ලිංගික දිවිය සහ පිළිකාව: "උදව් ඉල්ලන්න ලැජ්ජා හිතුණා"

Cait Wilde

ඡායාරූප මූලාශ්‍රය, Cait Wilde

ඡායාරූප ශීර්ෂ වැකිය, පිළිකා රෝග විනිශ්චයක් ලැබූ තරුණ තරුණියන්ට ලිංගිකත්වය පිළිබඳ වඩාත් යහපත් සහයෝගයක් සහ උපදෙස් අවශ්‍ය බව කේට් වයිල්ඩ් පවසයි

කේට් වයිල්ඩ්ට පිළිකාවක් ඇතැ යි ඇයට වයස අවුරුදු 17 දී හඳුනාගන්නා විට ඇගේ ලිංගික දිවිය පැවතියේ ඈ කණස්සලු වියයුතු කරුණු ලැයිස්තුවේ බොහෝ පහළිනි. නමුත් ප්‍රතිකාරවලින් පසු යළි ලිංගික දිවියට සැරසුණු කේට් වේදනාවට, අපහසුවට, සහ ලැජ්ජාවට පත්වූ නමුත් ඊට උදව් ලබාගන්නේ කෙසේදැ යි දැන සිටියේ නැත.

අවවාදයයි: මෙම ලිපිය වැඩිහිටියන්ට වඩාත් ගැලපෙන කරුණුවලින් සමන්විත යි.

එංගලන්තයේ මැන්චෙස්ටර්හි පදිංචි කේට්හට වැළඳී තිබුණේ ඇකියුට් මයිලොයිඩ් ලියුකේමියා නමින් හැඳින්වෙන පිළිකාවකි.

එය වැළඳීමට පෙර ලිංගික ජීවිතය කේට් විසින් හඳුන්වනු ලැබුවේ "බොහෝ ක්‍රියාකාරීවූවක්" ලෙස ය. නමුත් ඇගේ ලිංගික ක්‍රියාකාරීත්වය ඇත්තෙන්ම අනතුරුදායක විය හැකි බව කීමෝතෙරපි ප්‍රතිකාරය අතරේ වෛද්‍යවරු ඇයට පැවසූහ.

මැක්මිලන් පිළිකා සහයෝගිතා ආයතනය කළ පර්යේෂණයකට අනුව පිළිකා සහිත තරුණ පිරිස අතරින් 46%ක් පවසන්නේ එය තමන්ගේ ලිංගික ජීවිතයට අහිතකර බලපෑම් එල්ලකරන බව යි. මෙය, සියලු වයස් කණ්ඩායම්වල 37%ක් වන සාමාන්‍යය සමග සැසඳීමේ දී ඉහළ අගයකි.

එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ ආයතනයේ නවතම දත්ත අනුව වාර්ෂිකව එරට වයස අවුරුදු 15-24 අතර පිරිසෙන් 2400ක් පමණ පිළිකා රෝගීන් ලෙස හඳුනාගනියි.

'උපකල්පනික පතිවත සුරැකුම් මෙවලමක්'

ප්‍රතිකාරවල ප්‍රතිඵලයක් ලෙස කේට්ගේ රුධිරයේ පට්ටිකා ප්‍රමාණය පහළ ගියේ ය. ප්‍රමාණවත් පට්ටිකා නොමැතිවීමෙන් අදහස් වන්නේ ඔබ (ලිංගික එක්වීමක දී වුව ද නිතර සිදුවිය හැකි ආකාරයේ) සුළු කැපීමකට හෝ සම ඉරීයාමකට ලක්වුවහොත් රුධිරය කැටිගැසීමකින් තොරව අඛණ්ඩ රුධිර වහනයක් සිදුවීම යි.

බීබීසී නිව්ස්බීට් වැඩසටහන සමඟ අදහස් දැක්වූ කේට් මෙය හඳුන්වාදුන්නේ, "ඒක හරියට මට පතිවත සුරැකුම් මෙවලමක් (chastity belt) පැළඳුවා වගේ," යනුවෙනි.

සිය පාසලේ මිතුරියන් පෙම්සුව විඳීමට යන දෙස "ඊර්ශ්‍යා සහගතව" බලාසිටින අතරේ, හිසකේ වැටීම, සිරුරේ බර අඩු-වැඩිවීම හා අතිපීඩාකාරී අස්ථි වේදනාව වැනි රෝගයේ හා ප්‍රතිකාරවල විවිධාකාරයේ අතුරු ආබාධ සමඟ ඔට්ටුවීමට කේට්ට සිදුවිය.

කීමෝ ප්‍රතිකාරය අතරේ දී ලිංගික හැසිරීමට ඇති රුචිය නැතිව ගියත් සාර්ථක ඇටමිදුළු බද්ධයකින් පසු, "යම් හැඟීම් නැවත දැනෙන්න පටන්ගත්තා"යි ද පවසන කේට්, තමාට යළි ලිංගිකව හැසිරීමේ අවශ්‍යතාව පැමිණිබව පවසයි.

