් පැමිණීම වර්ජනය කළේ ද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දියානු ධීවරයන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමිනි.
මෙම උත්සවය වාර්ෂිකව පැවැත්වෙන්නේ, දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ධීවරයන්ගේ සහයෝගයෙනි.
මෙම වසරේ ජනවාරි මාසයේදී ද යාපනය, කයිට්ස් මුහුදේදී ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සිය බලවත් විරෝධය පළකර සිටියේ ය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නව දිල්ලියේ සිටින වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා කැඳවා සිය අප්‍රසාදය පළකරනු ලැබූ බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කර තිබිණි.
බීබීසී සිංහල සේවය විසින් ජනවාරි 28 දින සිදු කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක කමාන්ඩර් බුද්ධික සම්පත් පැවසුවේ, ජනවාරි මාසයේ පළමු දින 28 තුළ ට්‍රෝලර් යාත්‍රා 07ක් සමග ධීවරයින් 65 දෙනෙකු ද, 2024 වසරේදී ට්‍රෝලර් යාත්‍රා 72ක් සමග ධීවරයින් 554 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව ය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් මෙතෙක් රජයයන් දෙකට ම නිශ්චිත එකඟතාවකට පැමිණීමට නොහැකි වී තිබේ.
උතුරේ ධීවරයන් පවසන්නේ, ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ 'ඉන්දියානු ධීවරයන්ගේ ක්‍රියාකාරකම් එන්න එන්න ම වැඩි වෙමින්' පවතින බව ය.
"ඉන්දීය ධීවරයන් අපේ මුහුදු සීමාවට ඇවිත් කරන මාළු ජාවාරම දැන් එන්න එන්න ම වැඩිවෙනවා. ඉන්දීය ධීවරයින් අපේ මුහුදේ තහනම් දැල් ආම්පන්න දාලා මාළු පොඩි පැටව් ඉඳලා ලොකු මාළු දක්වා මාළු අල්ලගෙන යනවා," උතුරු පළාත් ඒකාබද්ධ ධීවර සංගමයේ ලේකම් හා මන්නාරම දිස්ත්‍රික් ධීවර සමූපකාර සංගමයේ ලේකම් මොහොමඩ් ආලම් පැවසුවේ ය.
'ඉන්දීය ධීවරයින් උතුරු නැගෙනහිර මුහුදේ අනවසරයෙන් මාළු අල්ලන එක නවත්වන්න දෙරටේ නායකයින් මැදිහත් විය යුතු යි'
උතුරේ මුහුදු සීමා අතික්‍රමණය කරමින් සිදු කරන මෙම මසුන් ඇල්ලීම් අතරතුර ඇතැම්විට ඉන්දීය ධීවරයන් විසින් ශ්‍රී ලංකාවේ ධීවරයන්ට පහර දෙනු ලැබූ අවස්ථා ද වාර්තා වී තිබේ.
"ඉන්දියාවෙ ධීවරයො ඇවිල්ලා අපේ මුහුදු සීමාවේ ලොකු බෝට්ටු දාගෙන කරන මාළු ඇල්ලීම එක්ක අපේ ධීවරයොන්ගේ මාළු අල්ලන රස්සාවට ගැටලු ඇති වෙලා තියෙන්නේ. මගේ මහත්තයා කිව්වේ සමහර වෙලාවට මුහුද මැදදි ඉන්දීය ධීවරයෝ අපේ ධීවරයින්ට පහර දෙන අවස්ථා තියෙනවා කියලා. එහෙම වෙලාවල්වලදි අපේ රටේ ධීවරයෝ තුවාල ලබපු අවස්ථා කිහිපයක් ම පහුගිය කාලයේ ආරංචි වුණා," යැයි බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් මන්නාරම පදිංචි පී. සෙල්වරාණි පැවසුවා ය.
ඇයගේ සැමියා ධීවර රැකියාවේ නිරත වන අයෙකු වන අතර, ඔවුන් ජීවත් වන්නේ සිය සැමියාගේ රැකියාවෙන් බව ඇය පැවසුවා ය.
"දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා පවුලේ ආර්ථිකය ඔක්කෝම මහත්තයාගේ මාළු අල්ලන රස්සාව එක්ක රැඳිලා තියෙන්නේ," ඇය පවසයි.
ආලම් පවසන්නේ, වරින් වර නාවික හමුදාව කරන අත්අඩංගුවට ගැනීම්වලින් මෙම ගැටලුවට විසඳුමක් නොලැබෙන බව ය. ඒ සඳහා දෙරටේ නායකයන් මැදිහත් වී විසඳුමක් ලබා ගත යුතු බව ඔහු පෙන්වා දෙයි.
