බොක්සිං ක්‍රීඩාවේ ලිංගභේද අර්බුදය ගැන විද්‍යාව අපට පවසන්නේ කුමක්ද?

Boxer Imane Khelif dressed in blue Olympic kit

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බොක්සිං ක්‍රීඩක ඉමානේ කෙලිෆ් නිල් ඔලිම්පික් කට්ටලයෙන් සැරසී සිටියාය
    • Author, සොෆියා බෙටිසා
    • Role, ස්ත්‍රී පුරුෂ භාවය සහ අනන්‍යතා වාර්තාකරු

පැරිසියේ පදක්කම් වේදිකාවේ ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩක ඉමානේ කෙලිෆ් සහ තායිවානයේ ලින් යූ-ටින් පදක්කම් වේදිකාවේදී ගනු ලැබූ ඡායාරූප, 2024 ඔලිම්පික් උළෙලේ අමතක නොවන සිදුවීම් අතරේ ඉහළින්ම රැඳෙනු ඇත.

සුදුසුකම් ලැබීමේ නිර්ණායක සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් පසුගිය වසරේ කාන්තා ලෝක ශූරතාවලියෙන් ඉවත් කෙරුණු ඔවුන් දෙදෙනාට ඔලිම්පික් කාන්තා බොක්සිං සඳහා තරග කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් අවස්ථාව ලබා දීම විශාල විවාදයකට තුඩු දුන්නේ ය.

මේ උණුසුම් විවාද මධ්‍යයේ විද්‍යාව, අපගේ විවිධ වර්ණදේහවල හැසිරීම සහ ඒවා ක්‍රීඩාවට ගෙන එන වාසි මොනවාද යන්න පිළිබඳව වැඩි වැඩියෙන් සොයා බැලීම ආරම්භ කර තිබේ.

නමුත් ඒ සම්බන්ධයෙන් පර්යේෂණ සිදුවෙමින් පවතින අතර ඒ සඳහා තම වෘත්තීය ජීවිතයම කැප කර සිටින ප්‍රවීණයන්ගෙන් පවා මේ පිළිබඳව එකිනෙකට වෙනස් විද්‍යාත්මක මත අපට අසන්නට ලැබේ.

කලලයක් වර්ධනය වන අවධියේදී එහි ලිංගිකත්වය තීරණය වන බව අපි දනිමු. එහිදී බොහෝ කාන්තාවන්ට X වර්ණදේහ දෙකක් (XX) ලැබෙන අතර බොහෝ පිරිමින්ට X සහ Y වර්ණදේහ (XY) ලැබේ.

කෙසේ වෙතත් ඇතැම් ළදරුවන්ගේ ප්‍රජනක අවයව ගර්භණී සමයේදී සාමාන්‍ය ආකාරයට වර්ධනය නොවේ.

මෙය DSD (differences of sex development) ලෙස, එනම් ලිංගික වර්ධනයේ වෙනස්කම් ලෙස හැඳින්වේ.

ජාන, හෝර්මෝන සහ ප්‍රජනක ඉන්ද්‍රියයන් සම්බන්ධ තත්ත්වයන් 40 ක සිදුවන්නේ ගර්භාෂයේදී ය. එයින් අදහස් වන්නේ පුද්ගලයෙකුගේ ලිංගික වර්ධනය, තවත් පුද්ගලයෙකුගේ ලිංගික වර්ධනයට වඩා වෙනස් බවයි.

මෙම වර්ණදේහ අසාමාන්‍යතා දුර්ලභ ය. එහෙත් ඔලිම්පික් උළෙලේ බොක්සිං තරග අතරේ ඇති වූ අර්බුද නිසා ඒවාට දැන් වැඩි අවධානයක් ලැබෙමින් තිබේ.

Lin Yu-ting holding her hands in the air after winning a boxing match at the Olympic Games

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බොක්සිං තරගයක් ජයග්‍රහණය කිරීමෙන් පසු තායිවානයේ ලින් යූ-ටින්

ලිංගභේද අර්බුදයට මැදිවූ මෙම බොක්සිං ක්‍රීඩිකාවන් දෙදෙනා ගැන අප දන්නේ මොනවාද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ජාත්‍යන්තර බොක්සිං සංගමයේ ප්‍රධාන විධායක ක්‍රිස් රොබට්ස් BBC Sports වෙත පැවසුවේ, මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාම සම්බන්ධ සිදුවීම් දෙකෙහිදීම " XY" වර්ණදේහ සොයාගත් බවයි.