නමුත් එක් රැයක ස්වයංවින්දනයේ යෙදීමට උත්සාහ දැරූ ඇයට"අපහසුවක් හා වේදනාවක්" දැනුණි.

'මට අසරණකමක් දැනුණා'

ඒ වන විට කේට් නොදැන සිටියත්, කීමෝතෙරපි හා විකිරණ චිකිත්සක ප්‍රතිකාර හේතුවෙන් ඇගේ සිරුර රසායනික ආර්තවහරණයකට ලක්ව තිබුණි.

ආර්තවහරණයේ දී මතුවිය හැකි බොහෝ ලක්ෂණ අතරින් එකක් වන්නේ යෝනිය වැහැරීම යි. එහිදී යෝනිය තුනීවී, වියළි ස්වභාවයක් දක්වමින් ලිංගික එක්වීම අපහසු කරවයි.

නමුත් මෙවැන්නක් සිදුවිය හැකි බව කිසිවකු කේට් දැනුවත්කර නොතිබූ නිසා තමා"අඳුරේ තැබූබව" ඇයට දැනුණි.

"මට මතක තිබ්බ තරම් මේක විනෝදාත්මක නැහැ කියලා මං හිතුවා," කේට් පැවසුවා ය.

යළි පෙම් සබඳතාවක් ඇරඹීමේ අවශ්‍යතාව ඇතිවන බව දැනුණත්, ඇය ලැබූ අයහපත් අත්දැකීම ඇගේ විශ්වාසය නැතිකළේ, තමන්ට ලිංගිකව එක්වීමට නොහැකිවනු ඇති බව සම්බන්ධයක් ඇතිකරගන්නා කවර අයෙකුට වුවත් පැහැදිලි කරන්නට වන බව සිතද්දී ය.

"එක් අතකින් මට දැනුණේ අසරණකමක්. තරමක ලැජ්ජාවකුත් දැනුණා," කේට් පැවසුවා.

තමන්ට දැනුණු ලැජ්ජාව නිසා, මාස ගණනක් යනතුරුම සිදුවුණේ කුමක්දැ යි කාට හෝ පැවසීමට ඇයට හැකිවූයේ නැත.

නමුත් අවසානයේ දී, තමාගේ ඇටමිදුළු බද්ධය සිදුකළ චිකිත්සාගාරයේ හෙදියක විසින් කාන්තා සෞඛ්‍යය වෙනුවෙන් ආරම්භකර තිබූ සායනයක් පිළිබඳව ඇයට අහම්බයෙන් දැනගන්නට හැකිවූ අතර, එහිදී අවශ්‍ය සහාය මෙන්ම උපදෙස් ද ලබාගැනීමටත් කේට්ට හැකිවිය.

"ඒ හමුව අවසානයේ මං එළියට ආවේ වැඩි විශ්වාසයකින්," කේට් පවසයි.

"හැමදේම නැවත ගොඩනගාගන්න මට සිදුවුණත්, එය දැනුවත්භාවයකින් වගේම වඩා ආරක්ෂාකාරීව කරන්න මට හැකිවුණා."

'මං විරූපියි කියා හිතුණා'

MPNST ලෙස හැඳින්වෙන පිළිකා වර්ගයක් තමාට වැළඳී ඇතැ යි හඳුනාගනු ලැබීමෙන් පසු, ජැක් ෆීල්ඩිං ද සිය ලිංගික ජීවිතය ගැන සෞඛ්‍ය සේවා කණ්ඩායමෙන් විමසීමට සිදුවීම "අපහසුවට ලක්වන සහ ලජ්ජාසහගත" තත්ත්වයක් සේ දුටුවේ ය.

බෝල්ටන්හි වෙසෙන ජැක් 2019 දී පිළිකාවට ලබාගත් ප්‍රතිකාර හේතුවෙන් ඔහුගේ බර අඩුවී, හිසකෙස් හැළීයෑමට ද ලක්විය. ඒ සමඟම "තමාගේ අනන්‍යතාවෙන් කොටසක් ද" තමාට අහිමිවූ බව ඔහුට හැඟිනි.

බීබීසී නිව්ස්බීට් වැඩසටහන සමඟ අදහස් දැක්වූ 26 හැවිරිදි ජැක් "මගේ ආත්මාභිමානය දැඩි පහරකට ලක්වුණා,"යි පැවසුවේ ය.

"ඒක මාව හරියට පිටසක්වළ ජීවියෙක් වගේ කළා කියලා මට හිතුනා. කන්නාඩියෙන් බලද්දී තවදුරටත් මට මාව පෙනුනේ නැහැ."

"කවුරුහරි ඉදිරිපිට නිරුවත්වීම මට මහා භයානක සිතිවිල්ලක් වුණා, මොකද මට හිතුනා මම මහා විරූපියෙක් කියලා."

