ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කච්චතීව් දූපත: ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට යළි පවරා ගත හැකිද ?
මේ වන විට ශ්‍රී ලංකාවට අයත්ව තිබෙන කච්චතීව් දූපත ඉන්දියාවේ මැතිවරණය ඉලක්ක කර ගත් ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්ව තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මාර්තු 31 වන දා සිය නිල එක්ස් (මීට පෙර ට්විටර්) ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, "ඉන්දීය ජනතාව ගැන නොසිතා කොංග්‍රස් පක්ෂය කච්චතීව් දූපත ශ්‍රී ලංකාවට පිරිනැමීම සම්බන්ධයෙන් නව කරුණු අනාවරණය වී ඇති," බව ය.
මේ සම්බන්ධයෙන් සෑම ඉන්දියානුවෙකු ම කෝපයට පත්ව සිටින බවත්, කොංග්‍රස් පක්ෂය සම්බන්යෙන් තවදුරටත් විශ්වාසයක් තැබිය නොහැකි බවත් ජනතාවට යළිත් තහවුරු වී ඇති බව ද එහි දැක්වේ.
කච්චතීව් දූපතේ පිහිටීම
කච්චතීව් දූපත මෙරටට අයත් දූපත් සමූහයට අයත් එක් දූපතක් වන අතර, ශ්‍රී ලංකාවට වඩාත් දුරින් ම පිහිටි දූපත වන්නේ ද කච්චතිව් දූපත යි.
දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් නගරයට වඩාත් ආසන්නව කච්චතිව් දූපත පිහිටා තිබේ.
දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් සිට කච්චතීව් දූපත දක්වා ඇති දුර කිලෝමීටර 24කට ආසන්න වන අතර, යාපනය සිට කච්චතීව් දූපත දක්වා කිලෝමීටර 63කට ආසන්න දුරක් පවතින බව ගූගල් සිතියම අනුව පැහැදිලි වෙයි.
කච්චතීව් දූපතේ භූමි ප්‍රමාණය අක්කර 280කට ආසන්න වපසරියකින් යුක්ත වේ.
මෙම දූපත ශ්‍රී ලංකාවට මෙන් ම ඉන්දියාවට ද ධීවර කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් හේතුවෙන් ඉතා වැදගත් ය.
කච්චතීව් ශ්‍රී ලංකාවට පිරිනැමූ ගිවිසුම
කච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් ගැටලුව ඉතිහාසය පුරාවට ම දක්නට ලැබුණු අතර, මෙරට අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනායක හා ඉන්දීය අග්‍රාමාත්‍යවරියව සිටි ඉන්දිරා ගාන්ධි අතර 1974 ජූනි 26 වන දා අත්සන් කළ ගිවිසුමක් මගින් කච්චතීව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමි විය.
කච්චතීව් දුපත ඉන්දියාවේ කොටසක් නොවන බවත්, එය ශ්‍රී ලංකාවේ කොටසක් වන බවත් ගිවිසුමේ සඳහන් වෙයි.
කච්චතීව් දූපතේ අයිතිය 1974 දී ශ්‍රී ලංකාවට හිමි වූ අතර, කච්චතිව් අයිතිය හා කච්චතීව් සාගර සීමාව සම්බන්ධ ගැටලුව 20 වන සියවසේ මුල් කාලවකවානු දක්වා දිව යයි.
කච්චතීව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් 1921 වසරේ ඉන්දීය නියෝජිතයින් පිරිසක් හා ශ්‍රී ලංකා නියෝජිතයින් පිරිසක් අතර, සාකච්ජාවක් පවත්වා තිබූ අතර, එහිදී ඉන්දීය නියෝජිතයින් සඳහන් කර තිබුණේ, කච්චතීව් දූපත බ්‍රිතාන්‍ය පාලන සමයේ රාමන්ඩි පාලකයෙකු යටතේ පැවති බව ය.
