'අපේ ගෙදරට ඇවිල්ලා ගහලා ගියා වගේ වැඩක් තමයි මේ ': මුහුදේදී ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසකට හඳුනා නොගත් කණ්ඩායමකින් ප්‍රහාර

පහර කෑමට ලක්වූ ධීවරයෙකි
ඡායාරූප ශීර්ෂ වැකිය, පහර කෑමට ලක්වූ ධීවරයෙක්
    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 7

"මේ සිද්ධිය වුණේ අපේ ලංකා මුහුදේ, ගාල්ලට කෙළින් බටහිර මුහුදේ මේක වුණේ. මේක අපිට හරිම ප්‍රේහේලිකාවක්. මේ නැව අපේ ලංකාවේ රේඩාර්වලට අනිවාර්යෙන් වදිනවා."

"අපේ රටට.. අපේ ගෙදරට ඇවිල්ලා ගහලා ගියා වගේ වැඩක් තමයි මේ වැඩේ. අපේ සීමාවට ආවට පස්සේ ගහනවා කියන්නේ, ගෙදරට ඇවිල්ලා ගහලා ගියා වෙගේ නේ." යැයි නෞකාවකින් පැමිණි පිරිසකගෙන් දකුණු මුහුදේදී පහර කෑමට ලක්වූ බව කියන ලාංකික ධීවරයෙකු වූ සුරංග නිසල් බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේය.

ධීවර කටයුතු සඳහා ගිය ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසකට මහ මුහුදේදී කිසියම් විදේශිකයින් පිරිසක් පහර දෙන ලදැයි කියන මෙම සිද්ධිය රාජ්‍යතාන්ත්‍රිකව විසඳා ගත යුතු සිද්ධියක් බවට පත්ව තිබේ.

ඒ, තමන්ට පහරදුන්නේ ඉන්දීය ආරක්ෂක අංශ බවට පහර කෑමට ලක්වූ ශ්‍රී ලංකා ධීවරයින් පවසන පසුබිම තුළයි.

පහර කෑමට ලක්වූ ධීවරයින් රැගෙන ආ අවස්ථාවේ ඡායාරූපයකි

'රාජ්‍ය තාන්ත්‍රිකව බේරා ගත යුතුයි' - ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ

මෙය රාජ්‍ය තාන්ත්‍රිකව බේරා ගත යුතු බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ බීබීසී සිංහල වෙත පැවසීය.

"29 වැනිදා බෝට්ටු දෙකකට පහර දීලා තියෙනවා. 30 වැනිදත් තව එක බෝට්ටුවකටත් පහරදීලා තියෙනවා. 29 පහරදීපු අය ගැන වාර්තා වුණා ම අපි නේවි එකත් එක්ක කතා කරලා බෝට්ටුවක් යවලා ඒ ගොල්ලෝ ගෙන්නුව ගාල්ලට. ඒ ගොල්ලෝ කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කරලා ඩිස්චාර්ජ් කරලා යැව්වා."

"එයාලාගේ පැත්තෙන් කියන්නේ මේක ඉන්දියානු වෙරළාරක්ෂක හරි ඉන්දියන් මොකක් හරි කියලා. හැබැයි අපිට නිශ්චිතභාවයක් නැති හින්දා විදේශ කටයුතු අමාත්‍යංශයට යි, නාවික හමුදාවට යි දැනුම් දුන්නා පහරදීමට පැමිණී බෝට්ටුව, කිනම් රටක එකක්ද, මේක ලංකාවේ එකක් ද, විදේශීය එකක්ද කියලා සොයන එක ගැන."

"ඊට පස්සේ ඒක විදේශීය එකක් නම් මේක නිල එකක් ද නිල නොවන එකක් ද කියන එක හොයන්න."

"ඊට පස්සේ පොලිසිය පැත්තෙන් විමර්ශනය කරන්න කිව්වා වහාම පරීක්ෂණයක් කරන්න කියලා, පහර කෑමට ලක්වූ අයගෙන් කට උත්තර අරන් සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ඉල්ලා තිබෙනවා."

කෙසේවෙතත් මෙම පහරදීම ඉන්දියාවෙන් කළේ දැයි මෙතෙක් සනාථ වී නොමැති බව ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

"කෙසේවෙතත් මෙය විදේශ සිදුවීමක් නිසා රාජ්‍ය තාන්ත්‍රිකව බේර ගන්න ඕනේ." නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

"මේ පහරදීමට එකඟ නෑ කීයටවත්. අහිංසක මිනිස්සු." ඔහු පැවසීය.

