ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චීන-ඉන්දීය බල අරලය මැද සේතු සමුද්‍රම් යථාර්ථයක් වෙයිද?
චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිත පිරිසගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් ඇතුලු ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිසක් මේවන විට දිවයිනට පැමිණ සිටිති.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණ ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට නවදිල්ලියේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කළ ආරාධනයක්ද රැගෙනය.
එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුගතකරණ වැඩ සටහනට සහය දක්වන බවද ඉන්දියාව අවධාරණය කර තිබේ.
ඉන්දු-චීන භූ දේශපාලන බල අරගලයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජය ලබන්නේ කවුරුන්ද යන්න මේ වනවිට ලෝක අවධානය යොමුව ඇති කරුණකි.
එහෙත් චීන-ඉන්දීය බලඅරගලයට මැදිව සිටින ශ්‍රී ලංකාවට මෙම දෙපාර්ශවයම තුලනය කිරීම අභියෝගාත්මක වනු ඇතැයි ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විචාරකයෝ පෙන්වා දෙති.
මෙම අභියෝගාත්මක වාතාවරණය මැද, ඉන්දියාව මීට පෙර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය පිළිබඳ යළි කතාබහක් මතුව තිබේ.
සේතු සමුද්‍රම් ක්‍රියාත්මක කරන්න තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් යෝජනාවක්
සේතුසමුද්‍ර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලෙස ඉන්දීය මධ්‍යම රජයට බලකරමින් තමිල්නාඩු ප්‍රාන්ත සභාව ඒකමතිකව යෝජනාවක් සම්මත කරගෙන තිබේ.
සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය මුලින් 1890 දී ඉන්දීය නාවික ප්‍රධානියෙකු වූ කමාන්ඩර් ටේලර් විසින් ඉන්දිය රුපියල් ලක්ෂ 50 ක වියදමින් කිරීමට සැලසුම් කර තිබුණි.
පසුව 2004 දී එවකට ඉන්දීය කොංග්‍රස් රජය විසින් ඊට ඉන්දීය රුපියල් කෝටි 2,427 කට අධික මුදලක් වෙන්කරනු ලැබීය.
එහෙත් විවිධ හේතූ මත භාරතීය ජනතා පක්ෂය ඇතුලු විවිධ කණ්ඩායම් ඊට බාධා කිරීම හේතුවෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවීය. තමිල්නාඩු ප්‍රාන්ත සභාව, 2023 ජනවාරි 12 වැනිදා , සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය වහා ක්‍රියාත්මක කරන ලෙස ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටිමින් ව්‍යාපෘතිය සඳහා ප්‍රාන්ත රජයේ සහයෝගීතාවය සහතික කර සිටියේය.
ප්‍රධාන විරුද්ධ පක්ෂය වන ඒ.අයි.ඒ.ඩී.එම්.කේ සහ භාරතීය ජනතා පක්ෂය ද යෝජනාවට සහාය දුන් නමුත් ව්‍යාපෘති ප්‍රදේශය නොගැඹුරු බැවින් නිරන්තර කැණීම් අවශ්‍ය වන බැවින් එය ක්‍රියාත්මක කිරීමේ වාසි සහ අවාසි අධ්‍යයනය කරන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා ඇත.
තමිල්නාඩු මහ ඇමැති එම්.කේ ස්ටාලින් යෝජනාව ඉදිරිපත් කරමින් පැවසුවේ “තමිල්නාඩුවේ සහ ඉන්දියාවේ ආර්ථික සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය අත්‍යවශ්‍ය බවයි. ව්‍යාපෘතිය තවදුරටත් ප්‍රමාද කිරීමට ඇතැම් බලවේග දරන උත්සාහය අපේ ජාතික වර්ධනයේ අවශ්‍යතාවට පටහැනි බව මෙම සභාවේ අදහසයි.” යනුවෙනි.