"ඉන්දීය ධීවරයො අපේ නාවික හමුදාව ඇල්ලුවා කියලා ඉන්දීය ධීවර ගැටළුවට පිළිතුරක් ලැබෙන්නේ නෑ.ඒ ප්‍රශ්නයට දෙරටේ නායකයෝ හා ධීවර සංගම් එකාබද්ධවෙලා සාකච්ඡාවක් තියලා විසදුමක් ලබාගන්න ඕනේ."
"අපි ඒ වෙනුවෙන් 2016 වසරේ ඉන්දීය රජය හා ඉන්දීය ධීවර සංගම් එක්ක සාකච්ජාවක් ඉන්දියාවේ දිල්ලියේදි ආරම්භ කළා. ඒත් ඒ සාකච්ජා ඉන් පස්සේ පැවැත්වුණේ නෑ. ඒ සාකච්ඡාවලදී දෙරටේ ධීවර නායකයෝ සාධාරණ විසඳුමක් ලබාගන්න සූදානම් වෙලා හිටියේ. ඒත් ඒ සාකච්ඡා නැවත පැවැත්වුණේ නැති නිසා ගැටලුවට නිසි විසඳුම් ලැබුණේ නෑ," ඔහු පැවසුවේ ය.
ආලම් පෙන්වා දෙන්නේ, මෙම ගැටලුව විසඳීමට පියවරක් ගැනීම, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයෙන් බලාපොරොත්තු වන බව ය.
"දැන් ඉන්දියාවේ මෝදි අගමැතිතුමා ලංකාවේ සංචාරයක් කරන්න ළඟදි එනවා කියලා තියෙනවා. අපි ලංකාවේ රජයෙන් ඉල්ලන්නේ මේ ඉන්දු ලංකා ධීවර ගැටලුවට සාධාරණ විසඳුමක් ලබා දෙන්න මැදිහත් වෙන්න කියලා," ඔහු පැවසුවේ ය.
ධීවර රැකියාවේ නියුතු සිය සැමියා ඇතුළු උතුරේ ධීවරයන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී වී ඇති මෙම ගැටලුවට යම් පිළිතුරක් ඉන්දීය අගමැතිවරයාගේ සංචාරයේදී ලබා ගත යුතු බව සෙල්වරාණි ද පවසයි.
"අපි ඉල්ලන්නේ ධීවර රැකියාවෙන් ජීවත් වෙන අපේ ජීවිතවලට තර්ජනයක් වෙන ඉන්දීය ධීවර ගැටළුව විසදලා දෙන්න ලංකාවේ රජය ඉන්දියාවේ අගමැතිවරයාගෙන් ඉල්ලන්න කියලා."
ඉන්දියාව සහ මලෛයහ දෙමළ ප්‍රජාව
වසර 202කට පමණ පෙර, දකුණු ඉන්දියාවේ ඉඩම් අහිමි අඳ ගොවියන් සහ ගොවි බිම්වල වැඩ කළ කම්කරුවන්, මෙරට වතුකරයේ ශ්‍රම බළකායේ තිබූ හිඩැස පිරවීමට ශ්‍රී ලංකාවට රැගෙන ආවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ තීරණයක් ලෙස ය.
සිය වාසභූමිවල සිට ඉන්දියානු වෙරළ දක්වා දීර්ඝ ගමනක් ද, බෝට්ටුවෙන් ශ්‍රී ලංකාවට ළඟා වූ පසු කඳුකරයට ළඟා වීම සඳහා සැතපුම් 150ක පමණ දුරක් ද පයින් ගමන් කිරීමට ඔවුන්ට සිදු වී තිබිණි.
එලෙස මධ්‍යම කඳුකරයේ වතුවලට ගෙන ගිය කම්කරුවන්ට අවම ජීවන පහසුකම් හෝ නොතිබූ අතර, ඔවුන්ට වැටුප් ගෙවීමක් සිදුව ඇත්තේ නාමික ආකාරයෙන් පමණි.
වර්තමානයේ ද ලක්ෂ තුනක් පමණ වන මෙම ප්‍රජාව ජීවත් වන්නේ අවම ජීවන තත්ත්වයන් යටතේ ය.
1931 වසරේදී ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය හිමි වන විටත් වතුකම්කරුවන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස නොසැලකූ නිසා ඔවුන්ට ඡන්ද බලය හිමි නොවී ය.
දැන් මලෛයහ දෙමළ ලෙස හැඳින්වෙන මෙම ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනතාවට පුරවැසි භාවය ලබා දීම සම්බන්ධයෙන් ඉන්දියාව වරින් වර ශ්‍රී ලංකාව සමග කටයුතු කළේ ය.