නමුත් එය එතරම් සරල නැත.

මෙම ජාන වෙනස්කම් විවිධත්වය විශාල පරාසයක විහිදී තිබෙන නිසා ඇතැම් විශේෂඥයන් පවසන්නේ Y වර්ණදේහයක් ඇති සෑම දෙනාම පිරිමියෙකු බවටත් Y වර්ණදේහයක් නොමැති සෑම දෙනාම ගැහැනු බවටත් පැවසිය නොහැකි බවයි.

"Y වර්ණදේහයක් තනිව තිබීම හෝ නැති වීම මත ම පදනම්ව කෙනෙකු ගැහැනු ද පිරිමි ද යන්න තීරණය කිරීම කළ නො හැකියි." යි මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා ආයතනයේ, ක්‍රීඩා කාර්ය සාධනයට අදාළ ජානමය සාධක පිළිබඳව පර්යේෂණ කරන ආචාර්ය ඇලුන් විලියම්ස් පවසයි.

"Y වර්ණදේහයක් ඇති බොහෝ දෙනා පිරිමින් නිසා එය ඉතා හොඳ සාධකයක් වන නමුත්, එය පරිපූර්ණ මිනුමක් නොවේ."

ලිංගික වර්ධනයේ (DSD) වෙනස්කම් ඇති සමහර පුද්ගලයින්ගේ, Y වර්ණදේහය, සාමාන්‍ය පිරිමි Y වර්ණදේහයක් ලෙසට සම්පූර්ණයෙන් සකස් වී නොමැත. සාමාන්‍ය පිරිමි Y වර්ණදේහයක ඇති යම් ප්‍රවේණි ද්‍රව්‍ය ඒවායේ නොමැති වීම, හානි වීම හෝ X වර්ණදේහය සමඟ එකතු වීම මත වෙනස් වී තිබිය හැක.

පිරිමි හෝ ගැහැණු වීම තීරණය කෙරෙන්නේ, Y වර්ණදේහයේ ලිංග නිර්ණය කරන කලාපය නියෝජනය කරන SRY නම් විශේෂිත ජානය මගිනි.

ජානමය ආබාධ ගැන අධ්‍යයනය කරන වර්ධනය පිළිබඳ ජීව විද්‍යාඥවරියක වන වෛද්‍ය එමා හිල්ටන්, “මේක තමයි පිරිමි ජානය ලෙස හඳුන්වන්නේ” යි පවසයි. Sex Matters නම් පුණ්‍යායතනයේ භාරකාරියක් ද වන ඇය කියා සිටියේ තවදුරටත් පරීක්‍ෂා කරන තුරු ඉමානේ කෙලිෆ් සහ ලින් යූ-ටිං තරග නොකළ යුතු යැයි යන්න තම අදහස බව ය.

“එය ලිංගික වර්ධනයේ ප්‍රධාන සාධකයයි.” යි ඇය පවසයි.

වෛද්‍ය හිල්ටන් පවසන, 'පිරිමි බව තීරණය කරන ජානය' උපතින් ම නැති XY වර්ණදේහ සහිත පිරිස් සිටිති.

“මේ අය ටෙස්ටොස්ටෙරෝන් නිපදවන්නේ නැහැ. ඔවුන් ඉතා සාමාන්‍ය කාන්තා ශරීර ව්‍යුහයකට හිමිකම් කියනවා." ආචාර්ය හිල්ටන් පවසයි.

එබැවින් XY වර්ණදේහ හඳුනා ගන්නා පරීක්ෂණයකින් ඔවුන් පිළිබඳව පැහැදිලි චිත්‍රයක් මැවිය නොහැකි අතර, IBA, ඉමානේ කෙලිෆ් සහ ලින් යූ-ටිං සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ කළ ආකාරය පිළිබඳ තොරතුරු හෙළි කර නැත

කෙසේ වෙතත්, වෛද්‍ය හිල්ටන් පවසන්නේ XY වර්ණදේහ ඇති බොහෝ පුද්ගලයන් තුළ SRY 'පිරිමි ජානය' පවතින බවයි.

"මෙම පුද්ගලයින්ට වෘෂණ ඇති අතර, ඒවා බොහෝ විට ඇත්තේ ඔවුන්ගේ ශරීර අභ්‍යන්තරයේ ය. ඔවුන් වැඩිවිය පැමිණෙන විට ටෙස්ටොස්ටෙරෝන් නිපදවීම ආරම්භ වේ. එය පිරිමියෙකු වීම නිසා ක්‍රීඩාවේදී වාසිය ලබා දෙන්නකි."

