ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධ සමාගමක් යටතට
රටේ පවතින විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජය මේ වන විට ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා නව සමාගමක් යටතට පත් කිරීමට සිටියි.
'ට්‍රින්කොමලී පෙට්රෝලියම් ටර්මිනල්ස් ලිමිටඩ්' නමැති එම සමාගම ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධව පිහිටුවීමට යෝජනා වී ඇත්තේ ලංකා IOC සමාගම සමග ඒකාබද්ධව යි.
එහි 49%ක කොටස්වල අයිතිය ලංකා IOC සමාගම වෙත ලබා දීමට යෝජනා වී තිබේ.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ පවසා සිටියේ දැනට මෙම යෝජනාව සාකච්ඡා මට්ටමේ පවතින බව යි. ඉදිරි සතිය වන විට මේ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණෙනු ඇතැ යි ඔහු කියා සිටියේ ය.
ත්‍රිකුණාමලය වරායට ආසන්නව ඇති තෙල් ටැංකි සංකීර්ණය මේ වන විට ටැංකි 99 කින් සමන්විත ය. 2003 වසරේ එවක රජය විසින් ඇතිකරගත් ගිවිසුමක් මත එම ටැංකි 99යම ලංකා IOC සමගට බදු දී පැවරු අතර මේ වන විට ඉන් 14ක මෙහෙයුම් කටයුතු ලංකා IOC සමාගම යටතේ සිදුවෙයි.
තෙල් ටැංකි සංකීර්ණය පිහිටි භූමියේ විශාලත්වය අක්කර 500කි.
අක්කර 500ක භූමි භාගයකින් සමන්විත ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ කොටස් නව සමාගම වෙත ලබාදීමට යෝජනා වී ඇත්තේ කුමන කොන්දේසි යටතේ ද, එම සමාගමට ලංකා IOC සමාගම කොපමණ මුදලක් අයෝජනය කරන්නේදැ යි මෙතෙක් අනාවරණයකර නැත.
දශක ගනනාවක් තිස්සේ මතභේදයට තුඩු දී ඇති ව්‍යාපෘතියක් වන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණ ව්‍යාපෘතිය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ දිගුකාලීන ගිවිසුමකට මාසයක් ඇතුළත අත්සන් කරන බවට ඉන්දියාවේ හින්දු පුවත්පතට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසුබවට එම පුවත්පත වාර්තා කරයි."අපි මේ ගැන මාස 16ක් තිස්සේ සාකච්ඡා කළා, දැන් අපි ඉන්දියාව සමඟ ත්‍රිකුණාමල ව්‍යාපෘතියේ කොන්දේසි අවසන් කිරීමට ඉතා ආසන්නයි. අපි මාසයක් ඇතුළත ගිවිසුම අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා," බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඉරිදා 'ද හින්දු' පුවත්පතට පැවසීය.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ඉතිහාසය
පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් නිර්මාණය කළ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය මුලින් තෙල් ටැංකි 101කින් සමන්විත විය. එයින් දැනට ඉතිරිව ඇත්තේ ටැංකි 99ක් පමණි.
එය ඛනිජ තෙල් ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව තිබෙන එකම විශාලම තෙල් ටැංකි සංකීර්ණය යි.
ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි එක්ව 1987 දී අත්සන් තබන ලද ඉන්දු-ලංකා ගිවිසුම ප්‍රකාර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව හැර වෙනත් කිසිදු රටක් සමග ගනුදෙනු නොකිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටියි.
එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සටන් විරාම ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව, 2003 දී අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ පාලනය ඉන්දීය ඛනිජ තෙල් සමාගම (IOC) සමග ගිවිසුමකට අත්සන් තැබුවේ ය.
එම ගිවිසුම ප්‍රකාරව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99ක් වසර 37ක කාලයක් සඳහා බදුදීම මෙන්ම, ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් 1/3ක් ඉන්දීය ඔයිල් සමාගමට පැවරිණි.
එවක් පටන් IOC සමාගම භාවිතකර තිබෙන්නේ ඒ අතරින් ටැංකි 14ක් පමණි. තවත් එකක් අලුත්වැඩියාකර ඇත.
"තෙල් ටැංකි සංකීර්ණය දැනටමත් ඉන්දියාව සතු යි"
ත්‍රිකුණාමලය තෙල් ටැංකි මේ වන විටත් ඉන්දියාව සතු වී ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් මීට පෙර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කරනු ලැබීය.
1987 ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම යටතේ සහ 2003 ගිවිසුම යටතේ මෙම තෙල් ටැංකි ඉන්දියාවට භාරදී අවසන් බව ද ඔහු කියා සිටියේ ය.
තමන් උත්සහ කරමින් සිටින්නේ මෙම තෙල් ටැංකි සංකීර්ණය යළිත් මෙරටට ලබා ගැනීමට පමණක් බව ද උදය ගම්මන්පිළ අමාත්‍යවරයා අදාල ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අවධාරණය කළේ ය.
කෙසේ නමුත්, ජාතික සේවක සංගමයේ ඛණිජ තෙල් වෘත්තීය සමිති ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත කියා සිටියේ බලශක්ති අමාත්‍යවරයා මෙම තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකර ඇති ප්‍රකාශ සියල්ල මේ වන විට නිෂේධනය වී ඇති බව යි.