වීඩියෝ ශීර්ෂ වැකිය, 'අපේ ගෙදරට ඇවිල්ලා ගහලා ගියා වගේ වැඩක් තමයි මේ '

බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන් කියන්නේ කුමක් ද?

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී හා ජාත්‍යන්තර මුහුදේදී ශ්‍රී ලංකාවේ බහුදින ධීවර යාත්‍රාවල සිටි ධීවරයින්ට සිදුකළ පහර දීමකින් ධීවරයන් අට දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් බරපතල තුවාල ලබා සිටි සිව් දෙනෙකු ගාල්ල මහ රෝහලට ඇතුළත් කෙරුණු බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය සඳහන් කළේය.

එහි ලේකම් රුවන් ප්‍රනාන්දු බීබීසීයට ප්‍රකාශ කළේ, මෙලෙස පහර කෑමට ලක් ව ඇත්තේ වෙල්ලමන්කරය ධීවර වරායෙන් මුහුදු ගිය හලාවත තොඩුවාව ප්‍රදේශයේ 'දිනිති දුව' යත්‍රා දෙකක් හා 'සඳුන් පුතා' බහුදින ධිවර යාත්‍රා තුනේ සිටි ධීවරයන් බව යි.

'දිනිති දුව 1' සහ 'දිනිති දුව 2' යන යත්‍රා දෙකට පහර දී ඇත්තේ මාසයකට වැඩි කාලයක් ජාත්‍යන්තර මුහුදේ රැකියාව කර නැවත වෙන්නප්පුව වෙල්ලමන්කරය ධීවර වරාය වෙත පැමිණීමේදී ශ්‍රී ලංකා මුහුදු සිමාවේදී බව ධීවරයෝ සඳහන් කළහ. ඒ පසුගිය ජනවාරි 29 වෙනි දින යි.

සදුන් පුතා ධිවර යාත්‍රාවට ජනවාරි 30 වැනි දා පහර දී ඇත්තේ දියෙගෝ ගාර්සියා දුපත් ආසන්න ජාත්‍යන්තර මුහුදේදී යි.

දිනිති දුව ධීවර යාත්‍රා

මේ තත්ත්වයත් සමග ජාත්‍යන්තර මුහුදේ රැකියාව කරන ශ්‍රී ලංකාවේ බහුදින ධිවර යාත්‍රා 2000 කට වැඩි ප්‍රමාණයක් රැකියාව සිදු නොකර අනතුරු ඇගවීමේ සංඥා නිකුත් කරමින් සිටින බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු සඳහන් කළේය.

මේ පහරදීම සිදු කරන අවස්ථාවේ ඉන්දීය නාවිකයන් සමග සිංහල භාෂාව මනාව හසුරුවන පුද්ගලයන් දෙදෙනෙකු සිට ඇති අතර ඔවුන් ඉන්දීය නාවිකයින්ට භාෂා පරිවර්තනවලට සහය වූ බවත් ඔවුන් කළු පැහැති නාවික ඇදුමකින් සැරසි සිටි බවත් පහර කෑමට ලක් වූ ශ්‍රී ලංකික ධීවරයන්, සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයට දැනුම් දී ඇත.

'ඉන්දීය නාවිකයන් යැයි බව පවසන' පිරිස ශ්‍රී ලාංකික ධීවරයන්ට පහර දෙමින් යාත්‍රා පරීක්ෂා කර ඇති අතර මත්ද්‍රව්‍ය තිබේදැයි යන්න ප්‍රශ්න කර තිබේ.

පහර කෑමට ලක්වූ 'සඳුන් පුතා' බහුදින යාත්‍රාව මේ වන විට ගොඩබිමට පැමිණෙමින් තිබෙන අතර එහි බරපතල තත්ත්වයේ පසුවන ධීවරයන් තිදෙනෙකු සිටින බව ගුවන් විදුලි පණිවිඩ මගින් මෙරටට දැනුම් දී ඇත.