20 වන සියවසේ මැද භාගයේදී මෙම කම්කරුවන්ගේ පුරවැසිභාවය ඇතුළු ගොඩ නැගුණු ප්‍රශ්නවලට විසඳුමක් ලෙස 'සිරිමා- ශාස්ත්‍රී ගිවිසුම' ලෙස ප්‍රසිද්ධ '1967 අංක 14 දරන ඉන්දු ලංකා ගිවිසුම' මගින් ඉන්දියානු කම්කරුවන් 600,000ක් නැවත ඉන්දියාවට යැවීමට තීරණය වී ඇත.
එයින් 94,000ක් ඉන්දියාවට යාම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඉතිරි 506,000 ක්වූ පුද්ගලයින් අතරින් 342,000ක පමණ පිරිසක් 1983 දක්වා කාලය තුළ ආපසු ඉන්දියාවට යවා ඇත.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට එම ගිවිසුම ප්‍රකාරව ඉන්දියානු සම්භවයක් සහිත කම්කරුවන් 343,985 දෙනෙකුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා දී තිබේ.
'කඳුකර ජනතාවට ඉඩම් ප්‍රතිපත්තියක් හදන්න ආණ්ඩුවට බල කරන්න'
මලෛයහ දෙමළ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ඉන්දියාව වරින් වර සහනාධාර ලබා දීම ද සිදු කර තිබේ.
පශ්චාත් යුධ සමයේදී 2012 දී උතුරු නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල නිවාස 49,000ක් ඉදිකිරීමට ඉන්දියානු රජය ආධාරයක් ලබා දුන්නේ ය.
එය මෙතෙක් ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ ආධාරවලින් දෙවැනි වන්නේ වික්ටෝරියා වේල්ල ඉදිකිරීමට එක්සත් රාජධානියෙන් හිමි වූ ප්‍රදානයට පමණි.
මලෛයහ දෙමළ ජනතාවගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් ක්‍රියාකරුවෙකු වන සත්‍යවේල් පියතුමන් පැවසුවේ, වතුකරයේ බොහෝ යටිතල පහසුකම් සංවර්ධනයට ඉන්දියාව සහය ලබා දී ඇති බව ය.
"ඉන්දියානු ආණ්ඩුව කඳුකර ජනයාට ගෙවල් පරිත්‍යාග කරලා තියෙනවා. ඒවාට මුදල් වියදම් කරන්නෙත් ඒ අය තමයි," ඔහු පැවසුවේ ය.
නමුත් ජීවත් වීම සඳහා මෙම ජනතාවට ඉඩමක් ලබා ගැනීමේ අයිතිය තවමත් නොලැබී ඇතැයි පියතුමා සඳහන් කළේ ය.
"මේ වතු ගොඩ නගන්න කඳුකර ජනයා තමන්ගේ ජීවිත පූජා කරලා තියෙනවා. ඔවුන් වළ දාලා තියෙන්නේ මේ භූමියේ. වසර 200ක් ගිහිල්ලත් ඒ අයව ඉඩම් හිමියන් කරන්න රජයට බැරි වෙලා තියෙනවා."
"නිවාස හදන්න ව්‍යාපෘති ආවාට මේ ජනතාවට මොන විදිහේ ඉඩමක් දෙනවා ද කියන එක ගැන තව ම ප්‍රතිපත්තියක් නෑ. අපි කියන්නේ මේ ආණ්ඩුව කඳුකර ජනයාට ඉඩම් ලබා දීම පිළිබඳව නිශ්චිත ප්‍රතිපත්තියක් සකස් කර ගත යුතු යි," ඔහු පැවසුවේ ය.
"අපි බලාපොරොත්තු වෙනවා කඳුකර ජනතාවට ඉඩම් ලබාදීමේ ප්‍රතිපත්තියක් සකස් කරන්න කියලා මේ ආණ්ඩුවට මෝදි අගමැතිතුමාගේ පැත්තෙන් බලපෑමක් කරයි කියලා," ඔහු පැවසුවේ ය.
"උතුරු නැගෙනහිර වගේ දේශපාලන විසඳුමක් නෙවෙයි මේ ප්‍රශ්නයට අවශ්‍ය. කඳුකර ජනයා ඉල්ලන්නේ ඔවුන්ට ජීවත් වෙන්න අවශ්‍ය ඉඩමක්."
'වතුකරයට ලබා දෙන දේවල් ගැන සොයා බලන්න'
ඉන්දියාව වරින් වර විවිධ ව්‍යාපෘති සඳහා ආධාර මුදල් ලබා දී ඇති බව වැඩකරන කාන්තා පෙරමුණේ ප්‍රධාන ලේකම් යෝගේෂ්වරී ද පැවසුවා ය.
"ගෙවල් හදන්න, ඉස්කෝල හදන්න, මන්දපෝෂණය නැති කරන්න වගේ දේවල්වලට ඉන්දියාව ආධාර කරලා තියෙනවා. නමුත් ඒ ආධාරවලින් ඒ අරමුණු ඉටු වෙලා තියෙනව ද කියලා එයාලා හොයලා බලන්න ඕනේ," ඇය පැවසුවා ය.
