පිළිකාකාරක ජාන සහිත පරිත්‍යාගශීලියෙකුගේ ශුක්‍රාණු භාවිතයෙන් බිහිවූ දරුවන් 200කට පිළිකා වැළඳීමේ අවදානමක්

Color light micrograph of a micro-needle (left) about to inject human sperm into a human egg cell (centre) being held in place by a pipette (right). IVF treatment.

ඡායාරූප මූලාශ්‍රය, Shutterstock

ඡායාරූප ශීර්ෂ වැකිය, පරිත්‍යාගශීලියාගේ ශුක්‍රාණු යුරෝපය පුරා සායනවල භාවිත කර තිබේ (සංරක්ෂිත ඡායාරූපයකි)
    • Author, ජේම්ස් ගැලගර්
    • Role, සෞඛ්‍ය හා විද්‍යා වාර්තාකරු
  • කියවීමේ කාලය: මිනිත්තු 8

පිළිකා අවදානම බෙහෙවින් වැඩි ජාන විකෘතියක් ඇතැයි නොදැන සිටි ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකු යුරෝපය පුරා අවම වශයෙන් දරුවන් 197 දෙනෙකුට පීතෘත්වය දී ඇතැයි ප්‍රමුඛ පෙළේ පරීක්ෂණයකින් හෙළි වී තිබේ.

මෙම දරුවන්ගෙන් සමහරෙකු දැනටමත් මිය ගොස් ඇති අතර, විකෘතියට හුරුවූ අයගෙන් ඉතා සුළු සංඛ්‍යාවක් පමණක් ඔවුන්ගේ ජීවිත කාලය තුළ පිළිකාවට හසු නොවීමට ඉඩ ඇත.

ශුක්‍රාණු එක්සත් රාජධානියේ සායනවලට අලෙවි කර නැති වුව ද, ඩෙන්මාර්කයේ සරුභාවය සඳහා ප්‍රතිකාර ලබා ගන්නා අතරතුර පරිත්‍යාගශීලියාගේ ශුක්‍රාණු භාවිත කළ බව දැනුම් දී ඇති බ්‍රිතාන්‍යයේ පවුල් ගණන "ඉතා කුඩා" සංඛ්‍යාවක් බව තහවුරු කළ හැකි ය.

ශුක්‍රාණු සැපයූ ඩෙන්මාර්කයේ යුරෝපීය ශුක්‍රාණු බැංකුව, බලපෑමට ලක්වූ පවුල් සම්බන්ධයෙන් "අතිශය කනගාටුව පළ කරන" බව පැවසූ අතර, ඇතැම් රටවල් වැඩිපුර දරුවන් බිහි කිරීම සඳහා එම පරිත්‍යාගශීලියාගේ ශුක්‍රාණු භාවිත කළ බව පිළිගත්තේ ය.

Embryologist looking through a microscope and adding sperm to egg in laboratory of reproductive clinic

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පරිත්‍යාගශීලියාගේ ශුක්‍රාණුවෙන් 20%ක් දක්වා ප්‍රමාණයක් පිළිකා අවදානම වැඩි කරන භයානක විකෘතිය අඩංගු වේ (සංරක්ෂිත ඡායාරූපයකි)

යුරෝපීය විකාශන සංගමයේ ගවේෂණාත්මක ජනමාධ්‍ය ජාලයේ කොටසක් ලෙස බීබීසී ඇතුළු මහජන සේවා විකාශන ආයතන 14ක් විසින් මෙම විමර්ශනය සිදු කරනු ලැබ තිබේ.

ශුක්‍රාණු පරිත්‍යාගශීලියා ශිෂ්‍යයෙකුව සිටියදී 2005 වසරේ සිට ශුක්‍රාණු පරිත්‍යාග කර ඇති නිර්නාමික පිරිමි පුද්ගලයෙකු වන අතර, ඔහුට ඒ සඳහා මුදල් ගෙවා තිබේ. ඔහුගේ ශුක්‍රාණු වසර 17ක් තිස්සේ කාන්තාවන් විසින් භාවිත කරනු ලැබ ඇත.

