ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ෆාතිමා රිකාසා: 'ඒ පවුලේ එක ළමයෙක් විතරයි ජිවිතේ බේර ගත්තේ'
හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු අද (ඔක්. 30) වන විට දින 23ක් ගෙවී අවසන් ය.
මෙම කාල සීමාව පුරා ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ගාසා තීරයේ පිහිටි හමාස් සංවිධානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සිදුකරගෙන යනු ලබයි.
ඉකුත් දින කිහිපයේ දී ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයට එල්ල කරනු ලබන ප්‍රහාර සංඛ්‍යාත්මකව ඉහළගොස් තිබෙන අතර, එම ප්‍රදේශයේ දුරකථන සහ අන්තර්ජාල පහසුකම් සේවා ද බිඳ වැටී තිබුණි.
කෙසේ වුව ද, ඊයේ (ඔක්. 29) දිනයේ සිට ගාසා තීරයේ දුරකථන සේවා යථා යළි තත්ත්වයට පත්ව ඇත.
'ලාංකිකයින් ගැන තොරතුරු සොයා බලනවා'
ගාසා තීරයේ දුරකථන සහ අන්තර්ජාල පහසුකම් පසුගිය දින කිහිපය තුළ ක්‍රියාත්මකව නොතිබීම හේතුවෙන් එහි වෙසෙන ශ්‍රී ලාංකික පවුල් තුනක සාමාජිකයින් සම්බන්ධයෙන් තොරතුරු සොයා දැන ගැනීමට අපහසුව තිබූ බව පලස්තීනයේ, රමල්ලාහි වෙසෙන ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නාවලගේ බෙනට් කුරේ බීබීසි සිංහල සේවයට පැවසුවේ ය.
"පසුගිය දින කිහිපයේ දී ගාසා තීරයේ දුරකථන සහ අන්තර්ජාල පහසුකම් ක්‍රියාත්මක වුණේ නැහැ. අපිට ඒ නිසා ලංකාවේ අය සම්බන්ධයෙන් තොරතුරක් සොයා ගන්න ලැබුණේ නැහැ."
"නමුත් දැන් දුරකථන සේවා යථා තත්ත්වයට පත්ව ඇති නිසා ඔවුන් ගැන තොරතුරු සොයා බලන්න අපේ නිලධාරින් පියවර ගෙන තිබෙනවා," ඔහු පැවසීය.
ගාසා තීරයේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එම ප්‍රදේශයෙන් ඉවත්කර ගැනීමට නොහැකිව ඇත්තේ ඊජිප්තුවේ රෆා දේශසීමාව මේ දක්වා මහජනතාවට විවෘත වී නොතිබීම හේතුවෙන් බව ද ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා පැවසුවේ ය.
පැවති දුරකථන සම්බන්ධතා බිඳවැටීම හමුවේ බීබීසි සිංහල සේවය හා නිරන්තරයෙන් සම්බන්ධ වී සිටි පලස්තීන ජාතික පුද්ගලයෙකු සමග විවාහ වී සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් වන ෆාතිමා රිකාසා පසුගිය දින 10 පුරා අපට සම්බන්ධ කරගැනීමට නොහැකි විය. ඈ සම්බන්ධ කරගැනීමට අප දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ගියෙන් අප කණ්ඩායම හමුවේ ද වුයේ දෙගිඩියාවකි.
නමුත් ඊයේ ( ඔක්තොම්බර් 29) දින 10කට පසු ෆාතිමාගේ ජිවන තත්ත්වය ඉතාම නරක අතට හැරී තිබුණ ද ඇය නැවත සම්බන්ධ කරගැනීමට හැකිවීම අපට නොමඳ අස්වැසිල්ලක් විය.
ඇය හා පවුලේ සාමාජිකයින් දැන් රෆා දේශසීමාවට ආසන්නයේ පිහිටි පාසැලක ජීවත්වන බව ෆාතිමා කියා සිටියාය.
අවවාදයයි : මෙහි අඩංගු ඇතැම් කරුණු මගින් පාඨකයන් කම්පනයට පත්විය හැකිය.
'පිරිසිදු ජලය හොයා ගන්න හරි අමාරු යි'
ඇය හා සැමියා ඇතුළු පවුලේ සාමාජිකයින් ඉකුත් සතියේ දී නිවසෙන් බැහැරව පැමිණි බවත්, මේ වන විට සතියක පමණ කාලයක් පාසැලේ පිහිටි කඳවුරක් තුළ ජීවත් වන බව ෆාතිමා රිකාසා පැවසුවා ය.
ඔවුන් වෙසෙන සරණාගත කඳවුරේ තවත් බොහෝ පුද්ගලයින් වෙසෙන බැවින්, එහි ඉඩක් වෙන්කර ගැනීම පහසු කාර්යයක් නොවූ අතර පිරිසිදු ජලය සොයා ගැනීම ද අපහසු වී ඇති බව ඇය සඳහන් කළා ය.
