ත්‍රිකුණාමලය මෙතරම් වැදගත් ඇයි?

අතීතයේ සිට විදෙස් රාජ්‍යයන් හි පවා අවධානය යොමු වූ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයක් ලෙස ත්‍රිකුණාමලය හැඳින්විය හැකි ය.

ත්‍රිකුණාමලය යන නම කියූ සැණින් බොහෝ විට මතකයට නැගෙන්නේ එහි පිහිටි ස්වභාවික වරාය සහ ඉන්ධන ටැංකි සංකීර්ණය බව නොරහසකි.

ලොවපුරා රාජ්‍යයන්හි අවධානය ත්‍රිකුණාමලය වෙත යොමු වන්නේ ඇයි? මේ බීබීසි සිංහල සේවය සිදුකළ සොයාබැලීම යි.

ත්‍රිකුණාමලයේ පිහිටීම සහ ඉතිහාසය

ත්‍රිකුණාමලය කොළඹට කිලෝමීටර් 237ක් ඊසාන දෙසින් ද, යාපනයට කිලෝමීටර් 182ක් ගිනිකොණ දෙසින් ද, මඩකලපුවේ සිට කිලෝමීටර් 111ක් උතුරින් ද, දිවයිනේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා තිබේ.

වසර 2,500කට එහා ඈත අතීතයකට හිමිකම් කියන ත්‍රිකුණාමලය ආසියාවේ පැරණිතම නගරවලින් එකක් ලෙස සැලකේ.

එය ගිනිකොණදිග ආසියාව සහ දිවයින සම්බන්ධ කළ ජාත්‍යන්තර වෙළඳ ඉතිහාසයේ ප්‍රධාන නාවික වරායක් ලෙස ද ත්‍රිකුණාමලය වරාය යොදාගෙන ඇති බවට ඉතිහාසය සාක්ෂි දරනු ලබයි.

ඈත අතීතයේ අනුරාධපුර රාජධානිය සමයේ සිට පල්ලව, චෝළ, පාණ්ඩ්‍ය සහ වන්නිමායි යන ඉන්දීය රාජවංශයන් ගෙන් ද නොමසුරු උපකාරය ත්‍රිකුණාමලයට ලැබී තිබූ බව සඳහන ය.

ඒ, ත්‍රිකුණාමලයේ ගෝකන්න පන්සල සහ කෝනේෂ්වරම් කෝවිල පිහිටා තිබීම හේතුවෙන් ය.

අධිරාජ්‍යවාදීන්ට නතුවූ ත්‍රිකුණාමලය

ඈත අතීතයේ සිටම නාවික ගමනාගමනයට වැදගත් වූ ස්වභාවික වරායේ පිහිටීම නිසා යටත්විජිතවාදීන්ට ත්‍රිකුණාමලය ඉතා වැදගත් වූ උපක්‍රමික ස්ථානයක් විය.

මේ හේතුවෙන් පෘතුගීසීන් 16 වැනි සියවසේ මුල් භාගයේ දීත්, ලන්දේසීන් 17 වැනි සියවසේ දීත්, බ්‍රිතාන්‍යයන් 18 වැනි සියවසේ දීත් නගරය යටත්විජිතයක් බවට පත්කර ගනු ලැබුහ.

ක්‍රිස්තු වර්ෂ 1624 දී පෘතුගීසීන් විසින් ත්‍රිකුණාමලය නගරය ආසන්නයේ වූ වෙරළ තීරයට මායිම්ව ඉදිකරන ලද බලකොටුව මුලින් හැඳින්වූයේ ' ට්‍රික්විලිමලේ බලකොටුව' ලෙසය.

නමුත් 1665 දී ලන්දේසීන් ට්‍රික්විලිමලේ බලකොටුව කඩා බිඳ දැමීමෙන් පසු එයට 'ෆෙඩ්‍රික් කොටුව' ලෙස නම් කරන ලදී.