Jack Fielding and Liam Gaskell

ඡායාරූප මූලාශ්‍රය, Jack Fielding

ඡායාරූප ශීර්ෂ වැකිය, තමාට තවත් පිළිකාවක් ඇතැ යි හඳුනාගෙන ඇති නිසා, එහි ප්‍රතිකාර තම සහකරු වන ලයැම් (වමේ) සමග වන ලිංගික ජීවිතයට කෙසේ බලපානු ඇද්දැයි යන්න ගැන ජැක් ෆීල්ඩිං (දකුණේ) පසුවන්නේ කණස්සල්ලෙනි

මතු දැක්වෙන කරුණු ද ඇතුළුව ආකාර රැසකින් පිළිකාව නිසා යමෙකුගේ ලිංගික ජීවිතයට බලපෑම් එල්ලවිය හැකි බව මැක්මිලන් පිළිකා සහයෝගිතා ආයතනය පවසයි:

  • රෝග විනිශ්චයේ චිත්තවේගී බලපෑම ලිංගික රුචිය නැතිකිරීමට හේතුවීම
  • තෙහෙට්ටුව වැනි, ප්‍රතිකාරවල කෙටිකාලීන බලපෑම්
  • හිසකේ ගැලවීයාම, සිරුරේ බර අඩුවීම/වැඩිවීම, සහ කැළැල් වැනි දෑ නිසා සිය සිරුරේ පෙනුම ගැන අනාරක්ෂිත හැඟීමක් ඇතිවීම
  • චරණ හැකියාව අඩුවීම හෝ ලිංගික ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් වැනි දිගුකාලීන ශාරීරික බලපෑම්

බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය තුළ මනෝලිංගික චිකිත්සාවට ඇත්තේ "ඌණ සම්පත්දායකත්වයක්" බැවින් උපකාර අවශ්‍ය බොහෝදෙනාට ඒ සඳහා මුදල් ගෙවා පුද්ගලික සත්කාර සේවයට යොමුවීමට සිදුවන බව පිළිකා සම්බන්ධ විශේෂඥ පුහුණුවක් ඇති චිකිත්සකයින්ගෙන් සැදුම්ලත් "කුඩා කණ්ඩායමකට" අයත් කැරොලයින් ලවට් පවසන්නී ය.

"වැඩිවියට පැමිණීම සහ ලිංගික යහපැවැත්ම ගැන සිතීමම ඉතා අපහසු යි. ඉතින් ඒ පිටටම නව යෞවනයෙකුට පිළිකාවක් සමගත් දිවි ගෙවන්න සිදුවුණා නම් වැඩි තනිකමක් දැනෙන්න ඉඩ තියෙනවා," ඇය සඳහන් කළා ය.

එක්සත් රාජධානිය පුරා විශේෂඥ චිකිත්සකයින්ගේ "ලොකු හිඩැසක්" ඇතිබවට මැක්මිලන් පිළිකා සහයෝගිතා ආයතනයේ පිළිකා විශේෂඥයකු වන වෛද්‍ය රිචඩ් සිම්කොක් එකඟ වෙයි.

කේට් සහ ජැක් වැනි පුද්ගලයින් මුහුණ දෙන ගැටලු නිතර අවධානයට ලක්නොවන නිසා ජාතික සෞඛ්‍ය සේවය වැඩි විශේෂඥයින් පිරිසකින් ප්‍රතිලාභ ලබනු ඇති බව ඔහු පවසයි.

"මෙවැනි ප්‍රශ්න ගැන සංවේදීව කටයුතු කරන්න සෞඛ්‍ය වෘත්තිකයින් පුහුණු කරන බවට අපි වගබලාගන්න ඕනේ. ඒ වගේම මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න හැකිවන පරිදි ඔවුන් පුහුණුවී ඇති බවටත් වගබලාගන්න ඕනේ," ඔහු ප්‍රකාශ කරයි.

Cait Wilde

ඡායාරූප මූලාශ්‍රය, Cait Wilde

ඡායාරූප ශීර්ෂ වැකිය, කේට්ගේ පිළිකා ප්‍රතිකාරයේ අතුරු ආබාධ අතර හිසකෙස් ගැලවීයාම, ශරීර බරෙහි උච්චාවචනයන්, රසායනික ආර්තවහරණය, සහ දරුණු අස්ථි වේදනාව ඇතුළත් විය

මේ වන විට, පිළිකා සමඟ ජීවත්වන පුද්ගලයින් වෙනුවෙන් ඇති ලිංගික උපදෙස් හා තොරතුරු වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙලක නිරතව සිටින කේට්, පිළිකාවලින් ගැලවුණු අනෙකුත් තරුණ පිරිස් හා එක්ව ඔවුන්ගේ ලිංගික අත්දැකීම් පිළිබඳ කතා ඇතුළත් සඟරාවක් සම්පාදනය කිරීමේ යෙදෙයි.

"මේක සුළු දෙයක් වුණත්, ඒ අපේ අත්දැකීම්. ඒ වගේම මිනිසුන්ට වඩාත් අවංක වෙන්න කියලා දිරිගන්වන්න අවශ්‍ය යි,"යි කියා සිටින ඇය, "මට සිදුවුණා වගේ අනෙක් අය අඳුරේ ඉන්නට හරින්න ඕන නැහැ,"යි ද පවසා සිටියි.