"හිඟන්නො බවට පත්වෙලා ඉන්දියාවට ණය වෙලා තියෙන කොට කටවල් වහන්න පහසුයි"
මේ සම්බන්ධයෙන් නව දිල්ලියේ පිහිටි දකුණු ආසියානු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය සසංක පෙරේරා බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පැවසුවේ; “ඉස්සෙල්ලා මේකට විරෝධය ආවේ ආගමික කණ්ඩායම් වලින් ඉන්දියාවේ, තාක්ෂණික ගැටලුවක් නිසා නෙමේ මේක ක්‍රියාත්මක නොවුණේ ආගමික ගැටලුවක් නිසා” ඔහු පැවසීය.
"මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණොත් ලංකාව වටේ යන්න ඕනේ නැහැ නෞකාවලට. ලංකාවේ හම්බන්තොට හරි කොළඹට හරි ආවා නම්, සැපයුම්වලට ඒ වැඩේ කර ගන්න ඕනේ නැහැ. ඉන්දීය වරායවලට යන්න තියෙන ඉඩ කඩ වැඩියි.” ඔහු පෙන්වා දුන්නේය.
"මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණොත් ඉන්දියාවට වෙන ප්‍රයෝජනයට සාපේක්ෂව ලංකාවට ලැබෙන ප්‍රයෝජනය අඩුයි.” මහචාර්යවරයා සඳහන් කළේය.
"මිලිටරි වැදගත් කමකුත් තියෙනවා නේ. ඒ කලාපය ඉන්දීය දේශපාලන සහ ඉන්දීය මිලිටරි බලකාලපයක් වීමේ ඉඩ කඩ වැඩියි.”
මෙම ව්‍යෘපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මෙහි පාරිසරික බලපෑම පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් මීට පෙර පරිසරවේදීන් ප්‍රමුඛ විශේෂඥයෝ ද පෙන්වා දෙයි.
මහාචාර්යවරයා පවසන්නේ “මේක හාරනවා කියන්නේ මොනවා වෙනවද කියන එක අපි දන්නේ නැහැ. දැන් මේ මුහුද ගැඹුරු කළොත් කෘතිමව මොනව වෙනවද කියලා අපි දන්නවද? මම දැකලා නැහැ. ඉන්දීය අධ්‍යයනයක්. ලංකාවේ කොහොමටවත් කරලා නැහැ.”
"මේක ලංකාවට බලපානව නම් ලංකාවට කතා කිරීමේ අයිතියක් තියෙන්න ඕනේ. දැන් වෙලා තියෙන්නේ අයිතිය තියෙනවාද අපිට. මොකද හිඟන්නො බවට පත්වෙලා ඉන්දියාවට ණය වෙලා තියෙන කොට කටවල් වහන්න පහසුයිනේ.” යනුවෙනි.
"ලංකාවේ ඔය වගේ සාකච්ඡාවලට යවන්නේ දුර්වල කණ්ඩායම්නේ. දේශපාලන පත්වීම් ලැබිච්චි තානාපතිලා නම් යවන්නේ අපිට බලාපොරොත්තු වෙන්න බැහැ රටේ අවශ්‍යතාව වෙනුවෙන් ඒ අය පෙනී සිටියි කියලා. විශේෂඥයෝ යවන්නේ නැහැනේ කොයිවෙලාවේවත් ඕවට.”
"මේ වෙලාවේ සාකච්ඡා කරනවා නම් ඉන්දියාව වගේ රටක් එක්ක නිකං බලයේ ඉන්න කට්ටිය පත්කරපු මිනිස්සු නම් ඒ සාකච්ඡා කරන්නේ ඒක ලොකු ගැටලුවක්. එකෙන් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ, අපිට ප්‍රයෝජනවත් දෙයක් වෙයි කියලා.” මහාචාර්ය සසංක පෙරේරා වැඩිදුරටත් අවධාරණය කළේය.
සේතුසමුද්‍රම් ව්‍යාපෘතියෙන් මොකද වෙන්නේ?
සේතුසමුද්‍රම් නාවික ඇළ ව්‍යාපෘතිය යනු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නොගැඹුරු සමුද්‍ර සන්ධියේ නාවික මාර්ගයක් නිර්මාණය කිරීමට යෝජිත ව්‍යාපෘතියකි.
