ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වසර දෙසීයක් පැරණි කඳුකර දෙමළ ජනයාගේ ලංකාගමනය සිදුවුයේ කෙසේ ද?
සියවස් දෙකක් තිස්සේ රටට ඩොලර් අද්දවා දෙන්නට මෙන්ම 'සිලෝන් ටී' නාමය ලොව පුරා ගෙනයන්නට කඳුකර දෙමළ ජනතාව සිය දහදිය, ලේ, කඳුළු වගුරුවාලනු ලැබීය.
ඉන්දියාවේ සිට වසර දෙසීයකට පෙර ඉතා භායනක වූ අති දුෂ්කර චාරිකාවක යෙදෙමින් වතු කම්කරුවන් ලංකාවට පැමිණි ගමන ආවර්ජනය කරන්නට කඳුකර දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින මාරිමුත්තු සතිවේල් පියතුමා බීබීසි සිංහල සමග කතා බහකට එක්විය.
“මෙහෙ අය ගත්තොත් කැරළි ගහන්න පුලුවන් කියලා තමයි ඒ අය ඉන්දියාවෙන් කම්කරුවෝ ගෙනාවේ. අනිත් එක ඒ වෙලාවේ ඉන්දියාවේ ලොකු නියඟයක් තිබුණා. කුස ගින්නෙන් දහස් ගාණක් මැරුණා, ගොවිතැන් කරගන්න බැරි තත්වයක් තිබුණා. ඒ කාලේ තමයි මෙහෙ ඉඳන් කංකානම්ලා ගිහිල්ලා අපිත් එක්ක එන්න, අපි එක්ක ආවොත් ඕගොල්ලන්ට හොඳට හම්බ කරගන්න පුලුවන් කියලා ඒ අය එක්කගෙන ආවේ.”
දකුණු ඉන්දියාවේ, තමිල්නාඩුවේ ගොවි ජනයා මුල්වරට ලංකාවේ වතු වගාව සඳහා ගෙන එන ලද ආකාරය ගැන ඉතිහාස කතාව දිග හරිමින් පියතුමා කියා සිටියේය.
“1823 න් පසුව තමයි ආර්ථික හේතුමත කඳුකරයට මුලින්ම මේ අය ගේන්න පටන් අරන් තියෙන්නේ. ඊට කලිනුත් හමුදාවට උදව් කරන්න, කොළඹ නගරයේ වැඩවලට කට්ටිය ගෙනල්ලා තියෙනවා.”
“පළමුවෙන් තිබුනේ කෝපි වගාව, කෝපි වගාවට හැමදාම ශ්‍රමිකයෝ අවශ්‍ය නැහැ. කෝපි කඩන කාලයට තමයි ගොඩක් ඕන වෙන්නේ. එතකොට කාලෙන් කාලෙට තමයි මේ අය එන්නේ මෙහාට.”
සංඛ්‍යා ලේඛන නැති මරණ
කඳුකරයේ කෝපි වගාවට වරින්වර ඉන්දියාවෙන් ශ්‍රමිකයන් ගෙනැවිත් ඇති අතර කෝපි වගාව අලාභ වී, වගාව විනාශ වී යන විට වගාව ඉවත් කළ භූමිවල තේ වගාව ආරම්භ කර තිබේ.
තේ වගා කිරිමට ස්ථිර සේවකයන් අවශ්‍ය බැවින් වරින් වර ඉන්දියානු කම්කරුවන් මෙරටට ගෙන ආ බව ඉතිහාසයේ සඳහන් වන බව සතිවේල් පියතුමා පැවසීය.
සුළි කුණාටුවලට මුහුණ දෙමින් මහ සයුර හා පොර බඳිමින් තමිල්නාඩුවේ සිට බෝට්ටු හරහා අන්තරාකාරී ගමනකින් පසුව තලෙයිමන්නාරමට ගොඩ බසින ඉන්දීය කම්කරුවන්, ඉන් පසු දින, සති ගෙවමින්, ගම් නියංගම් පසු කර, මහ වනාන්තර මැදින් සතා සිවුපාවන් හා ගැටෙමින් ඔවුන්ගේ ප්‍රධානතම සංධිස්ථානයක් වන මාතලේට පැමිණ තිබේ.
මාතලේට පැමිණිමෙන් පසුව ඔවුන් කණ්ඩායම් වශයෙන් වෙන් කර විවිධ ප්‍රදේශවල වගා කටයුතු සඳහා යවා ඇත.