Caster Semenya

ඡායාරූප මූලාශ්‍රය, Getty Images for World Athletics

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔලිම්පික් ශූර කැස්ටර් සෙමෙන්යා උපත ලැබුවේ ලිංගික වර්ධනයේ (DSD) වෙනස්කම් සමඟිනි

වඩාත්ම ප්‍රකට උදාහරණය වන්නේ ද්විත්ව ඔලිම්පික් රන් පදක්කම්ලාභී සහ මීටර් 800 ට වැඩි ඉසව්වේ තුන් වතාවක් ලෝක ශූරියක වූ කැස්ටර් සෙමෙන්යා ය.

බාහිර ලිංගික අවයව උත්පාදනය කිරීමට අවශ්‍ය ජානයක් තිබේ. එය පිරිමි ළමුන්ගේ ශිෂ්ණය වර්ධනය වීම සඳහා අවශ්‍ය ය. කැස්ටර් සෙමෙන්යා වැනි අයට එම ජානය නො මැත.

ගර්භාෂය තුළදී, ශිෂ්ණය වර්ධනය වන අවසාන අදියර දක්වා ඔවුන්ගේ සිරුරේ පිරිමි ව්‍යුහයක් වර්ධනය වන අතර, එය තවදුරටත් වර්ධනය වීම අවසන් වූ විට ඔවුන්ට යෝනි මාර්ගයක් සහ ක්ලිටෝරිස් වර්ධනය වීමට පටන් ගනී.

නමුත් ඔවුන් තුළ ගැහැනු ප්‍රජනක අවයව වර්ධනය නොවේ. ඔවුනට ගැබ්ගෙලක් හෝ ගර්භාෂයක් නොමැත.

මෙම පුද්ගලයින්ට ඔසප් වීම් සිදු නොවන අතර, ඔවුනට ගැබ් ගත නොහැක. එමෙන් ම ඔවුන්ට පිරිමින් සමග ලිංගිකව හැසිරීම දුෂ්කර විය හැක.

ඔබට මේ ආකාරයේ ජාන වෙනසක් ඇති බව සොයා ගැනීම කම්පනයකට තුඩු දෙන්නක් විය හැක.

“අපි XY වර්ණදේහ ඇති බවට මෑතකදී හඳුනා ගත් කාන්තාවට වයස අවුරුදු 33යි,” යි පසුගිය වසර 30ක කාලය තුළ ලිංගික වර්ධනයේ (DSD) වෙනස්කම් සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කළ අර්හස් විශ්ව විද්‍යාලයේ අන්තරාසර්ග විද්‍යා මහාචාර්යවරයෙකු වන ක්ලවුස් හොජ්බර්ග් ග්‍රවෝල්ට් පවසයි.

ඔහුගේ රෝගියා ඔහු සොයා පැමිණියේ ඇයට ගැබ් ගැනීමට නොහැකි වීමට හේතුව දැනගැනීමට ය.

"ඇයට ගර්භාෂයක් නොමැති බව අපි සොයා ගත්තා... එබැවින් ඇයට කිසි විටෙකත් දරුවෙකු ලැබෙන්නේ නැහැ. ඒක ඇගේ දැඩි කනස්සල්ලට හේතු වුණා..."

මහාචාර්ය ග්‍රවෝල්ට් පවසන්නේ කෙනෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රශ්න කිරීම සමඟ එන කම්පනය සුළුකොට තැකිය නොහැකි බවයි. ඔහු බොහෝ විට තම රෝගීන් මනෝ විද්‍යාඥයෙකු වෙත යොමු කරයි.

“මම ඔබට ඇගේ ඡායාරූපය පෙන්වුවහොත්, ඒ ඉන්නේ ඒ කාන්තාවක් බව ඔබ කියයි. ඇයට කාන්තා ශරීරයක් තිබෙනවා. ඇය විවාහ වී සිටින්නේ පිරිමියෙකු සමඟයි. ඇය ගැහැනු ළමයෙකු වගේ. මගේ බොහෝ රෝගීන්ගේ තත්ත්වය එයයි. ”

ඔසප් නොවීම ගැන වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා නොගත්තේ මන්දැයි වෛද්‍ය ග්‍රාවෝල්ට් ඇගෙන් විමසූ විට, ඇය පවසා තිබුණේ, ඇගේ පවුලේ කිසි දිනෙක ඔසප් නොවූ වැඩිහිටි කාන්තාවක් සිටින බවයි. එබැවින් එය අසාමාන්‍ය දෙයක් නොවන බව ඇය සිතා තිබුණි.

