කාන්තාවන් පිරිමින් අභිබවා ගිය ක්‍රීඩා මොනවාද?

දිගු දුර ධාවනයේ සිට වෙඩි තැබීමේ ක්‍රීඩා දක්වා සමහර තරගවලදී කාන්තාවෝ ඉදිරියට පැමිණ සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

දිගු දුර ධාවනයේ සිට වෙඩි තැබීමේ ක්‍රීඩා දක්වා සමහර තරගවලදී කාන්තාවෝ ඉදිරියට පැමිණ සිටිති.

මේ වනවිට වසර 40 කට වැඩි කාලයක් ගත වී ඇතිමුත් පෙනි ලී ඩීන්ට ඒ සඳහා වූ දුෂ්කරතා හොඳින් මතකය.

තමන් කාන්තාවක් බව ද නො තකා, 1978 දී ඉන්ග්ලිෂ් චැනල් හරහා වාර්තාගත පිහිනීමකට ඩීන් සූදානම් වූ විට ඇයට ලැබුණු පුහුණුව ඉතාම දුෂ්කර විය. "අත් පා මස්පිඩු පෙරලීම්වලට ලක් වුණා." ඇය මතකය අවදි කළාය. විවෘත ජලයේ පිහිනුම් පුහුණු වීමෙන් පසුව, ඇයට නැවතත් උණුසුම් බවක් දැනෙන්නට පැය කිහිපයක් ගත විය. මිනිත්තු 20ක උණුසුම් ස්නානයක් හෝ උණු දිය පිරවූ තටාකයක බැස සිටීම ඒ සඳහා කොහෙත්ම ප්‍රමාණවත් වූයේ නැත. එහෙත් එක් තේ කෝප්පයක උණුසුම පහව යද්දී තවත් එකක් බොමින් ඇයට ඊළඟ පුහුණුවට පිවිසීමට සිදු විය.

සීතල දරාගත නොහැකි තරම් දරුණු වූවත් එය ජය ගැනීම වාර්තාගත පිහිනුම් ක්‍රීඩිකාවක් ලෙස ඇයගේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වී තිබුණි. අධික ශීතල ඉවසා සිටීමේ හැකියාව කාන්තාවන්ට මෙම ක්‍රීඩාවේ ඇති එක් වාසියකි, මන්ද ඔවුන්ගේ මේදය බෙදා හැරීම සීතල වතුරේ ශරීර උෂ්ණත්වය නියාමනය කිරීමට උපකාරී වේ. ඩීන් විශ්වාස කරන්නේ කාන්තාවන්ට අපහසුතාවන් විඳ දරා සිටීම සඳහා දැඩි දරා ගැනීමේ හැකියාවක් ඇති බව ය.

ඇත්ත වශයෙන්ම, ක්‍රීඩා වෙඩි තැබීමේ සිට දිගු දුර ධාවනය දක්වා තරගකාරී ඉසව් පරාසයක, කාන්තාවන්ට පිරිමින්ට වඩා හෝ සමානව දක්ෂතා දැක්විය හැක. කෙසේ වෙතත්, මේ පිළිබඳ පැහැදිළි සීමා මායිම් ලකුණු කිරීමක් සිදු වී නැති අතර, මලල ක්‍රීඩා කාර්ය සාධනයේ දී ලිංගිකත්වයේ භූමිකාව පිළිබඳ පිළිතුරුවලට වඩා පවතින්නේ ප්‍රශ්න ය.

උපක්‍රමශීලී සංසන්දනයක්

නෝර්වේ ආර්ටික් විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු සහ නෝර්වීජියානු ශූරයන්ගේ ක්‍රීඩා පාසලේ (NTG) අධ්‍යක්ෂ ඔයිවන් සැන්ඩ්බැක්, අති දක්ෂ ක්‍රීඩිකාවන් සහ පිරිමි ක්‍රීඩකයන් අතර සාමාන්‍ය කාර්ය සාධනයේ ඇති හිදැස් හඳුනාගෙන තිබේ. ලෝක වාර්තා ප්‍රතිඵල අනුව, මෙය 8-12% ක පමණ වෙනසකින් පිරිමින්ට වාසිදායක වේ. මේ වෙනස, විශාල වශයෙන් විඳදරාගැනීම් අවශ්‍ය වන පිහිනුම් වැනි ක්‍රීඩා සඳහා සැලකිය යුතු ලෙස කුඩා විය හැකි අතර ඉහළ ශරීර ශක්තිය අවශ්‍ය ක්‍රීඩා සඳහා විශාල විය හැකි බව අධ්‍යයනයෙන් හෙළි වී ඇත.

"දිගු දුර ඉසව්වලදී, කාලගුණයේ සිට වේදනාව දක්වා තවත් සාධක දරා සිටීමේ හැකියාව විශේෂයෙන් වැදගත් වේ."

ස්ත්‍රී පුරුෂ බව මත පදනම්ව තරගකරුවන්ගේ සංචිතය ද සීමා කළ හැකිය. "සෞන්දර්යාත්මක" අංග සහිත සමහර ක්‍රීඩා ගැහැනුන්ට සීමා වූ ක්‍රීඩා බවට පත් කර ඇති අතර, බොක්සිං වැනි සටන් කලාවන් සඳහා ඇතැම් සමාජවල කාන්තාවන්ව අධෛර්යමත් කෙරේ. පැරිස් ඔලිම්පික් උළෙලේ ද කලාත්මක පිහිනුම් සඳහා පිරිමින් සහභාගී නොවේ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ක්‍රීඩා කාර්ය සාධනයේදී කාන්තාවන් සහ පිරිමින් අතර වෙනස්කම්වලට හේතුවන වන ජීව විද්‍යාත්මක හා සමාජීය හේතු වෙන් කිරීම ද ඉතා අපහසු බව සැන්ඩ්බැක් පවසයි. ක්‍රීඩා අවස්ථා සඳහා අසමාන ප්‍රවේශය මෙයට ඇතුළත් ය. ඒ සඳහා සන්දර්භය සලකා බැලීම අත්‍යවශ්‍ය ය.

එහෙත් දිගු-දුර ඉසව්වලදී, ආරම්භක වේගය සහ දිගටම පවත්වාගෙන යන වේගය ආදී කරුණුවලදී මෙය වාසියක් විය හැකිය. "වේගය පවත්වාගෙන යාම ගත්තාම කාන්තාවන් සාමාන්‍යයෙන් ඉදිරියෙන් ඉන්නවා. උදාහරණයක් විදිහට මැරතන් ධාවකයන් ගන්න පුළුවන්” සැන්ඩ්බැක් පවසයි. තරගකාරිත්වය යනු කායික විද්‍යාව පිළිබඳ කාරණයක් පමණක් නොව, සමාජ තත්ත්වය සහ මනෝවිද්‍යාව මතද පදනම් වන්නකි. බොහෝ පර්යේෂණ ළමුන්ගේ මලල ක්‍රීඩා දස්කම් කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, ගැහැණු ළමයින් කෙරෙහි බලපාන සමාජ පරිසරය පිරිමි ළමයින්ට සාපේක්ෂව ඔවුන්ගේ තරගකාරීත්වයට බලපෑම් කළ හැකි බවටද හෙළි වී තිබේ.

ඇමෙරිකානු ක්‍රීඩා වෛද්‍ය විද්‍යාලය විසින් 2023 දී නිකුත් කරන ලද විද්‍යාත්මක සම්මුතියකට අනුව, වැඩිවිය පැමිණීමට පෙර ගැහැණු ළමයින් සහ පිරිමි ළමයින් අතර මලල ක්‍රීඩා කාර්ය සාධනයේ වෙනස්කම් නිසැකවම "අවම" වන අතර පසුව ඔවුන් අතර එම පරතරය වැඩි වේ. කෙසේ වෙතත්, පූර්ව වැඩිවිය පැමිණීමේ කාලයේ කාර්ය සාධනය පිළිබඳ දත්ත පරස්පර විරෝධී බව සඳහන් කිරීම වැදගත් ය. සමහර අධ්‍යයනයන් යෝජනා කරන්නේ තරුණ පිරිමි ළමයින්ට මලල ක්‍රීඩා හැකියාව ඉහළ මට්ටමක පවතින බව යි.

ගෘහස්ථව නිශ්චල ඉලක්කවලට වෙඩි තැබීමේදී, කාන්තාවන් පිරිමින්ට සමාන මට්ටමකින් දස්කම් දක්වයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගෘහස්ථව නිශ්චල ඉලක්කවලට වෙඩි තැබීමේදී, කාන්තාවන් පිරිමින්ට සමාන මට්ටමකින් දස්කම් දක්වයි

ටෙස්ටොස්ටෙරෝන් මට්ටම මාංශ පේශි ප්‍රමාණය හා ශක්තියට මෙන්ම ඉහළ හිමොග්ලොබින් සාන්ද්‍රණයට සම්බන්ධ වන අතර, එනිසා ම වඩා හොඳින් ඔක්සිජන් අවශෝෂණය කරගැනීමට උපකාරී වේ. එය පිරිමින් තුළ වැඩි තරගකාරිත්වයක් ඇති කිරීම සමඟ ද සම්බන්ධ වේ. තරගකාරිත්වය සම්බන්ධයෙන් ගත් කළ, ටෙස්ටොස්ටෙරෝන් ක්‍රීඩාව තුළ මෙන්ම ජීවිතයේද වැඩි අවදානමක් ගැනීමට පිරිමින්ව පොළඹවයි.

ටෙස්ටොස්ටෙරෝන් කාන්තාවන්ට බලපාන ආකාරය (හෝ එස්ටජන් පිරිමින්ට බලපාන ආකාරය පිළිබඳව) පිළිබඳව පර්යේෂණ සීමිත ය. පිරිමින්ට සහ කාන්තාවන්ට සාමාන්‍යයෙන් ටෙස්ටොස්ටෙරෝන් සමාන වන පරාසයන් නොමැත. මැගී මර්ටෙන්ස් විසින් ලියන ලද Better Faster Farther: How Running Changed Everything We Know About Women, කෘතියට අනුව, සාමාන්‍ය අගයන්ට හෝමෝන පරාසයන්හි ඇති පැතිරුණු විවිධත්වය වසන් කළ හැක.

ටෙස්ටොස්ටෙරෝන් මට්ටම් සහ කාර්ය සාධනය අතර පැහැදිලි රේඛීය සම්බන්ධතාවයක් නොමැති බව ක්‍රීඩා සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ මාධ්‍යවේදිනියක වන මර්ටෙන්ස් පවසයි. "ඇත්ත වශයෙන්ම, බොහෝ පිරිමි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සාමාන්‍යයෙන් ඇත්තේ අඩු ටෙස්ටොස්ටෙරෝන් මට්ටමකි." එක් අන්තරාසර්ග විද්‍යා අධ්‍යයනයකින් හෙළි වූයේ සැලකිල්ලට ගත් ඔලිම්පික් ක්‍රීඩා 15 න් 12 කට තරග කරන පිරිමින්ගෙන් හතරෙන් එකකගේ ටෙස්ටොස්ටෙරෝන් අඩු සාන්ද්‍රණයක් ඇති බවයි. සාමාන්‍ය පිරිමි පරාසයන්ට ළඟ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම් තිබිය හැකි අධිසැන්ඩ්‍රොජෙනිස්වාදය ඇති කාන්තාවන්ට පවා පිරිමින්ට සමාන කාර්ය සාධනයක් නොමැති බව මර්ටෙන්ස් පවසයි.

අතිශය දුරස්ථ වාසියක්

ඉන්ග්ලිෂ් චැනල් හරහා පිහිනා තැබූ වාර්තාවට ප්‍රථම ඩීන් කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් වෙරළට ඔබ්බෙන් වූ කැටලිනා ඇල හරහා වේගවත්ම පිහිනීම සඳහා නව වාර්තාවක් ද පිහිටුවා තිබුණි. මෙම කිලෝමීටර් 32.5 ක (සැතපුම් 20.2ක) මුහුදු තීරය ඇය තරණය කළේ පැය හතකුත් විනාඩි 16ක් වැනි කෙටි කාලයකදී ය. මෙම වාර්තාව තවමත් පැවතීම ගැන ඩීන් සිය මවිතය පළ කරයි. "මට වාර්තාව බිඳ දැමීමට අවශ්‍ය වුණා. එම වාර්තාව වසරක් පැවතුණා නම් මට එය ඇති. එහෙත් මේ දක්වාම එය නො බිඳී පැවතීම පිළිබඳ මට ඇත්තේ පුදුමයක්..."

අති දක්ෂ පිහිනුම් ක්‍රීඩිකාවක්, ශාරීරික අධ්‍යාපන මහාචාර්යවරියක් සහ ජල ක්‍රීඩා පුහුණුකාරියක් ලෙස කටයුතු කළ ඩීන් මැරතන් පිහිනීම සඳහා දැඩි උනන්දුවක් දක්වයි. ඇය විශේෂයෙන් දිගු දුර තරඟවලට ප්‍රිය කරයි. ඇයට අනුව ක්‍රීඩාවේ හොඳම දස්කම් දැක්වීම සිදුවන්නේ එහිදී ය. එමෙන්ම, "මම හිතන්නේ සැතපුම් 20 (32km) සහ ඊට වැඩි දුරක් ඇති තරගවලදී කාන්තාවන්ට පිරිමින්ව පරාජය කරන්න පුළුවන්". "ජලය සීතල නම් එහි වාසිය කාන්තාවන්ට" බවත් ඇය විශ්වාස කරන්නී ය .

සැතපුම් 195 ට වඩා දිගුදුර මැරතන් තරගවලදී කාන්තාවන්ට වැඩි වාසි තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සැතපුම් 195 ට වඩා දිගුදුර මැරතන් තරගවලදී කාන්තාවන්ට වැඩි වාසි තිබේ

සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ ශරීරයේ වැඩි මේදය ප්‍රතිශතයක් තිබීම නිසා සීතල වතුරේ ශරීර උෂ්ණත්වය පවත්වාගෙන යාමට මෙන්ම පාවීමටද ඉන් පිටිවහලක් ලැබේ. ජාත්‍යන්තර මැරතන් පිහිනුම් ආයතනයේ විධායක කමිටුවේ සභාපති නෙඩ් ඩෙනිසන් පවසන්නේ “සාමාන්‍ය උෂ්ණත්ව පරාසයන් සඳහා පිරිමින් වේගවත්" බවයි. ඩෙනිසන්ට අනුව පිරිමි පිහිනුම් ක්‍රීඩකයින් සාමාන්‍යයෙන් උස හා සිහින් සිරුරුවලින් යුතු ය. ඔවුන්ගේ පෘෂ්ඨී වර්ගඵලය විශාලය. ශරීරයේ මේදය හැරුණු විට, "පෘෂ්ඨීය ප්‍රමාණය ඔබට දැනෙන සීතල තීරණය කරනවා".

ක්‍රීඩා මාධ්‍යවේදිනියක වන මර්ටෙන්ස් පවසන්නේ ශරීරයේ මේදය "මෙම දිගු ධාවන තරග සඳහා සැබවින්ම ප්‍රයෝජනවත් වන්නේ ටික වේලාවකට පසු ඒවා ඔබේ ශරීරයට ඉන්ධන බවට පත් වීමට පටන් ගන්නා නිසා යි."

“ඔයා තුළ එතරම් ඉන්ධන ප්‍රමාණයක් නොමැති නම්, එතරම් දුරක් යන්න බැහැ” මර්ටෙන්ස් පවසයි.

ක්‍රීඩා විද්‍යාඥ සැන්ඩ්බැක් විශ්වාස කරන්නේ පිහිනීම හා සසඳන විට, අනෙකුත් ශීත කාලගුණයේ සිදු කෙරෙන ක්‍රීඩාවලට අදාළ ඇඳුම් උෂ්ණත්ව පාලනයට උපකාර වන නිසා එවැනි ක්‍රීඩාවලදී කාන්තාවන්ට අඩු වාසි සහගත තත්ත්වයක් තිබිය හැකි බව ය.

නමුත් ඩීන් විශ්වාස කරන්නේ දිගු දුරක් විවෘත ජලයේ පිහිනීමේදී කාන්තාවකට උෂ්ණත්ව වෙනසට ඔරොත්තු දීමේ හැකියාවටත් වඩා වාසි සහගත වන්නේ මානසික අනුවර්තනය සහ අපහසුතාවයන්ට ඔරොත්තු දීමේ හැකියාව බවයි. ඇය ඉන්ග්ලිෂ් චැනල් හරහා පිහිනීම් සිදු කළ දිනවල ඇයගේ මානසික තත්ත්වය ඒ සඳහා සූදානම් කරවීම වෙනුවෙන් "ජලය සිසිල් වන තරමට වඩා හොඳයි" සහ "සෑම අත් පහරක් සමඟම මගේ දෑත් වඩා හොඳ අතට හැරේ" වැනි වැකි සහිත කාඩ්පත් දෙස නිතර බැලීම සිදු කර තිබිණි.

සැතපුම් 195 ට වඩා දිගුදුර මැරතන් තරගවලදී කාන්තාවන්ට වැඩි වාසි තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සැතපුම් 195 ට වඩා දිගුදුර මැරතන් තරගවලදී කාන්තාවන්ට වැඩි වාසි තිබේ

දිගු දුර ඉසව්වලදී, කාලගුණයේ සිට වේදනාව දක්වා තවත් සාධක දරාගැනීමේ හැකියාව විශේෂයෙන් වැදගත් වේ. දිගු දුර ධාවන තරගවලදී දුර වැඩි වන තරමට පිරිමි සහ ගැහැනු අතර කාල පරතරය කුඩා වේ. දිගු දුර ධාවන ප්‍රතිඵල පිළිබඳව 2020 දී සිදු කළ විශ්ලේෂණයකින් පෙන්නුම් කළේ සැතපුම් 195 (314km) කින් ඔබ්බට, කාන්තාවන් 0.6% ක් වඩා වේගවත් බවක් පෙන්වා තිබූ බව ය.

සමස්තයක් වශයෙන්, කාන්තාවන්ගේ වේදනාව ඉවසීම පිරිමින්ට වඩා වෙනස් වන්නේ කෙසේද යන්න පිළිබඳ ඇත්තේ මිශ්‍ර සාක්ෂි ය. ශූරයන්ගේ ක්‍රීඩා මට්ටමේදී මේ සැසඳීම සිදු කිරීම දුෂ්කර බව සැන්ඩ්බැක් පවසයි. නමුත් කාන්තාවන්ට වෙනත් වාසි තිබිය හැක. ව්‍යායාම කිරීමෙන් පසුව ප්‍රකෘති තත්ත්වයට පත්වීමට යන කාලය බැලීමේදී කාන්තාවන් ඉදිරියෙන් සිටින බව සමහර පර්යේෂණ මගින් පෙන්වා දී තිබේ. මෙය මාංශ පේශි තෙහෙට්ටුවට බලපාන සාධක වන පේශි ස්කන්ධය සහ බල නිෂ්පාදනය ඔවුන් තුළ අඩු නිසා සිදු වන්නක් විය හැකිය. කාන්තාවන් සහ ගැහැනු ළමයින් තුළ තිබෙන වැඩි නම්‍යශීලීභාවය නිසා මාංශ පේශිවල තද බව අඩු වීම ද මෙයට හේතුවක් විය හැක.

මානසික ශක්තියක්

ඉතා වෙනස් ක්‍රීඩාවක යෙදෙන ප්‍රමුඛ පෙළේ ක්‍රීඩිකාවක වන කිම් යෙජි, මානසික ශක්තියේ වැදගත්කම ගැන ඩීන් සමඟ එකඟ වේ. කිම් පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා සහ මිශ්‍ර වෙඩි තැබීමේ ඉසව් දෙකටම තරග කරයි. මේ දකුණු කොරියානු ක්‍රීඩිකාව මේ වසර මුලදී ජාත්‍යන්තර වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනයේ (ISSF) ලෝක කුසලාන කාන්තා මීටර් 25 පිස්තෝල ඉසව්වෙන් ලෝක වාර්තාවක් පිහිටවූයේ මෑතකදී ඇගේ සගයා වන යැං ජියින් විසින් පිහිටුවන ලද වාර්තාව යන්තමින් බිඳ දමමිනි.

"වෙඩි තැබීම සඳහා ශාරීරික යෝග්‍යතාවයට වඩා මානසික ශක්තිය අවශ්‍ය බව මම විශ්වාස කරනවා. මම සිතන්නේ එය මනස සහ ආත්මය පිළිබඳ ක්‍රීඩාවක් කියලයි " කිම් පවසයි. පීඩනය යටතේ සන්සුන්ව සිටීමට කාන්තාවන්ට ඇති හැකියාව කාන්තා වෙඩික්කරුවන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් විය හැකි බව ඇය විශ්වාස කරයි.

ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 25 පිස්තෝල ඉසව්වට වේගවත් වෙඩි තැබීමක් ඇතුළත් වන අතර එම නිසා එය ස්වභාවයෙන් කාන්තා ඉසව්වට වඩා වෙනස් වේ. 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ වෙඩි තැබීමේ ඉසව් පිළිබඳ අධ්‍යයනයකින් හෙළි වූයේ චලනය වන ඉලක්ක සම්බන්ධ ඉසව්වලදී පිරිමින් වඩා හොඳින් ක්‍රීඩා කළ නමුත් ස්ථිර ඉලක්ක ඇති ඉසව්වලදී ගැහැනු සහ පිරිමි සම දස්කම් දැක්වූ බවයි.

ISSF මලල ක්‍රීඩක කමිටු සභාපති කැසියෝ රිපල් පවසන්නේ පිරිමින්ගේ මාංශ පේශී විසින් ඔවුන්ට වැඩි ශක්තියක් සහ විඳදරාගැනීමක් ලබා දෙන අතර, කාන්තාවන්ගේ අඩු ශරීර ස්කන්ධය සහ අඩු ගුරුත්ව කේන්ද්‍රය ඔවුන්ට වඩා හොඳ සමතුලිත පාලනයක් ලබා දෙන බවයි. රිපල්ට අනුව ඔලිම්පික් උළෙලේ වෙඩි තැබීමේ ඉසව් තුනේ හැකියාවන් පෙන්වීම අතින් වඩාත්ම ලිංගික සමතුලිත බවක් පෙන්වන්නේ රයිෆල් ඉසව්ව ය.

සමස්තයක් ලෙස වෙඩි තැබීමේ ක්‍රීඩා සඳහා කාන්තාවන් සහභාගී කරවාගැනීම පිළිබඳ සිත්ගන්නාසුළු සිදුවීමක් තිබේ. 1992 බාර්සිලෝනා ඔලිම්පික් උළෙලේදී, චීන ෂොට්ගන් වෙඩික්කාරියක වූ ෂැං ෂාන් මිශ්‍ර-ලිංගික ස්කීට් වෙඩි තැබීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තා ය. එහෙත් එය මෙම ක්‍රීඩා ඉසව්වේදී කාන්තාවන් ලද සුවිසල් ජයග්‍රහණයක් බවට පත් වූයේ නැත. ඊළඟ ඔලිම්පික් උළෙලේදී, මිශ්‍ර ඉසව් සඳහා සහභාගී වීම කාන්තාවන්ට තහනම් කරන ලදී. එහෙත් ඒ වෙනුවට කාන්තාවන්ට පමණක් සීමා වූ ඉසව්වක් ද තිබුණේ නැත.

කුමන පුද්ගලයින් සඳහා, කුමන තත්ත්වයන් යටතේ කුමන මලල ක්‍රීඩා ඉසව් පැවැත්විය යුතුද යන්න පිළිබඳ තීරණය කිරීම ඉතා සංකීර්ණ ක්‍රියාවකි. පිරිමි ඉසව් ප්‍රධාන වශයෙන් සම්මත ඉසව් ලෙස සලකනු ලැබුවද, තරග සැලසුම් කරන ආකාරය පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ ක්‍රියාකාරිත්වයට බලපායි. මිශ්‍ර ක්‍රීඩා ඉසව් තවමත් මහජනයාට හුරු නැතැයි මර්ටෙන්ස් විශ්වාස කරයි.

පැරිස් ඔලිම්පික් යනු ක්‍රීඩිකාවන් සහ පිරිමි ක්‍රීඩිකාවන් සමාන සංඛ්‍යාවක් සිටින පළමු ඔලිම්පික් උළෙලයි. අවස්ථා ලබා දීමේදී තවමත් ඉතිරිව ඇති හිදැස් මොනවාදැයි සොයා බැලීමට මෙය හොඳ අවස්ථාවකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පැරිස් ඔලිම්පික් යනු ක්‍රීඩිකාවන් සහ පිරිමි ක්‍රීඩිකාවන් සමාන සංඛ්‍යාවක් සිටින පළමු ඔලිම්පික් උළෙලයි. අවස්ථා ලබා දීමේදී තවමත් ඉතිරිව ඇති හිදැස් මොනවාදැයි සොයා බැලීමට මෙය හොඳ අවස්ථාවකි.

අනාගතය සඳහා දැක්මක්

පැරිස් ඔලිම්පික් යනු ක්‍රීඩිකාවන් සහ පිරිමි ක්‍රීඩිකාවන් සමාන සංඛ්‍යාවක් සිටින පළමු ඔලිම්පික් උළෙලයි. අවස්ථා ලබා දීමේදී තවමත් ඉතිරිව ඇති හිදැස් මොනවාදැයි සොයා බැලීමට මෙය හොඳ අවස්ථාවකි.

ලිංගිකත්වය සහ කාර්ය සාධනය පිළිබඳ තීරණයකට ඒම එතරම් පහසු නොවූවත්, සෑන්ඩ්බැක්ට අනුව, කාන්තාවන් සම්බන්ධ කර ගැනීම වෙනුවෙන් වැඩිදුරටත් පර්යේෂණ අවශ්‍ය බව පෙනේ. පුහුණුව, කායික විද්‍යාව, උපකරණ සහ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් ක්‍රීඩා විද්‍යාඥයින් දන්නා බොහෝ දේ පදනම්ව ඇත්තේ පිරිමින් පිළිබඳ පර්යේෂණ මත පදනම්වය.

"ස්ත්‍රීන් හා පුරුෂයන් අතර පරතරය තව දුරටත් අඩු කිරීමට අවශ්‍ය නම්, මම හිතන්නේ පොදුවේ කාන්තාවන් පිළිබඳ වැඩිදුර පර්යේෂණ ඒ සඳහා වැඩියෙන් ප්‍රයෝජනවත් වනවා"යි සෑන්ඩ්බැක් පවසයි. ස්ත්‍රී පුරුෂ භාවය ඉක්මවූ ලිංගිකතත්වයක් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ පර්යේෂණ ඇත්තේ ඊටත් වඩා අඩුවෙනි.

කාන්තා ක්‍රීඩාවල ජයග්‍රහණ, පිරිමින් හා සැසඳීමෙන් තොරව සැමරීමේ වැදගත්කම මෙන්ම ඇතැම් මලල ක්‍රීඩා තරග ලිංගිකත්වය අනුව වෙන්කර තබා ගැනීමේ අවශ්‍යතාවය මර්ටෙන්ස් අවධාරණය කරයි. නමුත් කාන්තාවන් ඉඳහිට ක්‍රීඩාවේදී පිරිමින් පරදවන බව දැකීම අපගේ කාර්ය සාධනය ජීව විද්‍යාත්මක වර්ණාවලියක පවතින බව තේරුම් ගැනීම උදෙසා වැදගත් වේ.

"ක්‍රීඩාව ගැන කතා කරන විට අපි මෙම පැති දෙකට වැටී සීමා වෙන්න අවශ්‍ය නැහැ. එය වඩාත් හොඳින් ලිංගික විවිධත්වය වැළඳ ගැනීමට මාර්ගයක් වනු ඇතැයි බලාපොරොත්තු තබාගන්න පුළුවන්" ඇය පවසයි.