වාර්තාවක් සමගින් ශ්‍රී ලංකාව 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමුදෙයි

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති තරගය කඩුලු 5කින් ජය ගැනීමට නවසීලන්තය අද ( නොවැම්බර් 9 වැනිදා) සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති තරගය කඩුලු 5කින් ජය ගැනීමට නවසීලන්තය අද ( නොවැම්බර් 9 වැනිදා) සමත් විය.

තරගය පැවැත්වුනේ බැංගලූරුහි එම්.චින්නස්වාමි ක්‍රිඩාංගණයේදීය.

අද තරගයේදී ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් දැක්වූ දුර්වල පිතිකරණය හේතුවෙන් සැලකිය යුතු ලකුණු මට්ටමක් කරා යාමට නොහැකි විය.

කාසියේ වාසිය දිනු නවසිලන්ත නායක කේන් විලියම්සන්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන්ට පෙර පරිදි ශක්තිමත් ආරම්භයක් ලබා ගැනීමට නොහැකි විය.

ලෝක කුසලාන එක්දින තරගාවලියේ දී ලකුණු අතර සිටි පැතුම් නිස්සංක අද තරගයේදී ලකුණු 02 කට දැවී ගියේ ය.

ඉන් පසුව කුසල් මෙන්ඩිස් ලකුණු 06 කටත් සදිර සමරවික්‍රම එක් ලකුණකට දැවී ගිය අතර ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 4යි පන්දු 04 කදී කඩුලු තුනක් දැවී ලකුණු 32ක් ලෙසයි.

කුසල් ජනිත් විසින් හයේ පහරවල් දෙකක් සහ හතරේ පහරවල් 9ක් සමග පන්දු 22 කදී අර්ධ ශතයක් වාර්තා කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කුසල් ජනිත් විසින් හයේ පහරවල් දෙකක් සහ හතරේ පහරවල් 9ක් සමග පන්දු 22 කදී අර්ධ ශතයක් වාර්තා කළේය.

කුසල් පෙරේරාගේ වේගවත් ඉනිම

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉක්මන් කඩුලු තුනක් දැවී ගොස් තිබියදී නවසීලන්ත පන්දුයවන්නන් ගෙන් එල්ලවූ පීඩනය නැවත ඔවුන් වෙත යොමු කිරීමට කුසල් ජනිත් වේගවත් පිති ප්‍රහාරයක් දියත් කළේය.

ඔහු විසින් හයේ පහරවල් දෙකක් සහ හතරේ පහරවල් 9ක් සමග පන්දු 22 කදී අර්ධ ශතයක් වාර්තා කළ අතර එය ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ වේගවත්ම එක්දින අර්ධ ශතක අතරින් දෙවන ස්ථානයට පත්විය.

කෙසේ වුවද චරිත් අසලංක ලකුණු 8 කට සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 51 කට දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වූ අතර ශ්‍රී ලංකා ඉනිම පන්දු වාර 9 යි පන්දු 3 කදී ලකුණු 70 කට කඩුලු 05ක් ලෙස දිස්විය.

ඉන් පසුව පිටියට පිවිසි ධනංජය ද සිල්වා සහ ඇන්ජලෝ මැතිව්ස් අතර ලකුණු 34ක සබඳතාවයක් 6 වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණි.

නමුත් මිචෙල් සැන්ටර් විසින් ලකුණු 16ක් රැස් කරගෙන සිටි ඇන්ජලෝ මැතිව්ස් සහ ලකුණු 19ක් රැස් කරගෙන සිටි ධනංජය ද සිල්වා දවා ගනු ලැබීය.

ඉන් පසුව පිටියට පිවිසි චාමික කරුණාරත්න ලකුණු 6 කට ද, දුෂ්මන්ත චමීර ලකුණු 01 කට දැවී ගියහ.