වෛද්‍ය ග්‍රවෝල්ට්ට හමු වූ තවත් ජාන විකෘතියක් තිබේ.

සාමාන්‍යයෙන් කාන්තාවන් තුළ දක්නට ලැබෙන XX වර්ණදේහ ඇති පිරිමින් ඔහු විසින් හඳුනාගෙන තිබේ. “මේ මිනිස්සු වඳයි. ඔවුන් සාමාන්‍ය පිරිමින් වගේ තමයි පෙනුම. නමුත් ඔවුන්ගේ වෘෂණ සාමාන්‍ය ප්‍රමාණයට වඩා පොඩියි, ශුක්‍රාණු නිපදවන්නේ නැහැ. ඔවුන් එය දැනගැනීම ඔවුන් තුළ මහත් කම්පනයක් ඇති කරවනවා. ඔවුන් වයසින් වැඩෙත්ම, බොහෝ පිරිමින්ගේ වගේ ඔවුන්ගේ ටෙස්ටොස්ටෙරෝන් නිපදවීම නතර වෙනවා.”

සමහර සංස්කෘතීන් තුළ, ඔසප් වීම සහ කාන්තා ශරීරය ගැන විවෘතව කතා කිරීම සංස්කෘතික වශයෙන් පිළිගන්නේ නැත. ඒ නිසාම ලෝකයේ සමහර ප්‍රදේශවල කාන්තාවන්ට තමන්ගේ ශරීරයේ යම් අසාමාන්‍ය දෙයක් සිදුවන බව තේරුම් ගැනීමට තරම් ඒ පිළිබඳව දැනුමක් නැති විය හැකිය.

බොහෝ DSD තත්ත්වයන් කිසි විටෙකත් හෙළි නොවන බව ප්‍රවීණයන් විශ්වාස කරන්නේ එබැවිනි. එයින් අදහස් කරන්නේ මේ පිළිබඳව නිශ්චිත සංඛ්‍යා දත්ත හිඟ බවයි.

Esra Yildiz Kahraman of Team Türkiye reacts by crossing her fingers to make an X after defeat to Yu Ting Lin of Team Chinese Taipei in the Women's 57kg Semifinal match on day twelve of the Olympic Games

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දොළොස් වන දින කාන්තා කිලෝග්‍රෑම් 57 අවසන් පූර්ව තරගයේදී චීන තායිපේ කණ්ඩායමේ යූ ටිං ලින් හමුවේ පරාජයට පත්වීමෙන් පසු ටර්කියේ කණ්ඩායමේ එස්රා යිල්ඩිස් කහරාමන්

ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ අර්බුදය ඔලිම්පික් උළෙල වෙනස් කරයිද?

ලිංගික වර්ධනයේ වෙනස්කම් ඇති පුද්ගලයින්ට ක්‍රීඩාවේදී අසාධාරණ වාසියක් තිබේද? එයට දිය හැකි කෙටි පිළිතුර නම් එය එසේ යැයි නිශ්චිතව කීමට තරම් ප්‍රමාණවත් දත්ත නොමැත යන්නයි.

"යම් DSD තත්ත්වයක් ඇති සමහර පුද්ගලයින්ට, කාන්තාවන්ට වඩා යම් භෞතික වාසියක් තිබේ නම් එයින් මම පුදුම වෙන්නේ නෑ... " යනුවෙන් ආචාර්ය ඇලන් විලියම්ස් පවසයි. විශාල මාංශ පේශි තිබීම මෙන්ම විශාල හා දිගු අස්ථි තිබීම එම වාසිවලට ඇතුළත් ය.

ඔහුගේ මතයම ඔහුගේ ක්ෂෙත්‍රයේ විශේෂඥයින් දරන බව ඔහු විශ්වාස කරයි. නමුත් ඒ සඳහා තවත් සාක්ෂි අවශ්‍ය වේ.

ඉමානේ කෙලිෆ් සහ ලින් යූ-ටිං සම්බන්ධ ගැටළුවේදී, ඔවුන්ට DSD තිබේදැයි දැන ගැනීමට ප්‍රමාණවත් තරමේ තොරතුරු අප සතුව නොමැත.