පහර කෑමට ලක්වූ ධීවරයෙකි
ඡායාරූප ශීර්ෂ වැකිය, පහර කෑමට ලක්වූ ධීවරයෙකු වන ෂෙහාන්

'ගහලා ගහලා; එයාලා මගෙන් අහන්නේ සැටලයිට් ෆොන් එකයි. ඉරාන බෝට්ටුයි, කුඩුයි තමයි'

මේ සම්බන්ධයෙන් ඉන්දියාවෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලන ලෙස පහර කෑමට ලක්වූවන්ගේ ඥාතීන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ.

මේ යාත්‍රා තුනේ ම සිට ඇත්තේ තොඩුවාව ,මාරවිල,කුඩා මඩුවැල්ල ,මාදම්පේ,හලාවත ඇතුළු ප්‍රදේශ කීපයක පදිංචි කරුවන් 18 දෙනෙකි.

මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය විසින් හා අදාළ ධීවරයන් සිදුකළ දැනුම් දීම අනුව පරීක්ෂණ ආරම්භ කල බව ධීවර දෙපාර්තුමේන්තුව සඳහන් කළේය.

පහර කෑමට ලක්වූ ධීවරයෙකු වන සුරංග නිසල් බීබීසී සිංහල වෙත කියා සිටියේ, තමන්ට පහරදුන් පුද්ගලයින් සැටලයිට් දුරකථන, ඉරාන බෝට්ටු හා මත්ද්‍රව්‍ය ගැන විමසමින් තමන්ට පහරදුන් බව යි.

"පොඩි බෝට්ටුවකින් පස් දෙනෙක් ආවා, බෝට්ටුව චෙක් කරලා, ගහලා ගහලා; එයාලා මගෙන් අහන්නේ සැටලයිට් ෆොන් එකයි. ඉරාන බෝට්ටුයි, කුඩුයි තමයි අහන්නේ. අපි නැහැ කියන්න කියන්න එක දිගට ම ගහන එක තමා කරන්නේ. ඊට පස්සේ මම කිව්වා මාව මරලා මුහුදේ දාන්න. මට මෙතනින් එහාට කියන්න දෙයකුත් නැහැ. මට පණත් නැහැ කියලා.

ඊට පසු තමාව නෞකාවට රැගෙන ගොස් පහර දුන් බව ද සුරංග නිසල් කියා සිටියේ ය.

පහර කැමට ලක්වූ ධීවරයෙක් වන සුරංග නිසල් පීරිස්
ඡායාරූප ශීර්ෂ වැකිය, තමන්ට පහරදුන් නෞකාව හඳුනා ගත හැකිදැයි සුරංග නිසල් පීරිස්ගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ, "නොම්බරයක් තිබ්බා 55 කියලා. ඉංග්‍රීසි අකුරකුත් තිබුණා මට මතක නැහැ"
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"ඊට පස්සේ ලොක්කෙක් ඇවිල්ලා කිව්වා, ළමයි තුන් දෙනාවයි.. නොනවයි ප්‍රාණ ඇපයට ගන්නවා කියලා. උඹ මොනාවද කියන්නේ කියලා. මං කිව්වා එයාලා මැරුවත්.. මාව මැරුවත් මට කියන්න තියෙන්නේ මෙච්චරයි, මම කිසි ම දෙයක් දන්නේ නැහැ. අපි කිසි ම දෙයක් ගෙනාවේ නැහැ. මුකුත් හම්බ වුණෙත් නැහැ කියලා."

"ඊට පස්සේ සිංහල දෙන්නෙක් ඉදලා ආයිත් ප්‍රශ්න කළා මගෙන්. ඒ සිංහල දෙන්නත් ගහලා ගහලා ප්‍රශ්න කළා."

"මට ආයෙත් ගහන්න යනකොට මම කිව්වා මට කියන්න දෙයක් නැහැ. ඊට පස්සේ ලොක්කා ඇවිල්ලා කිව්වා, එක්කෝ මැරන්න වෙනවා, නැත්නම් මරන්න වෙනවා කියලා. ඊට පස්සේ නිදහස් කෙරුවා මුං ළඟ මුකුත් නෑ වගේ කියලා."

තමන්ට පහරදුන් නෞකාව හඳුනාගත හැකිදැයි කළ විමසීමේදී ඔහු කියා සිටියේ, "නොම්බරයක් තිබ්බා 55ක් කියලා. ඉංග්‍රීසි අකුරකුත් තිබුණා මට මතක නැහැ" යනුවෙනි.