එහිදී ශ්‍රී ලංකා නියෝජිතයින් පවසා ඇත්තේ, කච්චතිව් දූපත කිසිදු කාලයක ඉන්දියාවට අයත්ව නොතිබු බව ය.
වර්ෂ 1800 දී පමණ ලන්දේසි යුගයේ ඇඳි සිතියමක් පාදක කර කරමින් 1950 දී ආර්.එල්. බ්‍රෝහියර් සම්පාදනය කළ කෘතියක ද කච්චතීව් දූපත ශ්‍රී ලංකාවට අයිති බව දක්වා ඇති අතර, ඉංග්‍රීසි ජාතික සිවිල් පරිපාලකයෙකු වු ශ්‍රීමත් ජේම්ස් එමර්සන් 1860 දී "සිලෝන්” නමින් එළිදක්වා තිබූ ග්‍රන්ථයක සිතියමක ද කච්චතීව් දූපත ඇතුළත් කර තිබූ බව පුරාවිද්‍යා නිලධාරීහු පෙන්වා දෙති.
1974 දී අත්සන් කළ ගිවිසුම අනුව කච්චතීව් දූපත ආශ්‍රිත ධීවර කටයුතු හා කච්චතීව් දූපත ආශ්‍රිත සාගර සීමාව සම්බන්ධයෙන් වූ ගැටලු හේතුවෙන් එදා සිට මේ දක්වා ඉන්දීය ධීවරයින් හා ශ්‍රී ලංකා ධීවරයින් අතර ගැටුම් පවතී.
1976 වසරේ ඉන්දු - ලංකා නායකයින් අත්සන් කළ තවත් ගිවිසුමක් අනුව කච්චතීව් දූපත ආශ්‍රිතව මසුන් ඇල්ලීමට ඉන්දීය ධීවරයින්ට අවසරය අහිමි කෙරිණි.
මේ හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු ජනතාවට කච්චතීව් දූපත යළි ඉන්දියාවට පවරා ගැනීම අතිශය වැදගත් කරුණකි.
ඉන්දීය මහ මැතිවරණය 2024
අප්‍රේල් මස 19 වන දා ඉන්දීය මහ මැතිවරණය වෙනුවෙන් ඡන්ද විමසීම ආරම්භ වන අතර එය අදියර 7ක් යටතේ ජූනි 01 වන දා තෙක් පැවැත්වේ.
කච්චතීව් දූපත සම්බන්ධ ගැටලුව යළි කරළියට එන්නේ මෙම මැතිවරණ පසුබිම තුළ ය.
මෙම මහ මැතිවරණයට අදාළව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භරතීය ජනතා පක්ෂයේ ජයග්‍රහණය තමිල්නාඩු ප්‍රාන්තය තුළ තහවුරු කර ගැනීමට කච්චතීව් දූපත පිළිබද ගැටලුව වැදගත් කරුණක් බව ජාත්‍යන්තර දේශපාලන පර්යේෂකයින්ගේ අදහස යි.
ජාත්‍යන්තර සබදතා පර්යේෂක සහ උපදේශකවරයෙකු වන ආචාර්ය හසිත් කන්දඋඩහේවා බීබීසී සිංහල සේවයට පැවසුවේ, තමිල්නාඩු ඡන්දදායකයින් අතර කොංග්‍රස් පක්ෂය කෙරෙහි විරෝධයක් මතු කිරීම සහ භාරතීය ජනතා පක්ෂය කෙරෙහි විශ්වාසයක් ඇති කිරීම අරමුණු කර ගනිමින්, නරේන්ද්‍ර මෝදි කච්චතීව් දූපත සම්බන්ධ අර්බුදය මතු කරන බව ය.
කච්චතීව් දූපත යළි ඉන්දියාවට පවරා ගත හැකි ද?
කච්චතීව් දූපත ගිවිසුමක් හරහා ශ්‍රී ලංකාවට පවරා ඇතත්, දූපත සම්බන්ධ අයිතිය ඉන්දීය ව්‍යවස්ථාවෙන් ඉවත් කර නොමැති බව ආචාර්ය හසිත් කන්දඋඩහේවා පවසයි.
