ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය දැන් අයිති කාට ද?

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ ගිවිසුමට අදාළ ගිවිසුම දෙසැම්බර් 06දා සවස මුදල් අමාත්‍යංශයේ දී අත්සන් තබනු ලැබුණි.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ බුද්ධික මඩිහහේවා, ලංකා ඉන්දියානු තෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා ගිවිසුම්වලට අත්සන් තැබූ බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඉඩම් කොමසාරිස් ජනරාල් කීර්ති ගමගේ ද මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.

නව ගිවිසුම් ජනවාරි 10 වැනි දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන අතර, ජනවාරි 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව බලශක්ති අමාත්‍යංශය පවසයි. ජනවාරි 11 වැනිදා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල වෙබ් අඩවියට මෙම ගිවිසුම එක්කරන බව ද අමාත්‍යංශය සඳහන් කළේ ය.

නව ගිවිසුම් යටතේ සිදුවන්නේ කුමක් දැයි අපි විමසා බලමු.

නව ගිවිසුම්වලින් මොකද වෙන්නේ?

මේ දක්වා ලංකා ඉන්දියානු තෙල් සමාගම (Lanka IOC) පාලනයේ පැවති ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකිවලින් බහුතරයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනයට යටත් වන ව්‍යාපෘතියක් යටතේ සංවර්ධනය කෙරෙනු ඇතැ යි බලශක්ති අමාත්‍ය කාර්යාලය පවසා සිටියේ ය.

එහෙත් නව විවිසුම හරහා නව සමාගමක් පිහිටුවා මෙම තෙල් ටැංකි 99න් 61 ක් එම නව සමාගමට පවරන අතර ටැංකි 24ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවටත්

නව ගිවිසුම් යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධ 2003 බදු ගිවිසුම අහෝසි වී, තෙල් ටැංකි සංකීර්ණය වසර 50ක බදු කාලයකට ආයතන 03ක් අතර බෙදී යනු ඇත.

ඒ අනුව,

  • ලංකා ඛණිජ තෙල් සංස්ථාවට - ටැංකි 24 යි
  • ඉන්දියානු ලංකා තෙල් සමාගමට - ටැංකි 14 යි
  • ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට - ටැංකි 61 යි

බලශක්ති අමාත්‍යංශය නිවේදනය කළේ මෙය ලක් ඉතිහාසයට එක්වන ඓතිහාසික ජයග්‍රහණයක් බව යි.

ගිවිසුම් අනුව ටැංකි 99න් 85ක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුවන බව ද බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.

මොකද්ද මේ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම?

ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම අලුතින් පිහිටුවන ලද සමාගමකි.

මෙය, ලංකා ඛණිජ තෙල් සංස්ථාවට 51%ක් සහ ලංකා ඉන්දීයානු තෙල් සමාගමට 49%ක ද කොටස් හිමි, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාලිත සමාගමකි. එහි අධ්‍යක්ෂ මණ්ඩලය ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් පත් කෙරුණු සිව්දෙනෙකුගෙන් සහ ලංකා ඉන්දියානු තෙල් සමාගම විසින් පත් කෙරුණු තිදෙනෙකුගෙන් සමන්විත වනු ඇත.

නව සමාගමේ සභාපතිවරයා පත් කරනු ලබන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

තෙල් ටැංකි සංකීර්ණයේ ඉතිහාසය

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය, ශ්‍රී ලංකාව යටත්කර ගෙන සිටි බ්‍රිතාන්‍යය ජාතිකයින් විසින් 1920 දශකයේ ඉදිකරනු ලැබ ඇත.

අක්කර 827ක වපසරියක විහිදුනු, මෙට්‍රික් ටොන් 10 000 බැගින් ධාරිතාවෙන් යුතු තෙල් ටැංකි 100කින් මෙම ටැංකි සංකීර්ණය සමන්විත වේ. දෙවන ලෝක යුද සමයේ, 1942 අප්‍රේල් මස 09 වැනිදා, එල්ලවූ ජපාන ගුවන් ප්‍රහාරයකින් එක් ටැංකියක් විනාශ වී තිබේ.

1987 ජුලි 29 වැනිදා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි අතර හුවමාරු වූ ලිපියේ 2(iii) වගන්තිය අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි සමූහය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර හවුල් ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇත.

නමුත් 2003 වසරේ පෙබරවාරි 07 දා අත්සන් කළ ගිවිසුමක් මත වසර 35ක බදු පදනම යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 99ම ලංකා ඉන්දියානු තෙල් සමාගමට (Lanka IOC) භාර දෙනු ලැබූ බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ ය.