ඉන්දියාවෙන් පිටත් වු සියලු දෙනා සිය ගමනාන්තය දක්වා පැමිණිමට තරම් වාසනාවන්ත නොවු බව කඳුකර සමාජ පර්යේෂණ මධ්‍යස්ථානයේ මාරිමුත්තු සතිවේල් පියතුමා සඳහන් කළේය.
“1841 දක්වා ආපු අයගෙන් 70,000 ක් මැරිලා තියෙනවා කියලා ඒ කාලේ ඔබ්සවර් පත්තරේ වාර්තා වෙලා තියෙනවා. සීයයට විසි පහක් මැරුණා කියලා තමයි කියන්නේ. මෙහාට සීයක් ගෙන්න ගන්න ඕනේ නම් එහෙන් 400 ක් ගේනවා. හේතුව මේගොල්ලෝ දන්වා එන ගමනේදී කට්ටිය මැරෙනවා කියලා. මේ ගොල්ලෝ කවදාවත් මුහුදේ ඇවිල්ලා නෑ. එන්නේ පයින් කැලෑ පාරවල්වල සෞඛ්‍ය පහසුකම් තිබුනේ නැහැ, ආහාර නැහැ, විවිධ රෝග ඇති වෙනවා, ඕකෙන් මැරෙනවා කියලා දන්න නිසා තමයි එහෙන් වැඩි පුර අය ගෙන්නේ.”
“ඊට පස්සේ 1841 ඉඳලා 1849 දක්වා ගෙනාපු අයගෙන් 90,00 මැරුණා කියලා තමයි කියන්නේ. 1880 දී කෝපි වගාව විනාශ වෙනවා. එතකොට වතු අයිතිකාරයින්ට මේගොල්ලන්ට පඩි ගෙවාගන්න විදියක් තිබුනේ නැහැ. මේ අයට ඒ කාලේ හැම මාසෙම පඩි ගෙව්වෙත් නැහැ. එතකොට ලොකු කෑම හිඟයක් තිබුනා, වෛද්‍ය පහසුකම් තිබුනෙත් නැහැ. එතකොට තැන් තැන්වල වැටිලා මැරිච්ච අයත් ඉන්නවා. මැරුණ ගාන ලක්ෂ දෙකක් ද තුනක් ද කියන එක ගැන සංඛ්‍යා ලේඛන තවම කොහොවත් නැහැ.” පියතුමා කියා සිටියේය.
මෙම කම්කරුවන් මුහුද දැක තිබු හෝ මීට පෙර බෝට්ටුවක ගමන් නොකරන ලද පිරිස් බව පැවසු සතිවේල් පියතුමා “කුණාටුවලට අහුවෙලාත් මැරුණා, මුහුදේදි මැරුණ අය මුහුදට විසි කරලා ඇවිත් තියෙනවා.” යැයි සඳහන් කළේය.
ඉන්දියාවේ සිට ලංකාවට කම්කරුවන් ගෙන එමින් තිබු “ආදිලච්චමි” නමින් හැඳින්වු නැව 1864 දී මුහුදුබත් වීමෙන් කම්කරුවන් 150 දෙනෙකු පමණ ද මිය ගොස් තිබේ.
කඳුකර දෙමළ ජනතාවගේ විශේෂත්වය
විවිධ අවස්ථාවලදී ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ මේ වන විට ලංකාවේ දිවි ගෙවනු ලබන දෙමළ ජනයා අතර කඳුකර දෙමළ ජනයාගේ විශේෂත්වය කුමක්දැයි බීබීසි සිංහල පියතුමාගෙන් විමසීමක් කළෙමු.
“කඳුකරයට ආපු අය ඉන්දියාවේ එකම ගම්මානයකින් තමයි එන්නේ. ඒ ගමේ තිබුණ සංස්කෘතිය එක්ක තමයි ඒ අය මෙහාට එන්නේ. සංස්කෘතිය, ජීවන රටාව, කෑම බීම එක්ක තමයි රැකියාව කරන්න ආවත් ඒ අය එන්නේ. ඒ වගේ තමන්ගේ ආගමික විශ්වාසය එක්ක තමයි එන්නේ, ඒ විශ්වාසය රැක ගත්තා මෙතනට ආවාට පස්සෙත්. කොළඹ පැතිවලට ගිය අය නාගරිකරණය වුණා. හැබැයි වතු වැඩවලට ආපු අය නාගරිකරණයට අහුවුණේ නැහැ. එහෙම කරන්න අවශ්‍යතාවයක් තිබුනෙත් නැහැ වතු අයිතිකාරයන්ට.”