1782 දී බ්‍රිතාන්‍යයන් ලන්දේසීන්ගෙන් ත්‍රිකුණාමලය යටත්කර ගත් අතර, එය නැගෙනහිර පළාතේ පරිපාලන මධ්‍යස්ථානය ලෙස ද හැඳින්විය.

වර්තමානයේ දී ද මෙම බලකොටුව තුළ යටත්විජිත සමයේ ඉදිකළ ගොඩනැගිලි, මුරකුටි දැක බලාගත හැකිය.

එමෙන්ම මෙම බලකොටුව පිහිටි භූමිය තුළ තුන්වන සියවසේ දී මහසෙන් රජු විසින් කරවන ලද ගෝකන්න රජ මහ විහාරය සහ හින්දු භක්තිකයින් අතර ප්‍රචලිත කොනේශ්වරම් කෝවිල ද පිහිටා තිබේ.

ත්‍රිකුණාමලයට බෝම්බ හෙළූ ජපන්නු

දෙවන ලෝක යුද සමයේ දී ත්‍රිකුණාමලය ඉන්දියන් සාගරයේ ක්‍රමෝපායික ලෙස ඉතා වැදගත් මධ්‍යස්ථානයක් ලෙස හඳුනාගෙන තිබුණේ ය.

මේ හේතුවෙන් දෙවන ලෝක යුද සමයේ දී ත්‍රිකුණාමලය ඉන්දියන් සාගරයේ බ්‍රිතාන්‍ය නාවික හමුදාවට අත්‍යවශ්‍ය කඳවුරක් ලෙස පැවතුණි.

මෙම තත්ත්වය හමුවේ 1942 වර්ෂයේ අප්‍රේල් මස අට වෙනිදා ජපානය විසින් ත්‍රිකුණාමලය ඉලක්ක කර ගනිමින් බෝම්බ හෙලන ලදී.

එම ප්‍රහාරයෙන් බ්‍රිතාන්‍යට අයත් එච්එම්එස් හර්මිස් යුද නෞකාව ද තවත් තෙල් නැව් දෙකක් ද මුහුදුබත් විය.

ප්‍රහාරයෙන් ත්‍රිකුණාමලය චීන වරායේ පිහිටි ගුවන් ධාවන පථයට මෙන්ම වරාය ටද බරපතළ හානි සිදුවිය. රේගු කාර්යාල සංකීර්ණය මුළුමනින්ම විනාශ විය.

ත්‍රිකුණාමලයේ පිහිටි සුවිශේෂී ස්ථාන මොනවා ද?

ත්‍රිකුණාමලය ස්වභාවික වරාය

ත්‍රිකුණාමලය වරාය ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම ස්වභාවික වරාය වේ. ලොව පිහිටි සිව්වෙනි විශාලතම ස්වභාවික වරාය ලෙස හඳුන්වනු ලබන්නේ ද ත්‍රිකුණාමලය වරාය යි.

කොඩ්ඩියාර් බොක්ක ලෙස ද එය හඳුන්වනු ලබන අතර මහවැලි ගඟ මුහුදට එක්වන්නේ ද එතැනිනි.

ත්‍රිකුණාමලයේ අභ්‍යන්තර සහ පිටත යනුවෙන් වරායන් දෙකක් පිහිටා තිබේ. පිටත වරාය බොහෝ විට ධීවර කටයුතුවල නිරත පිරිස් භාවිත කරනු ලබන්නේ ය.

ඇතුළු වරාය තුළ නාවික හමුදා කඳවුර, ප්‍රීමා කර්මාන්ත ශාලාව, සිමෙන්ති කර්මාන්ත ශාලාව, ඉන්ධන ටැංකි සංකීර්ණය සහ අෂ්රොෆ් ජැටිය පිහිටා තිබේ.