ඔහු නිරෝගීව සිටින අතර පරිත්‍යාගශීලීන් සම්බන්ධයෙන් වන පරීක්ෂණවලින් සමත් වී ඇත. කෙසේ වෙතත්, ඔහුගේ ඇතැම් සෛලවල DNA ඔහු ඉපදීමට පෙර විකෘති වී තිබී ඇත.

එය ශරීරයේ සෛල, පිළිකා බවට පත්වීම වැළැක්වීමේ තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරන TP53 ජානයට හානි කර තිබේ.

පරිත්‍යාගශීලියාගේ ශරීරයේ වැඩි කොටසක TP53හි භයානක ස්වරූපය අඩංගු නොවන නමුත් ඔහුගේ ශුක්‍රාණුවල 20%ක් දක්වා TP53 ප්‍රමාණයක් අඩංගු වේ.

කෙසේ වෙතත්, බලපෑමට ලක්වූ ශුක්‍රාණුවලින් සෑදුණු ඕනෑ ම දරුවෙකුගේ ශරීරයේ සෑම සෛලයක ම විකෘතිය පවතිනු ඇත.

Infographic explaining how a TP53 gene mutation in the donor's sperm can lead to cancer risk in children conceived via IVF. Top-left panel shows a DNA strand with text: “TP53 helps the body prevent cancer, but mutations can stop it working.” Top-right panel shows a human figure next to sperm illustrations with text: “The donor is unaffected by the mutation, but it is present in up to a fifth of his sperm.” Bottom-left panel shows a sperm cell inside a circle with text: “If mutated sperm are used in IVF, the mutation would end up in every cell in the child’s body.” Bottom-right panel shows a silhouette of a child with text above saying: “The resulting child has an up to 90% risk of developing cancer in their lifetime, including - breast cancer, bone cancers, brain tumours, childhood cancers like leukaemia”.

මෙය ලී ෆ්‍රෝමේනි සින්ඩ්‍රෝමය ලෙස හඳුන්වන අතර විශේෂයෙන් ළමා කාලයේදී මෙන් ම පසුකාලීනව පියයුරු පිළිකා ඇති වීමේ සම්භාවිතාව 90% දක්වා ඉහළ දමයි.

"ඒක භයානක රෝග විනිශ්චයක්," ලන්ඩනයේ පිළිකා පර්යේෂණ ආයතනයේ පිළිකා ජාන විද්‍යාඥ මහාචාර්ය ක්ලෙයාර් ටර්න්බුල් බීබීසී වෙත පැවසීය. "ඒක පවුලකට ලැබෙන්න පුළුවන් අමාරු රෝග විනිශ්චයක්. එය ජීවිත කාලය පුරා ම අවදානමක් ගෙන දෙනවා, ඒක සැබවින් ම විනාශකාරී යි."

පිළිකා හඳුනා ගැනීමට උත්සහ කිරීම සඳහා ශරීරයේ සහ මොළයේ MRI ස්කෑන් පරීක්ෂණ මෙන් ම උදරයේ අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණ ද සෑම වසරක ම සිදු කළ යුතු ය. කාන්තාවෝ බොහෝවිට පිළිකා අවදානම අඩු කිරීම සඳහා තම පියයුරු ඉවත් කිරීම තෝරා ගනිති.

"පරිත්‍යාගශීලියා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් අසනීප වී නොමැති" බවත් එවැනි විකෘතියක් "ජානමය පරීක්ෂාව මගින් වැළැක්වීමේ පියවරක් ලෙස අනාවරණය නොවන" බවත් යුරෝපීය ශුක්‍රාණු බැංකුව පැවසීය. ශුක්‍රාණු පරිත්‍යාගශීලියාගේ ශුක්‍රාණුවල ගැටලුව හඳුනාගත් වහා ම ඔවුන් ඔහුගෙන් ශුක්‍රාණු ලබා ගැනීම "වහා ම අත්හිටවූ" බව ඔවුහු පැවසූහ.

