අපි බත් කෑම නතර කළ යුතු ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ආහාර දාම වැඩසටහන
- Role, බීබීසී ලෝක සේවය
බත් යනු ආහාරයට වඩා වැඩි යමකි. ලොවෙන් අඩකට වඩා වැඩි පිරිසකට එය එදිනෙදා ජීවිතයේ ප්‍රධාන ආහාරයක් මෙන් ම සංස්කෘතියේ, සම්ප්‍රදායේ සහ ආර්ථික පැවැත්මේ සංකේතයක් වේ.
"හැම පිලිපීන ආහාර වේලක ම බත් කියන්නේ හද ගැස්ම. ඒක අපේ ප්‍රධාන ආහාරයට වඩා වැඩි යමක්, සංස්කෘතියේ මුල් ගලක්," පිලිපීනයේ අගනුවර වන මැනිලා හී බීබීසී ලෝක සේවයේ ශ්‍රාවකයෙකු වන ඇඩ්‍රීන් බියන්කා විලන්නුවේවා පවසයි.
"බොහෝ පිලිපීන ජාතිකයන් දිනකට තුන් වරක් බත් කනවා. උදේ ආහාරය, දිවා ආහාරය සහ රාත්‍රී ආහාරයට. සමහර වෙලාවට අතුරුපසට පවා. මගේ ප්‍රියතම බත් වෙන්නේ 'sticky rice', මොකද හැම පිලිපීන අතුරුපසක ම, 'sticky rice' තියෙනවා," ඇය පවසයි.
නමුත් වර්ධනය වන දේශගුණික ගැටලු සමග, විශාල ප්‍රශ්නයක් පැන නගී: එසේ නම් අපි අඩුවෙන් බත් පරිභෝජනය කළ යුතු ද ?
ලොව පුරා ජනයා අනුභව කරන ප්‍රධාන ආහාරය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට අනුව, ආහාරයට ගත හැකි ශාක විශේෂ 50,000 කට වඩා ඇත ත්, ලෝකයේ ආහාර පරිභෝජනයෙන් 90% ක් සපයන්නේ බෝග 15 ක් පමණි. සහල්, තිරිඟු සහ බඩ ඉරිඟු එහි ප්‍රමුඛ දායකයින් වේ.
"ලෝක ජනතාවගෙන් 50% - 56% ත් අතර ප්‍රමාණයක් තම ප්‍රධාන ආහාරය ලෙස සහල් මත යැපෙනවා," ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ ආචාර්ය අයිවන් පින්ටෝ පවසයි. එනම් බිලියන හතරකට ආසන්න පිරිසක් දිනපතා බත් අනුභව කරති.
දකුණු සහ අග්නිදිග ආසියාව පුරා සහල් බහුලව වගා කරන අතර, අප්‍රිකාවේ වැඩි වන ඉල්ලුමක් තිබෙන අතර යුරෝපයේ සහ ලතින් ඇමරිකාවේ ප්‍රභේද ද ඒ අතර පවතී. නමුත් ගෝලීය ආහාර වේල් තුළ සහල් ආධිපත්‍යය දරන අතර ඒ සදහා අපට ගෙවීමට සිදුවන පිරිවැය විශාල ය.
ජලය විශාල වශයෙන් වැයවන භෝගයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"සහල් වලට ගොඩක් වතුර අවශ්‍යයි," එක්සත් රාජධානියේ සහල් සමාගමක් වන ටිල්ඩා හි ප්‍රධානී ජීන්-පිලිප් ලැබෝර්ඩ් පවසයි.
"සහල් කිලෝවක් පමණක් වගා කිරීමට ජලය ලීටර් 3,000 ත් 5,000 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා, ඒක ඉතා අධික ප්‍රමාණයක්."
සහල් නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් සිදු කරනු ලබන්නේ විශේෂයෙන් දකුණු සහ අග්නිදිග ආසියාවේ ජලයෙන් යට වූ කෙත්වල ය. මෙම ක්‍රමය බෝගයට සහාය වන නමුත් අඩු ඔක්සිජන් සහිත පරිසරයක් නිර්මාණය කරන අතර එය "නිර්වායු තත්ත්වය" ලෙස හැඳින්වේ.