ඩොලර් මිලියන 500ක් ඉන්දියාවෙන් ලබා ගැනීම සඳහා මේ සතිය තුළ මෙම යෝජනාව අනුමත කෙරෙනු ඇතැ යි ද ඔහු කියා සිටියේ ය.
"මෙය ඉතා බරපතල යි. දැන් සේවකයින්ට බුදියන් ඉන්න බැහැනේ. ඛණිජ තෙල්, වරාය, විදුලිබල සේවයකයින්ට බුදියන් ඉන්න බැහැ. දැන් අවධිවෙන්න ඕනේ," ඔහු ප්‍රකාශ කළේ ය.
"මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් ශතයක්වත් අපිට හම්බවෙන්නේ නැහැ. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම මඟින් වාර්ෂිකව මෙරටට ලැබෙන ඩොලර් ලක්ෂය ලැබෙන්නෙත් නැහැ."
"මේ ජොයින්ට් වෙන්චර් එකේ දී CPC එකට ගිහින් එතන මුකුත් කරන්න බැහැ," ඔහු වැඩිදුරත් සඳහන් කළේ ය.
IOC සමාගම දැනට භාවිත නොකරන තෙල් ටැංකි 84 යළි භාවිතයට ගැනීමට පෙර පූර්ණ අලුත්වැඩියාවක් කළ යුතුව තිබෙන බව විශේෂඥයින් පවසන අතර ටැංකි 16 ක් සුළු අලුත්වැඩියාවකින් අනතුරුව භාවිත කළ හැකි මට්ටමේ පවතින බව ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය පවසයි .
රුපියල් මිලියන 50 ක පමණ මුදලක් ඒ සඳහා වැය වනු ඇති බව පවසන වෘත්තීය සමිති, ඉන් අනතුරුව ක්‍රමානුකූලව අනෙක් ටැංකි අලුත්වැඩියා කළ හැකි බව බීබීසී සිංහල සේවයට පැවසීය.
එබැවින් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි කළමනාකරණය කිරීම පිණිස ඉන්දියාව සමග හවුල් ගිවිසුමකට අත්සන් තැබීමෙන් ශ්‍රී ලංකාවට කිසිදු ආර්ථික වාසියක් අත්නොවන බව වෘත්තීය සමිතිවල මතය වී ඇත.
එම ටැංකිවල අයිතිය ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පවරන මෙන් ඉල්ලා සිටින වෘත්තීය සමිති, එය ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලා එන ලාභදායී ව්‍යාපාරයක් බවට පත්කිරීමට තමන්ට හැකියාව තිබෙන බව අවධාරණය කරයි.
විවිධ අමාත්‍යවරුන් පවසා සිටියේ මෙම තෙල් ටැංකි සංකීර්ණයේ අයිතිය නවතැහැ ලංකා ඛනිජතෙල් සංස්ථාව වෙත පවරාගන්නා බවයි. එහෙත් මෙතෙක් එය සිදු කිරීමට කිසිවෙකුට හැකියාව ලැබී නැත.
මෙම ගණුදෙනුව පිළිබඳව නම සඳහන් කිරීමට අකමැති නිලධාරියකු බීබීසී සිංහල සේවය සමග පැවසුවේ තෙල් ටැංකි 99න් 24ක් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වෙත පැවරීමට මෙම නව ගිවිසුමෙන් කටයුතු කරන අතර ඉතිරි ටැංකි 66 මෙම නව සමගම හරහා සංවර්ධණය කිරීමට කටයුතු කරන බවයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථානවල ක්‍රියාත්මක ඉන්දීය ව්‍යාපෘති
කොළඹ වරායේ අක්කර පහක් වූ බටහිර බහාලුම් පර්යන්තයේ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දීය සමාගමක් වන අදානි සමූහයත් සමග සැප්තැම්බර් මස 30 වැනිදා ගිවිසුම් අත්සන් කළේ ය.
මෙමඟින් එහි 51%ක කොටස් අදානි සමූහයට හිමිවෙයි.
අදානි සමූහයේ මෙරට නියෝජිත ජෝන් කීල්ස් සමාගමට කොටස් 34%කුත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15%ක කොටස් ද හිමිවෙයි. මෙය ඩොලර් මිලියන 700ක ආයෝජනයකි.
කන්කසන්තුරේ වරාය ද වාණිජ වරායක් ලෙස සංවර්ධනය කිරීම සඳහා මුදල් අමාත්‍යංශය ඉන්දීය එක්සිම් බැංකුව සමග 2018 වසරේ දී ගිවිසුමකට එළඹිනි.
ඒ, එම වරාය සංවර්ධනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 45.27ක ඉන්දීය ණය ආධාර ලබා ගැනීම සඳහා ය.
කන්කසන්තුරේ වරාය නැගෙනහිර ඉන්දියාවේ සියලු වරායන්වලට ද, බංග්ලාදේශයේ සහ මියන්මාරයේ වරායන්වලට ද වඩාත් සමීපතම වරාය වේ.
වෙළෙඳ නෞකා හැසිරවීම සඳහා නව ජැටියක් තැනීමට, සහ වරාය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඉන්දීය ණය ආධාර යොදාගැනෙනු ඇති.