මෙමගින් ඉන්දීය අර්ධද්වීපය වටා අඛණ්ඩව යා හැකි මුහුදු මාර්ගයක් සැපයේ. මෙම නාවික ඇල මාර්ගය තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර මුහුදේ හුණුගල් පවුරක් වැනි කලාපය හරහා ගමන් කරනු ඇත.
මෙම ව්‍යාපෘතියට නොගැඹුරු පෝක් සමුද්‍ර සන්ධිය මන්නාරම් බොක්ක හා සම්බන්ධ කරමින් නාවික සැතපුම් 44.9 (සැතපුම් 51.7; කිලෝ මීටර් 83.2) දිග ගැඹුරු නාවික ඇල මාර්ගයක් හෑරීම ඇතුළත් වේ.
ඇල්ෆ්‍රඩ් ඩන්ඩාස් ටේලර් විසින් 1860 දී මෙය සංකල්පනය කරන ලද අතර එය 2005 දී ඉන්දීය රජය ව්‍යාපෘතියට අනුමැතිය ලබා ගන්නා ලදී.
යෝජිත ඇල මාර්ගයට ආගමික, පාරිසරික සහ ආර්ථික හේතු මත ඉන්දියාවේ ඇතැම් කණ්ඩායම් විසින් විරුද්ධ විය.
හුණුගල් පද්ධතියට හා සමුද්‍රීය පරිසරයට වන හානිය වළක්වා ගැනීමට විකල්ප මාර්ග පහක් සලකා බලා ඇතත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පැවති ඉන්දීය කොංග්‍රස් රජය තීරණය කර තිබුණි.
ව්‍යාපෘතිය සඳහා සඳහා ඩොලර් බිලියන 3කට අධික වියදමක් දැරීමට සිදුවනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.
නාවික ගමනා ගමනයේදී කොළඹ වරාය ප්‍රතිඅපනය කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකේ.
විශාල නෞකාවලට කොළඹ වරායට ළඟාවීමට හැකිවීම ඊට හේතුවය.
රාම් සේතු ජාතික උරුම ස්මාරකයක්..!
රාම් සේතු ජාතික උරුම ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට උපදෙස් දෙන ලෙස ඉල්ලා භාරතීය ජනතා පක්ෂ නායකයෙකු වන සුබ්‍රමනියන් ස්වාමිගේ අභියාචනය පෙබරවාරි දෙවන සතියේදී විභාගයට ගන්නා බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජනවාරි 12දා ප්‍රකාශ කළේය.
රාම් සේතු යනු තමිල්නාඩුවේ ගිනිකොණ දිග වෙරළට ඔබ්බෙන් වූ පම්බන් දූපත සහ ශ්‍රී ලංකාවේ වයඹ දිග වෙරළට ඔබ්බෙන් වූ මන්නාරම දූපත අතර පිහිටි හුණුගල් පවුරක් වැනි දාමයකි.
ඉන්දීය කොංග්‍රස් රජය විසින් ආරම්භ කරන ලද මතභේදාත්මක සේතුසමුද්‍රම් නාවුක ඇල මාර්ග ව්‍යාපෘතියට එරෙහිව භාරතීය ජනතා පක්ෂය එවකට රාම් සේතු ජාතික ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැටලුව මතු කර තිබුණි.
මෙම කාරණය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයයට ගෙන ගිය ගිය අතර 2007 දී ව්‍යාපෘතියේ වැඩ නතර කළේය.
ඉන්දීය මධ්‍යම රජය පසුව කියා සිටියේ ව්‍යාපෘතියේ "සමාජ-ආර්ථික අවාසි" සලකා බැලූ බවත්, රාම් සෙතු කලාපයට හානි නොවන පරිදි නාවික ඇල මාර්ග ව්‍යාපෘතියට වෙනත් මාර්ගයක් ගවේෂණය කිරීමට කැමැත්තෙන් සිටින බවත්ය.
කෙසේ වෙතත් මෙමගින් සුබ්‍රමනියන් ස්වාමි අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ රාම් සේතු ජාතික උරුම ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට උපදෙස් දෙන ලෙසය.