'අපිට මේ ශල්‍යකර්මය සිදුකරන්න සුදානම් වෙන්නම සති දෙකක් ගතවුණා'

ගිනස් ලෝක වාර්තා දෙකකට හිමිකම් කිවූ වකුගඩු ආශ්‍රීතව හටගත් ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කළේ කොහොමද?

ඡායාරූප මූලාශ්‍රය, Army.lk

වකුගඩු ආශ්‍රීතව හටගත් ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදා රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් පසුගිය ජුනි මස 01 වනදා සමත් විය.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිය වෛද්‍යවරුන් මෙම සැත්කම සිදුකරමින් ගිනස් ලෝක වාර්තා දෙකක් තැබීමට සමත් වූ බවයි.

අවුරුදු ගණනක් පුරා විඳි වේදනාව

බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් මෙම ශල්‍යකර්මය සිදුකළ යුද හමුදා රෝහලේ ජෙනිටෝ මුත්‍රා අංශයේ ප්‍රධානී මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් කේ. සුතාර්ෂන් සඳහන් කලේ මෙම රෝගියා වසර ගණනාවක් පුරා වේදනාවකින් පිඩා විදිමින් සිට ඇති බවයි.

"අපිට මුලින්ම මේ රෝගියාට වේදනාවක් තිබෙනවා කියලා කිව්වා. ඒ අනුව ඔහුව යුද හමුදාවේ තියෙන රේඩියෝලොජි ඩිපාර්ට්මන්ට් එකේ තමයි අපි මුලින්ම ගලක් තියනවා කියලා ස්කෑන් එකක් කරලා තහවුරු කර ගත්තේ."

"රෝගියාට මේ අමාරුව අවුරුදු ගානක් තිබ්බා. එයා ඇත්තටම ස්කෑන් හෝ එක්ස්-රේ කරලා තිබුනේ නැහැ කලින්. එයා වැඩ කරලා තිබුනේ උතුරු සහ නැගෙනහිර කියන දුෂ්කර පළාත් වල අවුරුදු 20ක්ම."

"ඉතින් ඒ වැඩ සහ අනෙක් ප්‍රශ්න එක්ක කිසිම දෙයක් කරලා නැහැ." හෙතෙම ප්‍රකාශ කළේය.

“ස්කෑන් වලින් අපි අඳුන ගත්තා මෙච්චර ලොකු ගලක් තියනවා කියලා. ඒ වගේම අපිට මේ ශල්‍යකර්මය සිදුකරන්න සුදානම් වෙන්නම සති දෙකක් ගතවුණා."

ඡායාරූප මූලාශ්‍රය, Army.lk

ඡායාරූප ශීර්ෂ වැකිය, “ස්කෑන් වලින් අපි අඳුන ගත්තා මෙච්චර ලොකු ගලක් තියනවා කියලා. ඒ වගේම අපිට මේ ශල්‍යකර්මය සිදුකරන්න සුදානම් වෙන්නම සති දෙකක් ගතවුණා."

අවධානමට පෙර වූ සුදානම

වකුගඩුවේ ගල් සෑදී තිබු රෝගියා සම්බන්ධයෙන් සිදුකළ ස්කෑන් පරීක්ෂණ අනුව ඒ සම්බන්ධයෙන් වන වාර්තා නිරීක්ෂණය කිරීමෙන් පසු ඔහුව ශල්‍යකර්මය සිදුකිරීමට සුදානම් කිරිමේ ක්‍රියාවලියට සති දෙකක් ගතවූ බව විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් කේ. සුතාර්ෂන් සඳහන් කලේ ය.

“ස්කෑන් වලින් අපි අඳුන ගත්තා මෙච්චර ලොකු ගලක් තියනවා කියලා. ඒ වගේම අපිට මේ ශල්‍යකර්මය සිදුකරන්න සුදානම් වෙන්නම සති දෙකක් ගතවුණා."

"මොකද මේක වකුගඩුවක තියෙන විශාලම ගල ඉවත් කිරීමේ ශල්‍යකර්මය නිසා ඊට හොද පෙර සුදානමක් අවශ්‍ය වුණා."

"විශේෂයෙන්ම අපිට රෝගියාව ඒ සඳහා සුදානම් කරන්න, රෝගියාට ශල්‍යකර්මය සිදුකරද්දී ඇතිවෙන්න පුළුවන් වෙයි කියලා හිතුන කම්පිලිකේෂන් ගැන අපි ලොකු අවධානයක් යොමු කරන්න සිද්ධ වුණා."

"ඒ ගැන අපි පෙර සුදානම් වෙලා ඒකට සැලසුම් හැදුවා."

"රෝගියාට හදිසි අවශ්‍යතාවයක් ඇති වුනොත් ඩයලසීස් කරන්න අවශ්‍ය කටයුතු වගේම දැඩි සත්කාර ඒකකයේ ඇදක් පවා අප සුදානම් කරලයි තිබුණේ."

"ඊට පස්සේ අපේ වෛද්‍යවරුන් මේ ගැන සාකච්ජා කළා."