"දැන් රටට වැඩියෙන් ම ආදායම් ගෙන එන ක්ෂේත්‍රවල වැඩියෙන් ම වැඩ කරන්නේ කාන්තාවන් නේ. වතු කම්කරුවන්ගෙනුත් වැඩි පිරිස කාන්තාවන්. එත් ඒ කාන්තාවන්ට අවශ්‍ය දේවල් ලැබිලා තියෙනවා ද කියලා අපි අහලා බැලුවොතින් එන උත්තරය තමයි 'නෑ' කියන එක," ඇය පෙන්වා දෙයි.
"දැන් අපි කන බොන බඩුවල මිල හරි ම ඉහළ යි. ඒ මිල වැඩි වෙනවා එක පාරට ම. කම්කරුවාට ඒ බර දැනෙනවා වැඩි යි."
ඇය පවසන්නේ, ඉන්දියාව වැනි රටවල් සමග ගිවිසුම්වලට එළැඹීමේදී 'මේ දේවල් පිළිබඳව සලකා බලනු ඇති බවට' බලාපොරොත්තු වෙන බව ය.
"දැන් මෙයාලා ඇවිල්ලා අත්සන් කරන ගිවිසුම් තියෙනව නේ. එතකොට කර්මාන්ත ගැන එහෙම අත්සන් කරන ගිවිසුම්වලදී කම්කරුවන්ගේ මූලික වැටුප වගේ දේවල් ගැන හොඳට ම සලකා බලන්න ඕනේ."
ඇය පැවසුවේ, තවමත් වතුකරයේ විවිධ වතුවල වැටුප් ගෙවීම නිසි ලෙස සිදු නොවන බව ය.
'මෝදිගේ සංචාරයෙන් අපට අවශ්‍ය දේවල් වෙන්නේ නෑ'
"මෝදි එනවා එනවා කිව්වට කලිනුත් ආව නේ. මෝදි අවා කියලා මලෛයහ ජනතාවට එහෙම ලොකු බලාපොරොත්තුවක් නෑ," යැයි බීබීසී සිංහල වෙත පැවසුවේ වතුකරයේ හඬ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ඇන්තනී ජේසුදාසන් ය.
"2023 දී ඉන්දියාවේ මුදල් ඇමතිවරිය ඇවිල්ලා මලෛයහ ජනතාවට ගෙවල් 10,000ක් හදනවා කියලා ගියා. ඒත් ඒක වෙන්නේ කොහොම ද කියලා ජනතාව අදටත් දන්නේ නෑ," ඔහු පැවසුවේ ය.
"කවුරු ආවත් අපි ගැන අවධානයක් යොමු වෙන්නේ නෑ. ආපු හැම වෙලේ ම අපට ඕනේ දේවල් වුණේ නෑ. අඩු. ම ගාණේ මේ පැතිවලට ඇවිල්ලා තත්ත්වයවත් බලලා ගියේ නෑ."
පසුගිය වසරේදී මානව හිමිකම් දිනය වෙනුවෙන් මලෛයහ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් පෙත්සමක් භාරදුන් අතර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් සහයෝගයක් නොලැබුණු බව ඔහු සඳහන් කළේ ය.
"පසුගිය දෙසැම්බර් 06 වෙනි දා අපි මලෛයහ ජනතාව මුහුණ දෙන ගැටලු ගැන පෙත්සමක් භාර දුන්නා තානාපති කාර්යාලවලට. හැම කාර්යාලයකින් ම වගේ අපි එක්ක ඇවිත් කතා කරලා පෙත්සම භාර ගත්තා. නමුත් ඉන්දියාවේ මහ කොමසාරිස් කාර්යාලය සිකියුරිටි කෙනෙක් එවලා අපේ අතින් පෙත්සම අරන් ගියා මිසක් කතා කරන්න කිසි ම අවස්ථාවක් දුන්නේ නෑ."
කෙසේ වෙතත්, කඳුකරයේ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂවල නායකයන් මෙම සංචාරය අතරතුර ඉන්දියාවෙන් සහයෝගයක් ලබා ගත හැකි බවට ජනතාවට මවා පෑ හැකි බව ඔහු පැවසුවේ ය.
"දැන් වතුකරයේ ඉන්න සමහර දේශපාලඥයෝ උත්සහ කරයි මෝදි ආවට පස්සේ කඳුකරයේ ජනතාව වෙනුවෙන් විසඳුම් ගන්න යනවා වගේ සංදර්ශන දාන්න. හැබැයි දැන් එයාලට හරියන ආණ්ඩු නැති නිසා මේ සැරේ අමාරු වෙන්න පුළුවන්. ඒ වගේ අය මොන සංදර්ශන දැම්මත් ජනතාවට වෙන දෙයක් නෑ."