"මං සියයට සීයක් ෂුවර්කරලා කියනවා. ඒකේ ඉන්දියාවේ කට්ටියක් හිටියේ, ඉන්දියාවේ නැවක් කියලා මං කියනවා. එකේ දෙමළ කටිටයක් හිටියා, පන්ජාබ් කියන්නේ ඔළුවේ මේක බැදලා ඉන්න කට්ටිය හිටියා. හින්දියෙනුත් කතා කළා. දෙමළනුත් කතා කළා. සිංහළ දෙන්නෙකුත් හිටියා. සිංහල දෙන්න තමා මගෙන් ප්‍රශ්න කළේ. මං ඇහුවා කවුද කියලා. ඊට පස්සේ කිව්වා අපි සිංහල, ලංකාවේ අය කියලා. සිංහල දෙන්නත් අපිට ගැහුවා. කියපල්ල ගෙනපු ඒවා, නැත්නම් අනිවාර්යයෙන් මරණවා කිව්වෙ නැත්නම් කියලා."

මෙම නෞකාවේ 75ක් 100ක් අතර පිරිසක් සිටි බව සුරංග කියා සිටියේ ය.

"අපිට කිසිම දෙයක් ඕනේ නැහැ. අනිවාර්යයෙන් හොයන්න ඒකයි අපි ඉල්ලා සිටින්නේ." යැයි සුරංග වැඩිදුරටත් පැවසීය.

'තාක්ෂණික විමර්ශනයට සහයෝගය දක්වනවා'- ශ්‍රී ලංකා නාවික හමුදාව

ධීවර සම්පත් දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමට අනුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා මෙම ධීවරයින් ගොඩබිමට රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සම්පත් බීබීසී සිංහල වෙත කියා සිටියේ ය.

ඔහු පැවසුවේ, මේ සම්බන්ධයෙන් කෙරෙන තාක්ෂණික විමර්ශනයට නාවික හමුදාව සහයෝගය ලබා දෙන බවයි.

"ලංකාවට දකුණින් ගිහිල්ලා තමා අපි ගත්තේ, ඒ ගොල්ලො කියන ස්ථාන, පහර දුන් පාර්ශවකරුවන් කවුද ඒ කියන එක නාවික හමුදාව තහවුරු කර ගත්තාට පස්සේ තමා කියන්න වෙන්නේ."

"එක එක පාර්ශව එක එක වෙලාවට කොස්ට් ගාඩ් කියනවා, එක වෙලාවකට ඉන්දීයන් නේවි කියනවා, එහෙම එක එක වෙලාවට කියනවා. ඒක වෙන්න පුළුවන්."

"අපි තාක්ෂණික වශයෙන් ඒ කියන ස්ථානය, මුහුදු කලාපය, ඒ කියන වේලාවල් දිනය, කොච්චර ඩිස්ටන්ස් එකකින්ද ඒ ගොල්ලෝ ලංකාවට හිටියේ කියන එක තාක්ෂණික විමර්ශනයට නාවික හමුදාවෙන් සහයෝගය දක්වනවා."

"අපි හමුදාවක් හැටියට කියනවා නම්, තාක්ෂණික වශයෙන් ඔප්පුකර ගත්තට පස්සේ තමයි කියන්න පුළුවන්." නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රතිචාරය

මේ සම්බන්ධයෙන් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් බීබීසී සිංහල විමසීමක් කළ අතර ඔවුන් ඊට අප වෙත ප්‍රතිචාර දක්වා තිබිණි.

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, ඉන්දීය නාවික හමුදාව හෝ ඉන්දීය වෙරළාරක්ෂක බලකා සාමාජිකයින් විසින් ශ්‍රී ලාංකික ධීවරයින්ට පහරදීමේ එවැනි සිදුවීමක් සිදුවී නොමැති බවයි.

මේ ආකාරයට මාධ්‍ය වලින් කළ විමසීම් හැර, උපුටා දක්වන ලද සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් විසින් කිසිදු විධිමත් ප්‍රවේශයකින් ඉදිරිපත් වීමක් කර නොමැති බව ද අප වෙත දැක් වූ අදාළ ප්‍රතිචාරයේ දැක්වෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ද අප විමසීමක් කළ ද මේ දක්වා ඔහුගෙන් ඊට ප්‍රතිචාරයක් ලැබී නොමැත.