"ශල්‍යකර්මයට නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනෙක් එකතු කර ගත්තා. ඒ වගේම මා ඇතුළු තවත් වෛද්‍යවරුන් තිදෙනෙක් එක්ක සියලුම වෛද්‍ය කණ්ඩායම පස් දෙනෙක් මේ සඳහා දායකත්වය ලබා දුන්නා."

"ඒ වගේම මේකට සාක්ෂි වශයෙන් තවත් වෛද්‍යවරුන් දෙදෙනෙක් එතන හිටියා."

"මේක අපිට ලොකු අභියෝගයක් වුන ශල්‍යකර්මයක් වුණා." යනුවෙන් විශේෂඥ වෛද්‍යවරයා පවසා සිටියේය.

ගිනස් වාර්තා කමිටුවට කළ දැනුම් දීම

" අපි රෝගියාගේ වකුගඩුවෙන් ඉවත් කරපු ගලේ දිග බැලුවම එය සෙන්ටිමීටර 13.372 ක් බව හෙළි වුණා."

ඡායාරූප මූලාශ්‍රය, Army.lk

ඡායාරූප ශීර්ෂ වැකිය, " අපි රෝගියාගේ වකුගඩුවෙන් ඉවත් කරපු ගලේ දිග බැලුවම එය සෙන්ටිමීටර 13.372 ක් බව හෙළි වුණා."

රෝගියා ගේ වෛද්‍ය වාර්තා අනුව ඔහුගේ වකුගඩුවේ ඇති ගලේ විශාලත්වය හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ගිනස් වාර්තා කමිටුවට දැනුම් දීමට පියවර ගත් බව ද හෙතෙම සඳහන් කළේය.

"මේ රෝගියාගේ වෛද්‍ය වාර්තා අනුව අපි ඒ ගැන ගිනස් කමිටුවට දැනුම් දුන්නා. ඊට පස්සේ ඒ අය අපිට ගයිඩ් ලයින්ස් (උපදෙස් මාලාවක්) එවලා තිබ්බා. ඒගොල්ලන් ගේ ගයිඩ් ලයින් එකට අනුව අපිට මේ ටික කරන්න කියලා. වීඩියෝ කරලා, එවිඩන්ස් (සාක්ෂි) ඔක්කොම අරගෙන."

"ඒ අනුව අපිට මේ රෝගියා සම්බන්ධයෙන් සහ ඔහුගේ වකුගඩුවේ ඇති ගල සම්බන්ධයෙන් වන තොරතුරු සහ සාක්ෂි සැපයීමක් කරන්න සිද්ධ වුනා ගිනස් ලෝක වාර්තා කමිටුවට."

"ඒ අනුව ජුනි මාසේ පළමු වෙනිදා යුද හමුදා රෝහලේ ශල්‍යාගාරයේ දී මේ රෝගියාට Right Side Pyelolithotomy කියන ශල්‍යකර්මය සිදුකළා."

"ඒ අනුව රෝගියාගේ දකුණු පස වකුගඩුව විවෘත කරලා, එහි තිබුණු විශාල ගලක් ඉවත් කරනු ලැබුවා." විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.

ගිනස් වාර්තා දෙකකට හිමිකම් කියූ හැටි

ශල්‍යකර්මය සිදුකිරීමෙන් පසු රෝගියාගේ දකුණු වකුගඩුවෙන් ඉවත් කළ ගල, මැන බැලීමට පියවර ගත් බවත් පසුව එය ගිනස් වාර්තා දෙකක් තබා ඇති බව දැන ගන්නට ලැබුණු බව ද විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් කේ. සුතාර්ෂන් සඳහන් කළේය.

" අපි රෝගියාගේ වකුගඩුවෙන් ඉවත් කරපු ගලේ දිග බැලුවම එය සෙන්ටිමීටර 13.372 ක් බව හෙළි වුණා."

"මෙච්චර කල් ලෝකයේ තිබුණු වාර්තාව තමයි 2004 වර්ෂයේ ඉන්දියාවේ මුම්බායි හිදී රෝගියෙක් ගෙන් ඉවත් කරපු සෙන්ටිමීටර 13 ක් දිග වකුගඩු ගල."

"ඒ වගේම අපි මුලින්ම බලාපොරොත්තු වුනේ නැහැ. නමුත් පස්සේ අපිට දැන ගන්න ලැබුණා මිට පෙර ගිනස් වාර්තාවට හිමිකම් කියපු වකුගඩුවකින් ඉවත් කරපු ගලක බර ග්‍රෑම් 620ක් කියලා. "

"ඒක 2008 වසරේ දී පාකිස්ථානයේ පුද්ගලයෙකු ගෙන් වාර්තා වෙලා තිබුනේ."

"අපි ඉවත් කරපු ගලේ බර ප්‍රමාණය ග්‍රෑම් 800ක්."

ඡායාරූප මූලාශ්‍රය, Army.lk

ඡායාරූප ශීර්ෂ වැකිය, "අපි ඉවත් කරපු ගලේ බර ප්‍රමාණය ග්‍රෑම් 800ක්."