"ජල ගැලීම් වලින් යට වූ කෙත් ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වීමට හේතු වන අතර ඒවායෙන් මීතේන් වායුව විශාල වශයෙන් නිපදවෙනවා," ආචාර්ය අයිවන් පින්ටෝ පවසයි.
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියට අනුව, මීතේන් යනු ගෝලීය උණුසුමෙන් 30% ක් පමණ ඇති කරන ප්‍රබල හරිතාගාර වායුවකි.
ලොව පුරා කෘෂිකාර්මික හරිතාගාර වායු විමෝචනයෙන් 10% ක් සහල් නිෂ්පාදනය විසින් සිදු කරනු ලබන බව IRRI ඇස්තමේන්තු කරයි.
වඩාත් පරිසර හිතකාමී ක්‍රම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ටිල්ඩා 'විකල්ප තෙත් කිරීම සහ වියළීම' (AWD) ලෙස හඳුන්වන ජල සුරැකීමේ ක්‍රමයක් පරීක්ෂා කරමින් සිටී. ගොවීන් සෑම විට ම කෙත්වලට ජලය ගලා යාම වෙනුවට, අදාළ නළය වියළී ගිය විට පමණක් ජලය එකතු කරයි.
"සාමාන්‍යයෙන් වර්ධන කාලය තුළ චක්‍ර 25ක් තිබෙනවා. AWD තාක්ෂණය යෙදීමෙන්, ඔබට එය 20 දක්වා අඩු කළ හැකිය. එබැවින්, [ගංවතුර] චක්‍ර පහක් කපා හැරීමෙන්, ඔබට මීතේන් විමෝචනය අවම කර ගත හැකියි." ලැබෝර්ඩ් පවසයි.
2024 දී, ටිල්ඩා සිය අත්හදා බැලීම ගොවීන් 50 සිට 1,268ක් දක්වා ව්‍යාප්ත කර තිබිණි. ප්‍රතිඵල යහපත් විය.
"අපට ජලය [භාවිතය] 27% කින්, විදුලිය 28% කින් සහ පොහොර 25% කින් අඩු කළ හැකි වුණා. මේ අතර අස්වැන්න 7% කින් වැඩි වූ බව ලැබෝර්ඩ් පෙන්වා දෙයි.
"ඉතින්, ඒක වැඩි පිරිවැයක් එක්ක ආදායම වැඩි කිරීම විතරක් නෙවේ, ඒක අඩු පිරිවැයක් එක්ක ආදායම වැඩි කිරීමක්," ඔහු පවසයි.
මීතේන් විමෝචනය ද 45% කින් පහත වැටී ඇති බව ලැබෝර්ඩ් අවධාරණය කරන අතර ජල ගැලීම් චක්‍ර තවදුරටත් අඩු කළහොත් මෙය 70% කින් පමණ අඩු විය හැකි බව ලැබෝර්ඩ් විශ්වාස කරයි.
දේශගුණික ආතතිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බිලියන ගණනක් ජනතාව පෝෂණය කිරීමට සහල් උපකාරී වී තිබේ.ඒ විශේෂයෙන් හරිත විප්ලවයේ IR8 වැනි ඉහළ අස්වැන්නක් සහිත ප්‍රභේද හරහාය. දේශගුණික විපර්යාස දැන් එහි නිෂ්පාදනයට තර්ජනයක් වී ඇත. ඒ සහල් වගා කරන ප්‍රදේශ දැඩි තාපය, නියඟය, අධික වර්ෂාපතනය හෝ ජල ගැලීම් අත්විඳින බැවිනි.
ඉන්දියාවේ, 2024 දී සහල් වගා කරන සමය තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 53 දක්වා ළඟා විය. බංගලිදේශයේ, නිරන්තරයෙන් තීව්‍ර වෙමින් පවතින ජල ගැලීම් තත්ත්වයන් හේතුවෙන් වගාවන්ට හානි සිදුවේ.
විසඳුම් සෙවීම සඳහා IRRI ආයතනය සහල් වර්ග 132,000 කින් සමන්විත එහි දැවැන්ත ජාන බැංකුව වෙත යොමු වෙමින් සිටියි. එහි එක් ප්‍රධාන ඉදිරි ගමනක් වන්නේ ගොයම් ගස් දින 21 ක් දක්වා ජලය තුළ ජීවත් වීමට ඉඩ සලසන ජානයක් නිපද වීමයි.