ත්‍රිකුණාමලය වරායේ ජලය පිහිටි ප්‍රදේශයේ විශාලත්වය හෙක්ටයාර 1,650ක් වන අතර එහි වූ භූමි ප්‍රමාණය හෙක්ටෙයාර් 2,500ක් බව සඳහන් ය.

වරාය සඳහා වූ පිවිසුම් මාර්ගයේ දෙපස කඳු දෙකක් ද පිහිටා තිබෙන අතර මෝසම් වැසි සමයේ දී ඇතිවන සුළං තත්ත්වයන් ගෙන් නෞකා හා ධීවර යාත්‍රාවන්ට ආරක්ෂාව සපයයි.

මෙම වරාය තුළ සබ්මැරීන් ද හැසිරවිය හැකි අතර, එය ලෝකයේ හොඳම හා සුන්දර ගැඹුරු මුහුදේ වරායන්ගෙන් එකක් බව අවිවාදයෙන් යුක්තව පිළිගැනේ.

එමෙන්ම ඕනෑම විශාලත්වයෙන් යුක්ත වූ නෞකාවක් මෙහි පිහිටි තටාකාංගනයේ රඳවා තැබිය හැකිය.

එමෙන්ම මෙම වරායේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හැසිරවීමට අමතරව මඟී නෞකා හැසිරවීම සඳහා වෙනම වූ ජැටි පහසුකම් තිබේ.

දෙවන ලෝක යුද සමයේ දී මෙම වරාය බ්‍රිතාන්‍ය විසින් සිය ප්‍රමුඛ නාවුක මධ්‍යස්ථානය ලෙස පවත්වාගෙන ගියේ ය.

වරායේ විශාලත්වය සහ පිහිටීම අනුව නෞකා විශාල සංඛ්‍යාවක් එක්වර නැංගුරම් දැමීමට හැකියාව තිබීම ත්‍රිකුණාමලය වරාය පිළිබඳ ලෝකයේ අවධානය නිතැතින්ම යොමු වන කරුණක් ලෙස හැඳින්විය හැකිය.

චීන වරාය ගුවන් තොටුපොළ

ත්‍රිකුණාමලය ඇතුළු වරාය ආසන්නයේ පිහිටි චීන වරාය ප්‍රදේශයේ ගුවන් තොටුපොළ පිහිටා තිබේ.

1920 වර්ෂයේ දී බ්‍රිතාන්‍යය විසින් මෙම ගුවන් තොටුපොළ ඉදිකරනු ලැබූ අතර පසුව අවස්ථා කිහිපයක දී එහි ගුවන් ධාවන පථය ප්‍රතිසංස්කරණය කරන ලදී.

1972 වසරේදී මෙම ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පාලනයට යටත් කෙරුණු අතර, 1976 දී එහි ගුවන් හමුදා ඇකඩමිය පිහිටවන ලදී.

ත්‍රිකුණාමලය ඉන්ධන ටැංකි සංකීර්ණය

පළමු වන ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ඉදිකරනු ලැබූ මෙම ඉන්ධන ටැංකි සංකීර්ණය ත්‍රිකුණාමලයේ ඇතුළු වරාය ආසන්නයේ වූ භූමි ප්‍රදේශයක ඉදිකර ඇත.

1924 වසරේ දී මෙම තෙල් ටැංකි සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කෙරුණු අතර ඒ සඳහා බ්‍රිතාන්‍යය ජාතිකයින් යොදාගනු ලැබුවේ අප්‍රිකාවේ සිට මෙරටට රැගෙන ආ සේවකයින් ය.

මූලික සැලසුමට අනුව ඉන්ධන ටැංකි 102ක් ඉදිකිරිමට යෝජිත ව තිබුණත් එහි ඉදිකෙරුනේ ඉන්ධන ටැංකි 101ක් පමණ ය.