 මහීෂ් තීක්ෂණ සහ ඩිල්ෂාන් මධුෂංක පන්දු වාර 14 යි පන්දු 03ක් පුරා සිය කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ලකුණු 43ක සබඳතාවයක් එක් කිරීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මහීෂ් තීක්ෂණ සහ ඩිල්ෂාන් මධුෂංක පන්දු වාර 14 යි පන්දු 03ක් පුරා සිය කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ලකුණු 43ක සබඳතාවයක් එක් කිරීමට සමත් වූහ

40 වසරකට පසු අලුත් වූ වාර්තාව

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව පන්දුවාර 32 යි එක් පන්දුවකදී ලකුණු 128 කට කඩුලු 09ක් ලෙස දිස්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තත්ත්වයකට ඇද වැටී සිටියදී අවසන් කඩුල්ල වෙනුවෙන් පිතිකරණය සඳහා පිටියේ එක්ව සිටි මහීෂ් තීක්ෂණ සහ ඩිල්ෂාන් මධුෂංක පන්දු වාර 14 යි පන්දු 03ක් පුරා සිය කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ලකුණු 43ක සබඳතාවයක් එක් කිරීමට සමත් වූහ.

එහිදී ඔවුන් දෙදෙනා රැස් කළ ලකුණු 43ක සබඳතාවය ලෝක කුසලාන එක්දින තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ 10 වෙනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ ඉහළම සබඳතාවය ලෙස වාර්තා පොත් අතරට එක්විය.

ඔවුන් දෙදෙනා බිඳ හෙළනු ලැබුවේ මීට වසර 40 කට පෙර එනම් 1983 වසරේ පැවති ලෝක කුසලාන එක්දින තරගාවලියේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව විනෝදන් ජෝන් සහ රුමේෂ් රත්නායක වාර්තා කළ ලකුණු 33 ක වාර්තාවයි.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස පන්දු 48 කදී ලකුණු 19ක් රැස් කරගෙන සිටයදී ඩිල්ෂාන් මධුෂංක දැවී ගිය අතර, මහීෂ් තීක්ෂණ නොදැවී පන්දු 91 කට මුහුණ දෙමින් ලකුණු 38ක් රැස් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පන්දු වාර 46යි පන්දු 4 කදී සියලු දෙනා දැවී ලකුණු 171ක් රැස් කරන ලදී.

සාර්ථක ලකුණු හඹා යෑම

ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 172 ක ඉලක්කය හඹා යාමට පැමිණි නවසීලන්ත ආරම්භක පිතිකරුවන් යුගලය ශක්තිමත් අඩිතාලමක් සිය කණ්ඩායමට එක් කළේය.

ඩෙවොන් කොන්වේ සහ රචින් රවින්ද්‍ර ලකුණු 86ක් ආරම්භක කඩුල්ල වෙනුවෙන් එක් කළහ.

නවසීලන්ත ඉනිමේ 13 වන පන්දු වාරයේදී දුෂ්මන්ත චමීර විසින් ලකුණු 45ක් රැස් කරගෙන සිටි ඩෙවොන් කොන්වේ දවා ගැනීමට සමත් විය.

ඉන් පසු පන්දු වාරයේදී මහීෂ් තීක්ෂණ විසින් නවසීලන්ත කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා වූ රචින් රවින්ද්‍ර ලකුණු 42 කට දවා ගැනීමට සමත් විය.

ඒ වන විට නවසිලන්ත කණ්ඩායමේ ලකුණු පුවරුව දිස්වුයේ කඩුලු දෙකක් දැවී ලකුණු 88ක් ලෙසයි.

නමුත් ඇන්ජලෝ මැතිව්ස් විසින් ලකුණු 14ක් රැස් කරගෙන සිටි කේන් විලියම්සන් ගේ කඩුල්ල දවා ගන්නා ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නමුත් ඇන්ජලෝ මැතිව්ස් විසින් ලකුණු 14ක් රැස් කරගෙන සිටි කේන් විලියම්සන් ගේ කඩුල්ල දවා ගන්නා ලදී.

එක ළඟ බිඳ වැටුණු කඩුලු

සාර්ථක ආරම්භයක් ලබා ගත්තද එක ළඟ නවසීලන්ත කණ්ඩායමේ කඩුලු දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් සහ ඩැරල් මිචෙල් විසින් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක් එක් කිරීමට සමත් විය.