"මෙම සහල් වර්ග ගංවතුර තත්ත්ව යටතේ අස්වැන්නට බලපෑමක් නොකර ගංවතුර අඩු වන තෙක් දිගු කාලයක් පැවතිය හැකිය," යනුවෙන් පින්ටෝ පවසන අතර, බංග්ලාදේශයේ ගංවතුරට ගොදුරු වන ප්‍රදේශවල ඒවා වැඩි වැඩියෙන් ජනප්‍රිය වෙමින් පවතින බව ද හෙතෙම පැවසීය.
ප්‍රධාන ආහාර වලට විකල්ප

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇතැම් රජයන් මිනිසුන් අඩුවෙන් බත් අනුභව කිරීමට පෙළඹවීමට උත්සාහ කර ඇත.
බංග්ලාදේශයේ, වසර 15 කට පෙර සහල් මිල ඉහළ ගිය විට සහල් වෙනුවට අර්තාපල් ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරයක් පැවැත්විණි.
"අපි අර්තාපල් වලට කැමතියි... නමුත් බත් නැතිව සම්පූර්ණ ආහාර වේලක් ගැන හිතන්න බැහැ," ඩකාහි ෂරීෆ් ෂබීර් පවසයි.
2015 දී චීනය ද අර්තාපල් සෞඛ්‍ය සම්පන්න සුපිරි ආහාරයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කර තිබිණි.
1990 ගණන්වලදී චීනය ප්‍රමුඛ අර්තාපල් නිෂ්පාදකයෙකු බවට පත් වූ අතර, බොහෝ දෙනෙකු ප්‍රධාන ආහාරයක් ලෙස අර්තාපල් අනුභව කළහ. නමුත් එම ව්‍යාපාරය අසාර්ථක විය.
"නිරිතදිග සහ වයඹදිග චීනයේ, මිනිසුන් ඇතැම් විට ප්‍රධාන ආහාරයක් ලෙස අර්තාපල් අනුභව කරනවා," SOAS විශ්ව විද්‍යාලයේ ජාකොබ් ක්ලයින් පවසයි.
නමුත්, ඔහු පවසන්නේ, බොහෝ ප්‍රදේශවල අර්තාපල් දරිද්‍රතාවය සමඟ සම්බන්ධ වී ඇති බව යි.
"චීනයේ නිරිතදිග ජනතාව මට කියන්නේ ඔවුන් අර්තාපල් කමින් හැදී වැඩුණා කියලයි. ඒක 'මම දරිද්‍රතාවයේ මැද හැදී වැඩුණා' යැයි කීමේ ක්‍රමයක්. අර්තාපල් කෑම හා සම්බන්ධ වුණු අපකීර්තියක් තියෙනවා," ඔහු පවසයි.
දුෂ්කර තේරීමක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සහල් ලොව පුරා ජීවිතයේ වැදගත් අංගයකි. එය හොඳ රසයක් ඇති අතර පිසීමට, ගබඩා කිරීමට සහ රැගෙන යාමට පහසුය.
ලොව පුරා වාර්ෂිකව සහල් ටොන් මිලියන 520 ක් පමණ පරිභෝජනය කරන බව ගණන් බලා තිබේ.
පිලිපීනයේ ඒඩ්‍රියන් බියන්කා විලන්නුවේවා පවසන්නේ ඇයට බත් අඩුවෙන් අනුභව කළ හැකි නමුත් සම්පූර්ණයෙන්ම නතර කිරීම දුෂ්කර බවයි.
"මට බත් කන්න ඕන නැති වුණ ත්, මම පාටියකට ගියත්, වෙන ගෙදරකට ගියත්, එයාල හැමවෙලේම බත් දෙනවා," ඇය පවසයි.
"මම හිතන්නේ මම බත් අඩුවෙන් කනවා, නමුත් සම්පූර්ණයෙන්ම නවත්තන්නේ නැහැ, මොකද ඒක අපේ දෛනික ජීවිතයේ කොටසක්."