ඇතැම් දරුවන් මියගොස් ඇතැයි හෙළිවෙයි

ශුක්‍රාණු පරිත්‍යාග කිරීම හා සම්බන්ධ පිළිකා ඇති දරුවන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරු මෙම වසර මුලදී යුරෝපීය මානව ජාන විද්‍යා සංගමයේදී ඔවුන්ගේ ගැටලු මතු කළහ.

ඒ වන විට දැන සිටි ළමුන් 67 දෙනාගෙන් 23 දෙනෙකුට මෙම ප්‍රභේදය ඇති බව ඔවුහු වාර්තා කළහ. ඒ වන විටත් දස දෙනෙකුට පිළිකා ඇති බව හඳුනාගෙන තිබිණි.

තොරතුරු දැනගැනීමේ අයිතිය මගින් සිදු කළ ඉල්ලීම් හරහා සහ වෛද්‍යවරුන් සහ රෝගීන් සමග කතා කිරීමෙන් පසුව, මෙම පරිත්‍යාගශීලියාගේ ශුක්‍රාණු භාවිතයෙන් තවත් බොහෝ දරුවන් උපත ලබා ඇති බව අපට පෙනී ගියේ ය.

මෙම සංඛ්‍යාව අවම වශයෙන් ළමුන් 197ක් වන නමුත්, සියලු රටවලින් දත්ත ලබාගෙන නොමැති බැවින් එය අවසාන සංඛ්‍යාව නොවිය හැකි ය.

මෙම දරුවන්ගෙන් කී දෙනෙකුට භයානක ප්‍රභේදය උරුම වී ඇති ද යන්න ද පැහැදිලි නැත.

Dr Kasper sits at her work desk, wearing a white coat
ඡායාරූප ශීර්ෂ වැකිය, වෛද්‍ය කැස්පර් බලපෑමට ලක්වූ පවුල් කිහිපයකට සහය වෙමින් සිටියි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම දත්ත මුලින් ම ඉදිරිපත් කළ ප්‍රංශයේ හෝවන් විශ්වවිද්‍යාල රෝහලේ පිළිකා ජාන විද්‍යාඥ වෛද්‍ය එඩ්විජි කැස්පර්, විමර්ශනයේදී මෙසේ පැවසුවා ය: "අපට දැනටමත් පිළිකා වැළඳුණු බොහෝ දරුවන් හමුවී තිබෙනවා."

"අපට දැනටමත් වෙනස් පිළිකා දෙකක් වැළඳී තියෙන දරුවන් කිහිප දෙනෙකු ඉන්නවා, ඔවුන්ගෙන් සමහර අය ඉතා කුඩා අවධියේදී ම මිය ගිහින්."

සෙලීන් (ඇගේ සැබෑ නම නොවේ) ප්‍රංශයේ තනි මවකි (single-mother). ඇගේ දරුවා වසර 14කට පෙර පරිත්‍යාගශීලියාගේ ශුක්‍රාණුවලින් පිළිසිඳ ගත් අතර දැන් දරුවා විකෘති තත්ත්වයෙන් පෙළෙයි.

ඇය සේවාව ලබා ගත් බෙල්ජියමේ සාඵල්‍යතා සායනයෙන් ඇයට ලැබුණු දුරකතන ඇමතුමකින්, ඇගේ දියණියව පරීක්ෂා කර ගන්නා ලෙස ඉල්ලා සිටියේ ය.

තමාට පරිත්‍යාගශීලියා කෙරෙහි "කිසිසේත් ම අමනාපයක්" නොමැති බව ඇය පවසන නමුත්, "පිරිසිදු නොවූ, ආරක්ෂිත නොවූ, අවදානමක් ඇති" ශුක්‍රාණු ලබා දීම පිළිගත නොහැකි බව පවසයි.

එමෙන් ම පිළිකාව ජීවිත කාලය පුරා ම ඔවුන්ව පීඩාවට පත් කරන බව ඇය දනියි.