ඒ අනුව, කච්චතීව් දූපත ඉන්දියාවට යළි පවරා ගත හැකි මාර්ග කිහිපයක් ඇතැයි ඔහු පැවසීය.
"පළවෙනි එක තමයි, ඉන්දීය රජයට පුළුවන් ඒ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් ලැබුණොත් දූපතේ අයිතිය කිසි ම ප්‍රශ්නයකින් තොරව ආයෙත් පවර ගන්න. එහෙම නැත්නම් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා හරහා ආයෙත් අයිතිය ලබා ගන්නත් පුළුවන්. ඒක ටිකක් සංකීර්ණ වැඩක්."
කෙසේ වෙතත්, මැතිවරණය ඉලක්ක කර නරේන්ද්‍ර මෝදි යම් යම් ප්‍රකාශ කළ ද, ඒවා ඒ අයුරින් ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ද ආචාර්ය හසිත් කන්දඋඩහේවා පෙන්වා දුන්නේ ය.
"මෙතන තවත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ, කච්චතීව් දූපත ශ්‍රී ලංකාවට අයිති නිසා ඒ කලාපය ගැන චීනයේත් අවධානය යොමු වෙලා තියෙනවා. ඉන්දියාවට ඒක බලපෑමක් නිසා ඉන්දියාව ඒ ගැන උනන්දු වෙමින් සිටිනවා."
කච්චතීව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට ලැබීමෙන් අත්වන වාසි
කච්චතීව් දූපත ශ්‍රී ලංකාවට අයත් වීමෙන් වාසි කිහිපයක් අත් වී තිබේ.
ප්‍රධාන වාසියක් වන්නේ, යුද්ධ කාලයේදී ධීවර කටයුතු නොකෙරුණු මෙම ප්‍රදේශයේ මත්ස්‍ය සම්පත බහුලව පැවතීමයි.
ඊට අමතරව, දැනට කර ඇති අධ්‍යයනයන්ට අනුව ගෑස් නිධියක් පිහිටා ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.
ඊට අමතරව, කච්චතීව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමි වීම නිසා ; නාවික සැතපුම් 12ක සාගර පර්යේෂණ කටයුතු සදහා වන සාගර කලාපය පුළුල් වී තිබේ.
කච්චතීව් දූපත ඉන්දියාවට අයත් වුවහොත්, එම කලාපය ගණනය කරනුයේ, මන්නාරම සිට බව ආචාර්ය හසිත් කන්දඋඩහේවා පැවසීය. එසේ වුවහොත්, ශ්‍රී ලංකාවට අයත් වන පර්යේෂණ සාගර කලාපයේ වපසරිය අඩු වනු ඇත.
කච්චතීව් ඉන්දියාවට පවරා ගැනීම පහසු වැඩක් ද?
කෙසේ වෙතත්, කච්චතීව් දූපත ඉන්දියාවට පවරා ගැනීම පහසු කටයුත්තක් නොවන බව ඇතැම් ඉන්දීය මාධ්‍ය පෙන්වා දී තිබේ.
Indian Express වෙබ් අඩවිය ඉරිදා (මාර්තු 31) පළ කර ඇති ලිපියක, 2014 වසරේදී එවකට ඉන්දියාවේ නීතිපතිවරයාව සිටි මුකුල් රෝතාගි විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කළ ප්‍රකාශයක් උපුටා දක්වා ඇත්තේ මෙසේ ය.
"කච්චතීව් ශ්‍රී ලංකාවට පැවරුණේ, 1974 වසරේදී ගිවිසුමක් මගින්. අද කොහොම ද ඒක ආපහු ගන්නේ? කච්චතීව් ආපහු ගන්න ඕන නම් යුද්ධයකින් තමයි ඒක ගන්න වෙන්නේ."