2017 දී මෙම ටැංකි 99ම වසර 99 දක්වා බදු පදනම මත ඉන්දියාවට ලබාදීමට එවක අමාත්‍ය මලික් සමරවික්‍රම විසින් මලික් - සුෂ්මා අවබෝධතා ගිවිසුමෙන් එවකට පැවති ආණ්ඩුව එකඟ වී තිබේ.

නමුත් එවක පටන් ලංකා IOC සමාගම භාවිතා කර තිබෙන්නේ ඒ අතරින් ටැංකි 14ක් පමණි. සෙසු ටැංකි කිසිදු ප්‍රයෝජනයක් නොගෙන දිරාපත් වෙමින් පවතියි.

මාස 16ක් පුරා පැවති සාකච්ඡා සාර්ථකව අවසන් කිරීමෙන් වාසිදායක එකඟතාවක් ඇතිකර ගැනීමට හැකි වූ බව ද බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

නව සන්ධිස්ථානයක්

මේ අතර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ මෙය ඉන්දියා - ශ්‍රී ලංකා ආර්ථික සහ බලශක්ති හවුල්කාරීත්වයේ නව සන්ධිස්ථානයක් බව යි.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ ගිවිසුමට අත්සන් තැබීම සම්බන්ධයෙන් සියලුම පාර්ශ්වයන්ට සුබ පතන බව ද මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ය.

එම කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා සහ ඉන්දීය නායකත්වයේ මඟපෙන්වීමත්, අදාල සියලුම අමාත්‍යවරුන් සහ නිලධාරීන්ගේ සහයෝගයත් අගය කරන බව යි.

"මෙතන සංවර්ධන කතන්දරයක් නැහැ"

ඒ කෙසේ වෙතත්, මෙය සංවර්ධන ව්‍යාපෘතියකට වඩා ඉන්දියාවෙන් ණයක් ගැනීම සඳහා කොන්දේසි ඉටු කිරීමක් බව ආර්ථික විද්‍යා විශ්ලේශකයින් පවසයි.

කොළඹ විශ්ව විද්‍යාලයයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියේ, "මෙතන සංවර්ධන කතන්දරයක් නැහැ. මේක අතමාරුවක් සඳහා කොන්දේසි ඉටු කිරීමක්. ලංකාවට දැන් අතමාරුවක් ගන්න ඕනේ ඉන්දියාවෙන්. මේ අතමාරුව දෙන්න නම් ඉන්දියාව කියනවා අපිට අහවල් දේ ඕනේ කියලා," යනුවෙනි.

"අතමාරු ක්‍රමය තුළ ඒ ගොල්ලෝ ඉදිරිපත් කරනවා යම් යම් කොන්දේසි. ජාතික සම්පත්වල හිමිකාරීත්ව වෙන්න පුළුවන්. විවිධ කොන්දේසි ඉටුකරන්න වෙනවා. ආණ්ඩුවේ හිතළු තියනවා නේ IMF එක කොන්දේසි පනවයි කියලා. අන්න ඒ කොන්දේසිවලට වඩා භයානකයි මේ කොන්දේසි," ඔහු ප්‍රකාශ කළේ ය.

"අපි කෙටියෙන්ම කියනවා නම් අපි මේ ගිහිල්ලා හිඟාකනවා. අවංකවම කියනවා නම් ඒක තමා ඇත්ත කතාව," ආචාර්ය දුනුසිංහ පවසා සිටියේ ය.

"ආණ්ඩුවේ තියෙන්නේ අවිද්‍යාත්මක ප්‍රවේශයක්. අවිද්‍යාත්මක තීන්දු තිරණ ගැනීම මත තමා මේ අර්බුදය තිව්‍රර වෙලා තියෙන්නේ," ඔහු පැවසීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් ගුණවර්ධන ද රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමින් අවධාණය කළේ මෙවැනි ජාතික සම්පත්වලට රුපියල්වලින්, ඩොලර්වලින් මිලක් නියම කළ නොහැකි බව යි.

"අපිට වෙන රටවල් නැහැ. අපිට මේ සම්පත් සීමිතයි. මිල කරන්න බැහැ ඇත්තටම," ඔහු පැවසුවේ ය.

"රටක් ගැන කතා කිරීම සංකීර්ණ වැඩිනම් අපි පවුලක් ගැන කතා කළොත්, පවුලේ තියෙන වටිනාම දේවල්, ආදායම් උත්පාදනය තැන් ටික කලින්ම විකුණලා හරි, උගස් කරලා හිර වුණොත් ඒ ගෙදර කඩා වැටෙනවා. මේක අවබෝධකර ගන්න ආර්ථික විද්‍යා පිළිබඳ මහා උපාධි අවශ්‍ය නැහැ," කථිකාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.