අක්කර 850ක භුමි ප්‍රමාණයක් පුරා විහිදුණු මෙම ඉන්ධන ටැංකි සංකීර්ණයේ දැනට භාවිතයට ගත හැකිව ඇත්තේ ඉන්ධන ටැංකි 99ක් පමණකි. ඒ දෙවන ලෝක යුද සමයේ දී එහි පිහිටි ඉන්ධන ටැංකි දෙකක් විනාශ වීම හේතුවෙනි.

මෙහි පිහිටි එක් ඉන්ධන ටැංකියක ගබඩා කළ හැකි ඉන්ධන ප්‍රමාණය ටොන් 12,100ක් වේ. මෙම ටැංකි සඳහා ඉන්ධන රැගෙන එන නෞකාවල සිට සෘජුවම ඉන්ධන පොම්ප කිරීමේ පහසුකම් ද පවතියි.

කෙසේ වුවත් මේ වන වීට එම ඉන්ධන ටැංකි සංකීර්ණයේ පිහිටි ටැංකිවලින් 16ක් පමණක් භාවිතයට ගනු ලබයි. ඒ ලංකා IOC සමාගම විසින් ය.

ප්‍රීමා කර්මාන්ත ශාලාව

ශ්‍රී ලංකාවේ ප්‍රථම සෘජු විදේශ ආයෝ­ජ­නය ලෙසින් සැලකෙන ප්‍රීමා සිලෝන් සමාගමේ ආරම්භය ලෙස සැලකෙන්නේ 1977 වසරේ දී ඉදිකිරීම් ආරම්භ කෙරුණු මෙම ප්‍රීමා කර්මාන්ත ශාලාව ය.

දින­කට මෙට්‍රික් ටොන් 3650ක ධාන්‍ය ඇඹරුම් ධාරි­තා­වක් සහිත මෙහි මෙට්‍රික් ටොන් 350,000ක මහා පරි­මාණ ගබඩා ධාරි­තා­ව­කින්ද යුක්ත වේ.

මෙම කර්මාන්ත ශාලාව පිහිටා ඇත්තේ ත්‍රිකුණාමලය ඇතුළ් වරාය ආශ්‍රිත බැවින් නෞකාවේ සිට සෘජුවම ගබඩා සංකීර්ණය වෙත තිරිඟු ඇට ගොඩබෑමේ පහසුකම් පවතියි.

ටෝකියෝ සිමෙන්ති කර්මාන්ත ශාලාව

1982 වසරේ දී ජපානයේ නිපොන් සමාගම සහ මෙරට සෙන්ට් ඇන්තනීස් කොන්සොලිඩේටඩ් සමාගමේ හවුල්කාරිත්වයෙන් ඉදිකිරීම් ආරම්භ වූ මෙම සිමෙන්ති කර්මාන්ත ශාලාව 1984 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදී.

සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන මොනවා ද?

ත්‍රිකුණාමලය උපක්‍රමික වශයෙන් පමණක් නොව සංචාරකයින් ද ආකර්ෂණය කර ගන්නා ස්ථානයක් ලෙස හැඳින්විය හැකිය.

ලොව පිහිටි සුන්දරම වෙරළ තීරයන් ගෙන එකක් ලෙස සැලකෙන නිලාවේලි වෙරළ ද පිහිටා තිබෙන්නෙ ත්‍රිකුණාමලයේ ය.

එමෙන්ම නිලාවේලි වෙරළේ සිට පියවි දෑසට පෙනෙන දුරින් පිහිටි පරවි දූපත සහ ඒ ආශ්‍රිත මුහුදේ වූ කොරල් පරය ද සංචාරක ආකර්ෂණය ඉහලින් දිනා සිටින ස්ථානයක් ලෙස සඳහන් කළ හැකිය.

මීට අමතරව කින්නියා උණු වතුර ළිං, කින්නියා පාලම, කෝනේෂ්වරම් කෝවිල, ත්‍රිකුණාමලය සමුද්‍රීය කෞතුගාරය, මාබල්බීච් මුහුදු වෙරළ, සාම්පුර්හි පිහිටි ප්‍රදීපාගාරය ද සංචාරකයින් ගේ ආකර්ෂණය වැඩි වශයෙන් යොමු වන ස්ථාන ලෙස නම් කළ හැකිය.