ඉන්දියාවේ සිට මෙරටට ගෙන එන ලද සංස්කෘතිය හා ආගමික විශ්වාසයන් විකාශනය වු ආකාරය ගැන ද පියතුමන් විස්තර කළේය.
“ඒගොල්ලෝ කුල දෙවියෝ තමයි ඇදැහුවේ ඒක තමයි මෙහාට ගෙනාවේ. ඒගොල්ලන්ට කියලා ලොකු කෝවිල් තිබුනේ නෑ. තමන්ගේ ඥාති කෙනෙක් හරි කුලය වෙනුවෙන් ජීවිතය දුන්න කෙනෙක් හරි තමයි ඒ අය නමස්කාර කළේ.”
“මෙහෙට ආවාට පස්සේ රැකියාමය දෙවිවරුත් ඇති වුණා. අපි කියමුකෝ මේගොල්ලෝ ෆැක්ටරියේ ස්ටෝරුවේ වැඩ කරනවා කියලා, එතකොට ඒ ෆැක්ටරියට කියලා “රෝදමුණි” කියලා දෙවි කෙනෙක් මේගොල්ලො හැදුවා. ඒක ඉන්දියාවේ තිබුනේ නැහැ, ඉන්දියාවේදි කළේ ගොවිතැන්නේ. තේ ගස් කප්පාදු කරනවානේ. එතකොට “කපාතු සාමි” කියලා එක දෙවි කෙනෙක් මේගොල්ලෝ අලුතින් ඇති කර ගත්තා. එතකොට මෙහාට ආවාට පස්සේ මේ පොළොවට ආවේණික වු දෙවියන් මේගොල්ලෝ ඇති කරගත්තා.” යි කඳුකරයට කම්කරුවා බද්ධ වු ආකාරය විස්තර කරමින් සතිවේල් පියතුමා පැවසීය.
මලෙයියහ තමිල් හෙවත් කඳුකර දෙමළ
වතු කම්කරු දෙමළ ජනයා 'මලෙයියහ තමිල්' හෙවත් 'කඳුකර දෙමළ ජනතාව' ලෙස හැඳින්වීම ගැන ද කඳුකරයේ වතු කම්කරු දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් හඬ නගන මාරිමුත්තු සතිවේල් පියතුමා කියා සිටියේය.
“1911 දී සංඛ්‍යා ලේඛන ගන්නකොට මේ අයව ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා කියලා නම් කරනවා, උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගෙන් වෙන් කරන්න. 1960 න් පසුව ඉන්දියානු සම්භවයක් කියන වචනය පාවිච් කරන්න එපා කියලා කඳුකරයෙන්ම පිබිදීමක් ඇති වෙනවා. අපි මේ රටේ ඉපදුනා, අපේ කවුරුත් ඉන්දියාවේ ඉන්නවාද කියලා අපි දන්නේ නැහැ. අපිව කඳුකර දෙමළ ජනයා කියලා හඳුන්වන්න කියලා පිබිදීමක් ඇති වෙනවා.”
“1977 වෙනකොට එහෙම හඳුන්වන්න කියලා ලිපියක් එනවා ජේ. ආර්. ජයවර්ධනට. ඒකේ පිටපත් යවනවා එවකට විපක්ෂ නායක අමිර්තලිංගම්ට, සිරිමාවෝ බණ්ඩාරනායකටත් යවනවා, තොණ්ඩමන්ටත් යවනවා. ජේ.ආර්. ජයවර්ධන හා සිරිමාවෝ බණ්ඩාරනායක ඒකට ප්‍රතිචාර දක්වනවා ඒක ජනතාවගේ ඉල්ලීමක් ලෙස ගේන්න කියලා. ඒත් ඊට පස්සේ ඒක වුණේ නැහැ උතුරු නැගෙනහිර ප්‍රශ්න මතු වෙද්දි මේක වෙන විදියකට අර්ථකථනය කරයි කියලා.”
මලෙයියහ දෙමළ අනන්‍යතාවය සහිතව තමන්ව හඳුන්වන්නැයි, කරන ලද ඉල්ලීම වතු කම්කරු ජනතාවගේ ප්‍රධානතම ඉල්ලීමක් වුවද ඉන්දියානු හිතවාදී ප්‍රභූන් ඇතුළු දේශපාලකයන් ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා ලෙස හැඳින්වීමට උත්සාහ දරන බව පියතුමා කියා සිටියේය.
එහෙත් වතු කම්කරු ජනතාව ඉල්ලා සිටින්නේ තමන්ව 'කඳුකර දෙමළ' යනුවෙන් හඳුන්වන ලෙසයි.