"මෙතන ගොඩක් සෙනඟ ඉන්නවා. අපිට ලැබුණේ ඉස්කෝලේ ගේට්ටුව හරියේ ඉඩක්. ඒ තරම්ම සෙනඟ ජීවත් වෙනවා."
"පිරිසිදු ජලය හොයා ගන්න හරි අමාරු යි. මෙහෙ ලැබෙන වතුර ලුණු රසයි. බොන්න, ඇඳුම් හෝද ගන්න, පිරිසිදු වෙන්න මේ ඔක්කොම කරගන්න ඕන ලැබෙන මේ වතුරවලින්," ඇය පැවසුවා ය.
"කෑම්ප් එකේ ඉන්න නිසා උයන කෑම මොනව හරි ලැබෙනවා. සමහර දවස්වලට පරිප්පු හරි අල එක්ක රොටි ලැබෙනවා. පොඩි අයත් එක්ක හරි අමාරුවෙන් ඉන්නේ."
"ඉස්කෝලේ කරන්ට් එක නැහැ. ඒ ළඟ තියෙන බිල්ඩිමක ජෙනරේටර් එකක් වැඩ කරනවා. ඒකෙන් වයර් ඇදලා තමයි මේ ඉස්කෝලෙට කරන්ට් එක ලැබෙන්නේ," ඇය කියා සිටියා ය.
' ඇවිල්ලා දෙවෙනි දවසේ නැන්දලා හිටිය බිල්ඩිමට බෝම්බ දැම්මා'
ඔවුන් නිවසෙන් පිටව ඇගේ සැමියාගේ නැන්දණියගේ නිවසේ නවාතැන් ගැනීමට ගිය ද එහි ඉඩකඩ අවමවීම හේතුවෙන් ඇගේ හා දරු පවුලේ දිවි බේරුණු අත්දැකීමක් ද ෆාතිමා රිකාසා මෙහිදී බෙදාගත්තා ය.
"අපේ ගෙදරින් එළියට ආවට පස්සේ මගේ මහත්තයාගේ නැන්දලගේ ගෙදරට ගියා. ඒත් ඒ ගෙදර ඉඩ මඳි නිසා ඒ ගෙවල් ළඟ තියෙන යුනිවර්සිටි එකේ තියෙන කෑම්ප් එකට යන්න පුළුවන් ද කියලා එයාලා බොහොම කාරුණික විදිහට අපෙන් ඇහුවා. මේ නිසා මමයි, මහත්තයයි අපේ ළමයි ටිකයි ආවා ඒ තැනට. හරියට ඇවිල්ලා දෙවෙනි දවසේ නැන්දලා හිටිය බිල්ඩිමට බෝම්බ දැම්මා. "
"නැන්දයි, මාමයි, ඒ පවුලේ ළමයි හතරදෙනෙකුයි මැරුණා. ගෙවල් ළඟ කඩේට ගිහින් හිටිය ඒ පවුලේ එක ළමයෙක් විතරයි ජීවිතේ බේර ගත්තේ. අපිත් එතැන හිටියනම් ඉවරයි."
"තවම මේ මැරුණ අයගේ බොඩිස් ගොඩගන්න බැරිවුණා. මාමගේ කකුලක කොටසක් විතරක් හොයා ගන්න ලැබුණා කියලා බේරුණ දරුවා කිව්වා. ඒ වගේ ජීවිතයක් තමයි අපට ගෙවන්න වෙලා තියෙන්නේ," ඇය පැවසුවා ය.
ඔවුන් රැඳී සිටි එම විශ්වවිද්‍යාලයට ඊශ්‍රායල හමුදාව ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් පවතින බවට ලද තොරතුරක් මත ඉන් ඉවත්වන ලෙසට දැනුම් දුන් බවත්, ඒ අනුව වර්තමානයේ ජීවත් වෙන කඳවුරට පැමිණි බවත් ෆාතිමා රිකාසා පැවසුවා ය.
"දැන් දවස් කිහිපයකට කලින් රෑ දැනුම් දුන්නා අපි ඉන්න යුනිවර්සිටි එකට බෝම්බ දාන්න යන්නේ කියලා. රෑ යන්න තැනක් නැති නිසා එළිවුන ගමන් මේ දැන් ඉන්න ඉස්කෝලෙට ආවා ළමයි ටිකත් අරන්," ඇය ඇගේ පවුලේ සාමාජිකයින් දිනෙන් දින මුහුණ දෙන කටුක අත්දැකීම් එලෙස විස්තර කළා ය.
ගාසා තිරයේ පිහිටි බැංකු සේවා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ජනතාව තවත් අසීරු තත්ත්වයකට මුහුණ පා සිටින බව ද ඇය මෙහිදී කියා සිටියා ය.