ත්‍රිකුණාමලය වරාය ගැන විද්වත් අදහසක්

වර්තමානය වන විට ත්‍රිකුණාමලය පවතින උපක්‍රමික වැදගත්කම ක්‍රමයෙන් හීනවී ගොස් තිබුණ ද, ඉන්දියාවට එහි ඇති වැදගත්කම ඉහළ බව හිටපු රාජතාන්ත්‍රිකයෙකු වන ආචාර්ය අරුණ කුලතුංග බීබීසි සිංහල සේවයට පැවසුවේ ය.

"ත්‍රිකුණාමලය වරාය 1948 වෙනකොට, ඒ කියන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ අන්තිම කාලය වෙනකොට එය බොහොම වැදගත් සංන්ධිස්ථානයක් වෙලා තිබුණා දකුණු ආසියාවේ ගමනාගමනය සහ ඊට වඩා නාවික හමුදාවට ආරක්ෂාව සපයා ගතහැකි තැනක් විදිහට. බෙංගාල බොක්ක සම්පුර්ණයෙන්ම ආවරණය කළ හැකි තැනක් විදිහට ත්‍රිකුණාමලය වරාය පැවතියේ.

"නමුත් අද වෙන කොට උපක්‍රමික වැදගත්කම බෙහෙවින් අඩුවී තිබෙනවා. හේතුව, ගඹුරු වරාය කියන සංකල්පය දැන් අපට වැදගත් නැහැ. සාමාන්‍යයෙන් ලංකාවට එන යුද නෞකාවන් දැන් බොහොම ලෙහෙසියෙන් කොළඹ සහ හම්බන්තොට වරායන්වලට යන්න පුළුවන්. දැන් ඒ වගේ නැවක් ත්‍රිකුණාමලය වරායට ඇතුළු වෙන්න බැහැ. දැන් බලන්නේ නැව්වල ගැඹුර නෙමේ, දිග සහ අනෙක් පරිමාවන් වැදගත් වන්නේ.

"අනෙක් පැත්තෙන් බැලුවම භාණ්ඩ ප්‍රවාහනය සඳහා ත්‍රිකුණාමලය වරාය තවමත් වැදගත් වනවා. ඒ වැදගත් වන්නේ නිරිතදිග ආසියාවෙන් එන භාණ්ඩ ලංකාව ඇතුළට ගන්න පුළුවන්. ඊටත් වඩා වැදගත් වන්නේ නිරිතදිග ආසියාවෙන් එන භාණ්ඩ නැවත බෙංගාල බොක්කේ පිහිටි අනෙක් රටවල්වල ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවලට ආපහු ප්‍රති අපනයනය කරන්න පුළුවන්.

"නමුත් අද වෙනකොට ත්‍රිකුණාමලය උපක්‍රමික වශයෙන් විශාල බලපෑමක් එල්ල කරන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව හම්බන්තොට වරාය යි. හම්බන්තොට වරාය තිබෙන නිසා සාමාන්‍යයන් නෞකාවලට සිය ගමන් මාර්ගයෙන් ඉහළට ගමන් නොකොට කාලය ඉතිරිකර ගැනීමට හැකියාව පවතිනවා.

"නමුත් ඉන්දියාවට ත්‍රිකුණාමලය වරාය වැදගත් වෙනවා. මොකද චීනයේ BRICS කියන සැලැස්ම බැලුවම පේන දෙයක් තමයි, ඒගොල්ලන්ගේ බංග්ලාදේශයේ වරායක් තිබෙනවා, පාකිස්ථානයේ වරායක් තියෙනවා, ලංකාවේ පහළට වෙන්න හම්බන්තොට වරායක් තියෙනවා. සිතියමක් අරන් බැලුවොත් මේ වරායන් තුනේ පිහිටීම ත්‍රිකෝණයක් වගේ. මේකෙන් සම්පූර්ණයෙන් ඉන්දියාව වට කරලා තියෙන්නේ. ඒක ඉන්දියාවට මානසිකව ලොකු බලපෑමක් ඇති කරලා තියනවා.