නමුත් ඇන්ජලෝ මැතිව්ස් විසින් ලකුණු 14ක් රැස් කරගෙන සිටි කේන් විලියම්සන් ගේ කඩුල්ල දවා ගන්නා ලදී.

එමෙන්ම සිව්වන කඩුල්ල ලෙස ලකුණු 07ක් රැස් කරගෙන සිටි මාර්ක් චැප්මන් දුවද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය.

ඒ වන විට නවසීලන්ත ඉනිමේ ලකුණු පුවරුව සටහන්ව තිබුනේ පන්දු වාර 20 යි පන්දු 3 කදී ලකුණු 145 කට කඩුලු 04ක් ලෙසයි.

නැවතත් ක්‍රියාත්මක වූ ඇන්ජලෝ මැතිව්ස් විසින් ලකුණු 43ක් රැස් කරගෙන සිටි ඩැරල් මිචෙල් දවා ගනු ලැබීය.

කෙසේ වුවද නවසිලන්ත පිතිකරුවන් පන්දු වාර 23 යි පන්දු 2 ක් තුලදී ලකුණු 172ක් රැස් කරගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

මෙම තරගයේ දී ලද පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට 2025 වසරේදී පැවැත්වෙන ශූරයින්ගේ කුසලානය සඳහා සුදුසුකම් ලැබීමට ඇති අවස්ථාව අවම මට්ටමක පවති.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග 09 කට මුහුණ දුන් ශ්‍රී ලංකාව ජයගනු ලැබුවේ තරග දෙකක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 09 වන ස්ථානයේ පසුවෙයි.

"පෞද්ගලික දක්ෂතා ගැන සතුටු වන්නේ නැහැ"

තරගයෙන් පසු අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පැවසුවේ ඉක්මන් කඩුලු දැවි යෑම නිසා ලකුණු 300ක ඉලක්කය කරා යෑමට නොහැකි වූ බවයි.

"පළමු පන්දු වාර 10 තුලදී අපගේ කඩුලු 3-4ක් දැවී යෑමෙන් අප අපහසුතාවයට පත්වුණා.

අපගේ මැද පෙළ පිතිකරුවන්ට හොඳ සබඳතාවයකට යන්න හැකියාව ලැබුණා නම් මෙම තණ තීරුවේ ලකුණු 300 ඉක්මවා ලබා ගැනීමට අවස්ථාව තිබුණා.” කුසල් මෙන්ඩිස් පැවසීය.

“ඩිල්ෂාන් මධුෂංක හොඳින් පන්දු යැව්වා. ඔවුන් අඩූ ලකුණු සංඛ්‍යාවක් හඹා ගිය නිසා එය වැළැක්වීමට අපහසුයි”

“තරග දෙකකට පසුව මට නායකත්වය හිමිවුවා. මම එය අත්වින්දා. මගේ පෞද්ගලික දක්ෂතා ගැන සතුටු වන්නේ නැහැ." ඔහු සඳහන් කළේය.

මේ අතර නවසිලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්ස් පැවසුවේ අවසන් පුර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව ගැන බලා සිටීමට සිදුව ඇති බවයි.

"එය අපේ අතේ තිබෙන දෙයක් නොවෙයි. කණ්ඩායම් කිහිපයක් එක සමානව ප්‍රසාද ලකුණු ලබාගෙන සිටිනවා. අප බලාගෙන ඉදිමු ඉදිරි දින කිහිපයේදී කුමක් සිදුවේද කියලා.

“තරගාවලියේ සත්කාරකත්වය දරන රටත් සමග අවසන් පුර්ව වටයට ක්‍රීඩා කිරීම අභියෝගයක්.”

“ශ්‍රී ලංකාව හොඳ කණ්ඩායමක්. අද තරගයේදී අපේ පන්දු යවන්නන් හොඳින් පන්දු යවනු ලැබුවා. ඒ වගේම තරගයේ දෙවන ඉනිමේදී තණ තීරුව මදක් මන්දගාමී වුවත් අපිට හැකිවුණා තරගය ජය ගන්න. ඒ ගැන සතුටුයි." ඔහු පැවසීය.