සමිත දුලාන් කොඩිතුවක්කු: 'ඒක ලෝක වාර්තාවක් වෙයි කියලා හිතුවේ නැහැ'

දුලාන් කොඩිතුවක්කු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2024 පැරාලිම්පික් උළෙලේ ලෝක වාර්තාවක් පිහිටවූ සමිත දුලාන් කොඩිතුවක්කු
    • Author, දිනුක් හේවාවිතාරණ
    • Role, බීබීසී සිංහල

2024 පැරාලිම්පික් තරගාවලියේදී F44 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් කොඩිතුවක්කු ඊයේ (සැප් 02) සමත් විය.

මීටර් 67.03ක් දුරක් වාර්තා කළ සමිතගේ දක්ෂතාව ලෝක වාර්තාවක් ලෙස සටහන් විය.

2021 වසරේදී ටෝකියෝහි පැවති පැරාලිම්පික් තරගාවලියේදී ඔහු හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ ය.

සිය ජයග්‍රහණයෙන් පසුව බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමකට හිමිකම් කීමට හැකිවීම ගැන තමන් බෙහෙවින් සතුටට පත්වන බව ය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

'මටත් එකපාරට ම හිතා ගන්න බැරි වුණා'

ලෝක වාර්තාවකට හිමිකම් කීමට හැකි වූ හෙල්ල විසි කිරීමේ අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් සමිත කොඩිතුවක්කු බීබීසී සිංහල සේවයට පැවසුවේ, තමන්ට එකවර ඒ පිළිබඳව සිතා ගැනීමට නොහැකි වූ බව ය.

"ඇත්තට ම මම හිතුවේ නැහැ මගේ ම ලෝක වාර්තාව ආපහු බ්‍රේක් වෙයි කියලා. එහෙම හැඟීමක් මට තිබුණේ නැහැ."

"මමත් බැලුවා එක පාරට ම ඒක (හෙල්ලය) එච්චර දුර ගියා ද කියලා. මටත් එකපාරට ම ඒක හිතා ගන්න බැරි වුණා."

"මම හොඳ සූදානමකින් හිටියේ අනිවාර්යෙන් ම මේ තරගාවලියට. මම අධිෂ්ඨානයක හිටියා, මෙඩ්ල් එකක් ගන්නවා කියලා රට වෙනුවෙන්. ඒත් ලෝක වාර්තාවකට යන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නැහැ. අන්න ඒකයි මම පුදුමයෙන් වගේ බලාගෙන හිටියේ," සමිත දුලාන් කොඩිතුවක්කු පැවසුවේ ය.

සමිත දුලාන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

රිදී පදක්කම දිනූ සමිතට ලෝක වාර්තාව අයත් වුණේ කෙසේ ද?

පැරාලිම්පික් හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් ජයග්‍රහණය කරමින් තැබූ ලෝක වාර්තාව කුමක් ද? බීබීසී සිංහල සේවය සමිත දුලාන්ගෙන් ඒ පිළිබඳව කරුණු විමසීය.

ඔහු ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරක්,

"පැරාලිම්පික් ඉසව්වේ හෙල්ලය විසි කිරීමේ ඉසව් දෙකක් තියෙනවා. F44 සහ F64 කියල යි මෙම ඉසව් දෙක හඳුන්වන්නේ."

"F64 ඉසව්ව නියෝජනය කරන්නේ දණ හිසෙන් පහළ කොටස අහිමි සහ F44 කියන්නේ දණ හිසෙන් පහළ අප්‍රාණික තරගකරුවන් නියෝජනය කරන කාණ්ඩය."

"මම එතකොට අයිති වෙන්නේ F44 කියන කාණ්ඩයට. මේ කාණ්ඩය යටතේ දැනට තියෙන ලෝක වාර්තාව පිහිටුවා තියෙන්නේ මම යි."