"අපි දන්නේ නැහැ කවදා ද කියලා, අපි දන්නේ නැහැ කොයි එක ද කියලා, අපි දන්නේ නැහැ කීයක් ද කියලා," ඇය පවසයි.

"එය සිදුවීමට ඇති ඉඩකඩ වැඩි බව මට වැටහෙනවා. එය සිදුවූ විට, අපි සටන් කරනවා. කිහිපයක් තියෙනවා නම්, අපි කිහිප වතාවක් සටන් කරනවා."

Map of Europe highlighting countries where fertility clinics used the donor's sperm, showing Denmark, Belgium, Spain, Iceland, Germany, Greece, Cyprus, North Macedonia, Georgia, Hungary, Ireland, Poland, Albania, and Serbia. A red label reading “The European Sperm Bank in Denmark” shows its location in Copenhagen. 

රටවල් 14ක සාඵල්‍යතා සායන 67ක් විසින් පරිත්‍යාගශීලියාගේ ශුක්‍රාණු භාවිත කරන ලදී.

ශුක්‍රාණු එක්සත් රාජධානියේ සායනවලට අලෙවි කර නැත.

කෙසේ වෙතත්, මෙම විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස ඩෙන්මාර්කයේ බලධාරීන් සඳුදා එක්සත් රාජධානියේ මානව සංසේචන සහ කළල විද්‍යා අධිකාරියට (HFEA) දැනුම් දුන්නේ බ්‍රිතාන්‍ය කාන්තාවන් පරිත්‍යාගශීලියාගේ ශුක්‍රාණු භාවිතයෙන් සරුභාවය සඳහා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එරටට පැමිණ ඇති බව ය.

එම කාන්තාවන්ට මේ වන විට මෙම ගැටලුව සම්බන්ධයෙන් දැනුම් දී තිබේ.

HFEAහි ප්‍රධාන විධායක නිලධාරී පීටර් තොම්සන් පැවසුවේ, කාන්තාවන් "ඉතා සුළු පිරිසක්" පීඩාවට පත්ව ඇති බවත්, "ඔවුන්ට ප්‍රතිකාර කළ ඩෙන්මාර්ක සායනය පරිත්‍යාගශීලියා ගැන ඔවුන්ට දැනුම් දී ඇති" බවත් ය.

පරිත්‍යාගශීලියාගේ ශුක්‍රාණු බෙදා හරින ලද වෙනත් රටවල බ්‍රිතාන්‍ය කාන්තාවන් ප්‍රතිකාර ලබා ගත්තා ද යන්න අපි නොදනිමු.

අදාළ දෙමාපියන්ට ඔවුන් සේවය ලබා ගත් සායනය සහ එම රටේ සරුභාවය පිළිබඳ අධිකාරිය අමතන්නැයි උපදෙස් දෙනු ලැබේ.

බීබීසී විසින් පරිත්‍යාගශීලියාගේ අනන්‍යතා අංකය හෙළි නොකිරීමට තීරණය කර ඇත්තේ, ඔහු සද්භාවයෙන් පරිත්‍යාග කළ නිසා සහ එක්සත් රාජධානියේ මේ හා සම්බන්ධ සියලු දෙනා දැනටමත් සම්බන්ධ කරගෙන ඇති හෙයිනි.

පරිත්‍යාගශීලියෙකුගේ ශුක්‍රාණු කොපමණ වාරයක් භාවිත කළ හැකි ද යන්න පිළිබඳ ගෝලීය නීතියක් නොමැත. නමුත් සෑම රටක් ම තමන්ගේ ම සීමාවන් නියම කරයි.

යුරෝපා ශුක්‍රාණු බැංකුව මෙම සීමාවන් "අවාසනාවකට" සමහර රටවල උල්ලංඝනය කර ඇති බව පිළිගත් අතර, ඒ පිළිබඳව "ඩෙන්මාර්කයේ සහ බෙල්ජියමේ බලධාරීන් සමග සංවාදයක යෙදී සිටි," බව පැවසීය.