"අපි ඉවත් කරපු ගලේ බර ප්‍රමාණය ග්‍රෑම් 800ක්."

"පස්සේ අපි මේ සාක්ෂි සියල්ලම ගිනස් ලෝක වාර්තා සංගමයට යොමු කළා. ඒ අනුව ඊයේ (ජුනි මස 13 වෙනිදා) ඒ අයගේ සහතිකය ලැබුණා."

"ඒ අනුව අපිට ලෝකයේ විශාලතම වකුගඩු ගල මෙන්ම දිගින් වැඩිම ගල ඉවත් කිරීමෙන් තැබූ ගිනස් ලෝක වාර්තා දෙකකට හිමිකම් කියන්න ලැබුණා."

"ඇත්තටම වෛද්‍යවරුන් වශයෙන් අපිත්, රෝගියාත් පුදුම විදිහට සන්තෝෂ වුණා."

"රෝගියා සතුටු වුනා මේ තරම් ලොකු ශල්‍යකර්මයක් කරලා ඔහුගේ රෝගයෙන් සුවය ලැබීමට හැකිවීම ගැන."

"ඒ වගේම අපි සතුටු වුණා ඒ වගේ ලොකු ඔපරේෂන් එකක් සාර්ථකව කරන්න ලැබීම සහ ඒකට ගිනස් වාර්තා දෙකක් හිමි වීම ගැන. " ඔහු සඳහන් කළේය.

රෝගියා වාසනාවන්තයි

මෙතරම් විශාල ගලක් වකුගඩුවේ ඇතිවූ තිබිමෙන් අනතුරුව වුවද රෝගියා ඉතා වාසනාවන්ත බව විශේෂඥ වෛද්‍යවරයා පවසා සිටියේය.

" ඒ තරම් විශාල ගලක් වකුගඩුවේ තිබිලත් මේ රෝගියා වාසනාවන්ත කෙනෙක් වුනා. ඔහුගේ වකුගඩු දෙකම කිසිම ගැටලුවක් නැතිව හොඳ ක්‍රියාකාරී මට්ටමේ පවතිනවා. කිසිම හානියක් වෙලා නැහැ වකුගඩු වලට."

"ඔහුට දැන් වයස අවුරුදු 62ක්, තවත් දින කිහිපයකින් ඔහු රෝහලෙන් තම නිවස බලා පිටව යන්න සුදානමෙන් ඉන්නේ. රෝගියා ගොඩක් සතුටින් ඉන්නේ."

"ඔහු අවුරුදු 20ක් යුද හමුදාවේ සේවය කරලා දැනට විශ්‍රාම ගොස් සිටින අයෙක්. කුරුණෑගල ප්‍රදේශය තමයි ඔහුගේ ගම් පළාත." විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.

ශල්‍යකර්මය මෙහෙය වූ වෛද්‍ය සුතාර්ෂන් ඇතුළු කණ්ඩායම

භාරදූර ශල්‍යකර්මය මෙහෙය වූ වෛද්‍ය සුතාර්ෂන් ඇතුළු කණ්ඩායම

ඡායාරූප මූලාශ්‍රය, Army.lk

ඡායාරූප ශීර්ෂ වැකිය, ශල්‍යකර්මය මෙහෙය වූ වෛද්‍ය සුතාර්ෂන් ඇතුළු කණ්ඩායම
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ගිනස් වාර්තා දෙකකට හිමිකම් කියූ මෙම ශල්‍යකර්මය මෙහෙය වූ ශ්‍රී ලංකා යුද හමුදා රෝහලේ ජෙනිටෝ මුත්‍රා අංශයේ ප්‍රධානී මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් කේ. සුතාර්ෂන් යාපනයේ සිය මුලික අධ්‍යාපනය හදාරා ඇතිතේ යාපනයේදීයි.

"මම අධ්‍යානය ලැබුවේ යාපනය සාන්ත ජෝන් පාසැලෙන්. මගේ වෛද්‍ය උපාධිය ලබා ගත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන්. පස්සේ මම කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවා."

"මම වසර දෙකක් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි කිංග්ස් කොලේජ් රෝහලේ විදෙස් අධ්‍යාපනය හැදෑරුවා. ඒ වසර 2015 සිට වසර 2017 වෙනකම්."

"ඊට පස්සේ මම ලංකාවට ඇවිල්ලා නාගොඩ රෝහලේ වැඩකලා මුලින්ම. ඊට පස්සේ අවුරුදු දෙකක් අම්පාර රෝහලේ වැඩ කළා."

"එතනින් පස්සේ 2020 වසරේදී යුද හමුදාවට එකතු වෙලා දැන් වසර දෙකක් යුද හමුදා රෝහලේ සේවය කරනවා."

මෙම ශල්‍යකර්මය සඳහා කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තමන්ෂා ප්‍රේමතිලක විසින් ඔහුට සහාය වී තිබෙන අතර, ශල්‍යකර්මය සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් ලෙස කර්නල් (වෛද්‍ය) යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී.එස් අබේසිංහ ද සහාය වී තිබේ.