"මෙම කාණ්ඩ දෙක එකට පැවැත්වෙන නිසා තමයි ඉන්දීය ක්‍රීඩකයාට රන් පදක්කමත් මට රිදී පදක්කමත් හිමිවුණේ," ඔහු සඳහන් කළේය.

"මම අයිති වෙන්නේ F44 කියන කාණ්ඩයට"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ක්‍රීඩා දිවිය කණපිට හැරවුණු අනතුර

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2009 වසරේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිසියේ සේවයට එක්වූ ඔහු ආරම්භයේ සිට ම යුද්ධ හමුදාව වෙනුවෙන් ක්‍රීඩා ඉසව් නියෝජනය කරන්නට විය.

යුද්ධ හමුදාවේ සේවයේ නිරතව සිටියදී 2016 වසරේදී සිදුවූ රිය අනතුරකින් ලැබූ බරපතළ තුවාල හේතුවෙන් සමිත දුලාන් කොඩිතුවක්කුට වසර දෙකක කාලයක් රෝහල්ගතවී ප්‍රතිකාර ලැබීමට සිදුවිය.

තමන්ට මුහුණ දීමට සිදුවූ අනතුර සම්බන්ධයෙන් ඔහු මෙලෙස අදහස් දැක්විය.

"මම 2009 වසරේදී යුද්ධ හමුදාවට එක්වුණේ ක්‍රීඩා කටයුතුවලට සම්බන්ධ වෙන්න යි."

"මම ආධුනික මලල ක්‍රීඩා තරගාවලයේදී වාර්තාවක් තිබ්බා හෙල්ලය විසි කිරීමේ ඉසව්වෙන්."

"2016 අවුරුද්දේදී මම රිය අනතුරකට ලක්වුණා. එහෙම රිය අනතුරට ලක්වෙලා අවුරුදු දෙකක වගේ කාලයක් නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන්න සිදුවුණා."

"ඊට පස්සේ තමයි ක්‍රමයෙන් සුව වෙලා පැරා ක්‍රීඩකයෙක් විදිහට මගේ ක්‍රීඩා ගමන මේ විදිහට ආරම්භ කළේ," ඔහු පැවසීය.

1990 වසරේ දකුණු පළාතේ දෙනියාය ප්‍රදේශයේදී උපත ලැබූ සමිත දුලාන් කොඩිතුවක්කු අධ්‍යාපනය හදාරා ඇත්තේ දෙනියාය ජාතික පාසලෙනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පැරාලිම්පික් පදක්කම් දෙකක් ජයග්‍රහණය කළ දෙවන ක්‍රීඩකයා වන්නේ ඔහු ය.

මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනේෂ් ප්‍රියන්ත හෙල්ලය විසි කිරීමේ ඉසව්වෙන් 2016 සහ 2021 පැරාලිම්පික් තරගාවලිවලදී පිළිවෙළින් ලෝකඩ සහ රන් පදක්කම් ජයග්‍රහණය කිරීමට සමත් විය.

'මේක තනියම ආපු ගමනක් නෙමෙයි'

ලෝක වාර්තාවක් සමග ලැබූ පැරාලිම්පික් රිදී පදක්කම් ජයග්‍රහණය ගැන වැඩිදුරටත් බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ සමිත දුලාන් කොඩිතුවක්කු පැවසුවේ, මෙම ගමන තමන් තනිව ම පැමිණි එකක් නොවන බව ය.

"මගේ දෙමව්පියන් බිරිඳ වගේ ම දියණිය මේ ගමනේදී මට ලොකු ශක්තියක් වුණා."

"ඒ වගේ ම ජාතික පැරාලිම්පික් කමිටුව නිසා තමයි මට මේ වගේ ගමනක් එන්න පුළුවන් වුණේ. ඒ වගේ ම සංගමයක් එක්ක ඉන්න ලැබීම ගැන සතුටු යි."

"මගේ ඉදිරි බලාපොරොත්තුව තවදුරටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් ජයග්‍රහණය කිරීම යි," ඔහු පැවසුවේ ය.