"මේ නිසා ඉන්දියාවට බොහොම වැදගත් ස්ථානයක් වෙනවා ත්‍රිකුණාමලය වරාය. ඒ, ප්‍රවාහනයට හෝ භාණ්ඩ හුවමාරුවට නෙමෙයි, ඔවුන්ට මානසික අස්වැසිල්ලක් වෙනවා ත්‍රිකුණාමලය ලබා ගැනීම තුළින්," ආචාර්ය කුලතුංග පැවසුවේ ය.

ආපසු හැරවුණු ගිවිසුම

ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගනිමින් ආර්ථික කොරිඩෝවක් බිහි කිරීම සඳහා 2019 වර්ෂයේ දී ඇමෙරිකාව විසින් MCC යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ ඩොලර් මිලියන 480ක ආයෝජනයක් ද සමගින්ය.

එම ගිවිසුමට අනුව ප්‍රධාන උප ව්‍යාපෘති දෙකක් නම් කර තිබූ අතර, ඒවා නම් ප්‍රවාහන සහ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියයි.

ප්‍රවාහන ව්‍යාපෘතිය යටතේ කොළඹ සහ ත්‍රිකුණාමලය අතර මාර්ග පද්ධතිය සංවර්ධනය මෙන්ම මඟී ප්‍රවාහන සේවාව දියුණු කිරිම යෝජනාවේ ඇතුළත් විය.

ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ආර්ථික කොරිඩෝවක් ඉදිකිරීමට යෝජනා විය.

කෙසේ වුව ද, එවකට ජනාධිපතිව සිටි ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජය එම ගිවිසුම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ත්‍රිකුණාමලයට නව සංවර්ධන සැලැස්මක්

ඉන්දියාවේ සහය ඇතිව ත්‍රිකුණාමලය ශ්‍රී ලංකාවේ බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සහ කර්මාන්ත සහ අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ද ත්‍රිකුණාමලය කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ගැනීම ශ්‍රී ලංකාවේ තීරණාත්මක ඉලක්කයක් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා පැවසුවේ ය.

ඒ ඔහුගේ ඉන්දීය නිල සංචාරයේ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

ඒ අනුව, ත්‍රිකුණාමලයේ සංවර්ධනය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ගිවිසුම් හි අන්තර්ගතයන් පහත දැක්වේ:

  • ඉන්දීය රජය සමග එළඹෙන ලද ගිවිසුම්වලට අනුව ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරීම
  • චෙන්නායි සිට ත්‍රිකුණාමලය චයිනා බේ ගුවන් තොටුපොළ අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම
  • ත්‍රිකුණාමලයේ වැව් ගොවිපළ සංවර්ධනය කිරීමේ අඛණ්ඩ සහයෝගීතාව එම ප්‍රදේශයේ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගිතා ව්‍යාපෘති සංවර්ධනය කිරීම
  • ඉන්දියාවේ සිට ත්‍රිකුණාමලය සහ කොළඹ වරායන් වෙත ගොඩබිම් ප්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීම
  • කර්මාන්ත, බලශක්ති සහ ආර්ථික ක්‍රියාකාරකම්වල ජාතික හා කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය තවදුරටත් සංවර්ධනය කිරීම
  • සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සහ ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) යටිතල පහසුකම් පිළිබඳව ඇතිකරගත් එකඟතාව ක්‍රියාවට නැංවීම කඩිනම් කිරීම
  • ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගයක් (multi-product petroleum pipeline) ඉදිකිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම