ඉන්දියාව සමග T20 තරගය ගැන ශ්‍රී ලංකා ජනපතිගෙන් පකිස්ථාන අගමැතිට දුරකථන ඇමතුමක්

ඡායාරූප මූලාශ්‍රය, Facebook / Getty
- Author, බීබීසී උර්දු සේවය
- කියවීමේ කාලය: මිනිත්තු 3
ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (පෙබරවාරි 09) පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් දුරකතනයෙන් අමතා පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට ICC T20 තරගාවලියේ ඉන්දියාව සමග කොළඹදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා තිබේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සිය තීරණය දැනුම් දෙන බව පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.
පකිස්ථාන අග්‍රාමාත්‍ය කාර්යාලයට අනුව, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පැවති සමයේදී පකිස්ථානය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සමග පූර්ණ සහයෝගයෙන් කටයුතු කළ බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පවසා තිබේ.
පාකිස්ථානය අන් සියල්ලටම වඩා ශ්‍රී ලංකාව සමඟ ඇති දිගුකාලීන සබඳතාවලට ප්‍රමුඛත්වය දුන් බවත්, ත්‍රස්තවාදය පැවැති කාලසීමාවේදී පවා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කර තරග කළ බවත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පැවසු බව පකිස්ථාන අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කර ඇත.
දුෂ්කර කාලවලදී පාකිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකාව පූර්ණ සහයෝගය ලබා දුන් බවද අගමැති ෂෙබාස් ෂරීෆ් මෙහිදී පවසා තිබේ.
මෑතකදී ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථාන තරග සංචාරය අවලංගු නොකිරීමෙන් පකිස්ථානයට සහ ක්‍රිකට් ලෝලීන්ට අමතක නොවන පියවරක් තැබූ බව ද අගමැතිවරයා එහිදී පැවසීය.
පෙබරවාරි 15 වැනිදා කොළඹදී ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත තරගය ක්‍රීඩා කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය මීට පෙර පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයෙන් ඉල්ලා සිටි අවස්ථාවක, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙලෙස දුරකථනයෙන් අමතා ඇත.
පකිස්ථානය සහ ඉන්දියාව අතර තරගය අහිමි වීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට දැඩි මූල්‍යමය පාඩුවක් සිදුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අදහසයි.
ඉන්දියාව සමග ක්‍රීඩා නොකිරීමට පකිස්ථානය ගත් තීරණය සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති ඉම්රාන් කවාජා ඊයේ (පෙබරවාරි 08) පාකිස්ථානයට පැමිණි අතර මීට පෙර බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති අමිනුල් ඉස්ලාම් ද පකිස්ථානයට පැමිණ තිබිණි.
ඉන්දියාවට එරෙහි T20 ලෝක කුසලාන තරගය පකිස්ථානය වර්ජනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහ පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ නිලධාරීන් ඉරිදා ලාහෝර්හිදී රැස්වූ නමුත් ප්‍රතිඵලය තවමත් පැහැදිලි නැත.
ICC නියෝජ්‍ය සභාපති ඉම්රාන් කවාජා සහ විධායක කමිටු සාමාජික මුබාෂීර් උස්මානි පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්වි හමුවූ අතර බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති අමිනුල් ඉස්ලාම් ද රැස්වීමට සහභාගී විය.

