ශුරතාවලිවලදී, පිරිමි-කාන්තා යන ප්‍රධාන ලිංගික කාණ්ඩ දෙක අනුව වර්ග කළත්, එය නියාමනයේදී එතරම් සරල නොවන්නේ, ලිංගිකත්වයේ ජීව විද්‍යාව ද්විමය නොවන, සංකීර්ණ එකක් වන බැවිනි.

Algeria's Imane Khelif (in red) during the Women's 66kg preliminary round match against Angela Carini of Italy (in blue) on day six of the Olympic Games Paris 2024.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉතාලියේ ඇන්ජෙලා කරිනි, ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකා ඉමානේ කෙලිෆ්ට එරෙහිව තත්පර 46ක් ඇතුළත ඔලිම්පික් තරගය අතහැර දැමුවේ “මට මගේ ජීවිතය රැකගත යුතුව තිබුණා” යැයි පවසමිනි

ඇතැමුන් මීළඟ ඔලිම්පික් උළෙලේදී අනිවාර්ය ලිංගික පරීක්ෂණයක් ඉල්ලා සිටිති . කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු රීම් අල්සලම් ද මෙලෙස ඉල්ලා සිටින අය අතුරින් කෙනෙකි.

“ජාන පරීක්ෂාවක් කිරීම දැන් ඉතා සරල දෙයක්" යි ආචාර්ය එමා හිල්ටන් පවසන්නී ය. "සරල සෛල පරීක්ෂණයකින් එය තීරණය කළ හැකියි. එය පරීක්ෂණයට ලක්වන්නාට අපහසුවක් ඇති කරවන්නේ නෑ."

නමුත් ඒ ගැන විද්‍යාඥයන් අතර මතභේද පවතී.

"සෛල පරීක්ෂාවකින් කෙනෙකුගේ ලිංගිකත්වය සහ එයින් ක්‍රීඩාවට ඇති විය හැකි වාසි, අවාසි පිළිබඳ ශක්තිමත් නිගමනයකට එළඹීමට ඉඩ ප්‍රමාණවත් නැහැ" යැයි ආචාර්ය ඇලන් විලියම්ස් පවසයි.

විස්තීර්ණ ලිංගික පරීක්ෂණයකට මෙම කාණ්ඩ තුනම යොමු කළ යුතු බව ඔහුගේ අදහස වී තිබේ

  • ජාන පරීක්ෂාවක් (SRY 'පිරිමි ජානය' ද ජානය ඇතුළුව Y වර්ණදේහය තිබේදැයි සෙවීම).
  • හෝමෝන (ටෙස්ටොස්ටෙරෝන් ඇතුළුව, නමුත් එයට පමණක් සීමා නොවී).
  • ටෙස්ටොස්ටෙරෝන් වැනි හෝමෝනවලට ශරීරය දක්වන ප්‍රතිචාරය. ඇතැම් අයට Y වර්ණදේහයක් තිබිය හැකි නමුත් ටෙස්ටොස්ටෙරෝන්වලට සම්පූර්ණයෙන්ම සංවේදී නොවේ.

ඔහු විශ්වාස කරන්නේ මෙම පරීක්ෂණ මිල අධික වන නිසාත්, එය මෙහෙයවීම සඳහා ඉතා නිශ්චිත විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයින් අවශ්‍ය වන නිසාත් මෙය දැනට සිදු නොකෙරෙන බවයි.

“මෙම තක්සේරුව කෙනෙකුව ලැජ්ජාවට පත් කිරීමක් විය හැකියි. එයට ඔබේ පියයුරුවල ප්‍රමාණය සහ ක්ලිටෝරිසයේ ප්‍රමාණය වැනි ඉතාම පෞද්ගලික තොරතුරුවල සිට, කටහඬේ ගැඹුර, ඔබේ සිරුරේ රෝම වැනි ජීව විද්‍යාවේ මිනුම් ඇතුළත් වනවා.”

එක් දෙයක් ස්ථිරයි: මෙම මතභේදය පහව නොයනු ඇත. දැනට, විද්‍යාවට තවමත් ශූරතා සඳහා යෝග්‍යතාව සලකා බැලීමේදී විවිධ වර්ණදේහ වෙනස්කම් සහිත පුද්ගලයන් වර්ග කළ යුතු ආකාරය පිළිබඳ නිශ්චිත අදහසක් ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබේ. විද්‍යාව උදෙසා තම ජීවිතය කැප කරන අයට, මෙම නවතම අර්බුදය අත්‍යවශ්‍ය පර්යේෂණවලට හොඳ හේතුවක් සපයනු ඇත.