බෙල්ජියමේ, එක් ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකුගේ ශුක්‍රාණු, පවුල් හයක් පමණක් භාවිත කළ යුතු යැයි සැලකේ. එසේ තිබියදී විවිධ කාන්තාවන් 38 දෙනෙකු විසින් මෙම පරිත්‍යාගශීලියාගේ ශුක්‍රාණුවලින් දරුවන් 53 දෙනෙකු බිහි කර තිබේ.

එක්සත් රාජධානියේ සීමාව එක් පරිත්‍යාගශීලියෙකුට පවුල් 10කි.

'හැමදේම පරීක්ෂා කරන්න බෑ'

ෂෙෆීල්ඩ් ශුක්‍රාණු බැංකුව පවත්වාගෙන ගිය සහ දැන් මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා වෛද්‍ය හා සෞඛ්‍ය පීඨයේ නියෝජ්‍ය උපසභාපතිවරයා වන මහාචාර්ය ඇලන් පේසි පැවසුවේ, රටවල් විශාල ජාත්‍යන්තර ශුක්‍රාණු බැංකු මත යැපීමට පටන්ගෙන ඇති බවත්, එක්සත් රාජධානියේ ශුක්‍රාණුවලින් අඩක් දැන් ආනයනය කර ඇති ඒවා බවත් ය.

ඔහු බීබීසීයට මෙසේ පැවසීය: "අපිට ජාත්‍යන්තරව මහා පරිමාණ ශුක්‍රාණු බැංකුවලින් ශුක්‍රාණු ආනයනය කරන්න වෙනවා, ඒ බැංකුවලින් ශුක්‍රාණු වෙනත් රටවලටත් විකුණනවා, මොක ද ඒගොල්ලෝ සල්ලි හොයන්නේ එහෙම යි. ප්‍රශ්නය පටන් ගන්නේ එතනින්. මොක ද ශුක්‍රාණු කොච්චර වාරයක් පාවිච්චි කරන්න පුළුවන් ද කියලා ජාත්‍යන්තර නීතියක් නැහැ."

මෙම සිදුවීමට සම්බන්ධ සෑම කෙනෙකුට ම තත්ත්වය "භයානක" බව ඔහු පැවසූ අතර, ශුක්‍රාණු පරිත්‍යාග කිරීම සම්පූර්ණයෙන් ම අවදානම් රහිත කිරීම කළ නොහැකි බව ද පැවසුවේ ය.

"හැම දේ ම පරීක්ෂා කරන්න බෑ. වර්තමාන පරීක්ෂණ විධිවිධාන යටතේ ශුක්‍රාණු පරිත්‍යාගශීලීන් ලෙස අයැදුම් කරන සියලු ම පිරිමින්ගෙන් අපි පිළිගන්නේ 1%ක් හෝ 2%ක් පමණ යි. ඒ නිසා අපි එය තවත් දැඩි කළොත් අපට ශුක්‍රාණු පරිත්‍යාගශීලීන් ඉන්න එකක් නෑ, ඉතිරිය තියෙන්නේ එතැන යි."

ශුක්‍රාණු පරිත්‍යාග කිරීමෙන් දරුවන් 550 දෙනෙකුට පියෙකු වූ පසු නතර කිරීමට නියෝග කරන ලද මිනිසෙකුගේ සිද්ධියට සමගාමීව, මෙය නැවතත් ශුක්‍රාණු පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් දැඩි සීමාවන් තිබිය යුතු ද යන්න පිළිබඳව ප්‍රශ්න මතු කරන සිද්ධියක් බවට පත්ව තිබේ.

මානව ප්‍රජනනය සහ කළල විද්‍යාව පිළිබඳ යුරෝපා සංගමය මෑතකදී පවසා ඇත්තේ, එක් පරිත්‍යාගශීලියෙකුට පවුල් 50ක සීමාවක් ඇති බව ය.

කෙසේ වෙතත්, ඉන් දුර්ලභ ජානමය රෝග උරුම වීමේ අවදානම අඩු නොකරන බව එහි සඳහන් විය.

ඒ වෙනුවට, එය සිය ගණනක් අර්ධ සහෝදර සහෝදරියන්ගෙන් කෙනෙකු බව පසුව සොයා ගන්නා දරුවන්ගේ යහපැවැත්මට වඩා හොඳ වනු ඇත.

"ලොව පුරා එක ම පරිත්‍යාගශීලීන්ගෙන් උපත ලබන පවුල් සංඛ්‍යාව අඩු කරන්න තවත් බොහෝ දේ කළ යුතුයි," වඳභාවයෙන් හා ජානමය තත්ත්වයන්ගෙන් පීඩාවට පත් පුද්ගලයින් සඳහා වන ස්වාධීන පුණ්‍යායතනයක් වන ප්‍රගතිශීලි අධ්‍යාපනික භාරයේ අධ්‍යක්ෂ සාරා නොර්ක්‍රොස් පැවසුවා ය.

"මෙහෙම සිය ගණනක් අර්ධ සහෝදර සහෝදරියන් සිටීමේ සමාජීය හා මානසික ඇඟවුම් මොනව ද කියලා අපට සම්පූර්ණයෙන් ම වැටහෙන්නේ නැහැ. ඒක කම්පනසහගත විය හැකි යි," ඇය බීබීසී පුවත් වෙත පැවසුවා ය.

යුරෝපා ශුක්‍රාණු බැංකුව මෙසේ පැවසීය: "විශේෂයෙන් මෙම සිදුවීම සලකා බලන විට, දහස් ගණනක් කාන්තාවන්ට සහ යුවළවලට පරිත්‍යාගශීලී ශුක්‍රාණු ආධාරයෙන් තොරව දරුවෙකු ලැබීමට අවස්ථාවක් නොමැති බව මතක තබා ගැනීම වැදගත්."

"වෛද්‍ය මාර්ගෝපදේශවලට අනුව ශුක්‍රාණු පරිත්‍යාගශීලීන් පරීක්ෂාවට ලක් කළහොත්, පරිත්‍යාගශීලී ශුක්‍රාණු ආධාරයෙන් දරුවෙකු ලැබීම සාමාන්‍යයෙන් ආරක්ෂිත යි."

ඔබ ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකු භාවිත කිරීමට සලකා බලන්නේ නම් කුමක් කළ යුතු ද?

ශුක්‍රාණු පරිත්‍යාගයෙන් උපත ලබන මුළු දරුවන් සංඛ්‍යාව හා සසඳන විට මෙම අවස්ථා "අතිශයින් දුර්ලභ බව" සාරා නොර්ක්‍රොස් පැවසුවා ය.

අප කතා කළ විශේෂඥයින් පැවසුවේ, බලපත්‍රලාභී සායනයක් භාවිත කිරීම තවමත් ආරක්ෂිත බව ය. මන්ද පියෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ දෙනෙකු පරීක්ෂාවට ලක් කරන ප්‍රමාණයට වඩා වැඩි රෝග ප්‍රමාණයක් සම්බන්ධයෙන් ශුක්‍රාණු පරීක්ෂා කරනු ලැබේ.

"මේ එක්සත් රාජධානියේ පරිත්‍යාගශීලියෙක් ද නැත්නම් වෙන කොහෙන් හරි ආපු පරිත්‍යාගශීලියෙක් ද?" කියා තමන් විමසන බව මහාචාර්ය පේසි පැවසීය.

"වෙනත් තැනකින් ආපු පරිත්‍යාගශීලියෙක් නම්, ඒ පරිත්‍යාගශීලියාව මීට කලින් භාවිත කරලා තියෙනව ද? නැත්තම් මේ පරිත්‍යාගශීලියාව කී වතාවක් භාවිත කරයි ද? කියල විමසා බලන එක නීත්‍යනුකූල යි කියල මම හිතනවා."