සහල් ගැන විහිළුවට කී කතාවක් නිසා ජපානයේ කැබිනට් අමාත්‍යවරයෙකුට ධූරය අහිමි වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
- Author, මරිකෝ ඔයි
- Role, Business reporter ව්‍යාපාරික පුවත් වාර්තාකරු
තම ආධාරකරුවන් තෑගි වශයෙන් "ඕනෑ තරම්" සහල් ලබා දෙන නිසා තමාට කිසි විටෙකත් සහල් මිල දී ගැනීමට සිදු නොවූ බව ජපානයේ කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අසා සිටින්නන් එය විහිළුවක් ලෙස සලකා සිනාසෙනු ඇතැයි සිතූ හෙයිනි.
තකු එතෝගේ එම ප්‍රකාශයෙන් ජනතාව කෝපයට පත්වූ අතර, ඔහුට ඒ හේතුවෙන් ඉල්ලා අස්වීමට බල කිරීමට තරම් එය බරපතළ විය.
ජපානය වසර ගණනාවකට පසු පළමු වරට ජීවන වියදම් අර්බුදයට මුහුණ දී සිටින අතර සහල් සඳහා එය දැඩි ලෙස බලපා ඇත. වසරක් තුළදී සහල් මිල දෙගුණයකටත් වඩා වැඩි වී ඇති අතර ආනයනික සහල් පවා සොයා ගැනීම දුෂ්කර වී තිබේ.
ඉරිදා පැවති ප්‍රාදේශීය අරමුදල් රැස්කිරීමේ උත්සවයකදී සිදු කළ සිය අදහස් දැක්වීමේදී "ප්‍රමාණය ඉක්මවා" කටයුතු කළ බව පවසමින් තකු එතෝ සමාව අයැද සිටියේ ය. පසුව විරුද්ධ පක්ෂ ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බවට තර්ජනය කිරීමෙන් පසු ඔහු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.
ඔහුගේ ඉවත් වීම, දැනටමත් මහජන සහයෝගය අහිමි වෙමින් පවතින අගමැති ෂිගේරු ඉෂිබාගේ දුර්වල රජයට තවත් ගැටලුවකි.
සහල් යනු ජපානයේ සංවේදී කාරණයක් වන අතර අතීතයේදී ඇති වූ සහල් හිඟ තත්ත්වයන් දේශපාලනික වශයෙන් කැළඹීම් ඇති කර තිබේ. සහල් මිල ඉහළ යාම නිසා ඇති වූ මහජන කැරලි, 1918දී රජයක් පෙරළීමට හේතු විය.
සහල් මිල ඉහළ යාම ඉෂිබාගේ රජය තවත් දුර්වල කිරීමට හේතුවීම පුදුමයක් නොවේ.
"දේශපාලනඥයන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගන්න සුපිරි වෙළඳ සංකීර්ණවලට නොයන නිසා ඔවුන්ට ඒක තේරෙන්නේ නැහැ," යොකොහාමාහි සිටින 31 හැවිරිදි මෙමෝරි හිගුචි බීබීසීයට පැවසීය.
පළමු වරට මව් පදවිය ලැබූ හිගුචි මාස හතක දරුවෙකුගේ මවකි. ප්‍රසූතයෙන් පසු යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාම සඳහා පෝෂණීය ආහාර ලබා ගැනීම ඇයට ඉතා වැදගත් වී ඇති අතර, ඇගේ දියණිය ඉක්මනින් ඝන ආහාර අනුභව කිරීමට ආරම්භ කරනු ඇත.
"මට ඕනෙ එයාට හොඳට කන්න දෙන්න, ඒ නිසා මිල දිගට ම ඉහළ ගියොත්, මට යි මගේ මහත්තයට යි කන බත් ප්‍රමාණය අඩු කරන්න වෙයි."
වැරදි ගණනය කිරීමකින් වූ වරදක් ද?
ඉබරාකි විශ්වවිද්‍යාලයේ කෘෂිකාර්මික ආර්ථික විද්‍යාඥ කුනියෝ නිෂිකාවා පවසන පරිදි, එය සැපයුම සහ ඉල්ලුම පිළිබඳ සරල ගැටලුවකි.
නමුත් ඔහු විශ්වාස කරන්නේ, එය රජයේ වැරදි ගණනය කිරීමක් නිසා ඇති වූවක් බව ය.
1995 වන තෙක් රජය කෘෂිකාර්මික සමුපකාර සමග සමීපව කටයුතු කරමින් ගොවීන් විසින් නිෂ්පාදනය කරන ලද සහල් ප්‍රමාණය කළමනාකරණය කෙරිණි. පසුගිය වසරේදී එම නීතිය අහෝසි කරන ලද නමුත් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලුම් ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කිරීම දිගට ම කරගෙන යන බැවින් ගොවීන්ට සහල් අතිරික්තයක් නිෂ්පාදනය වීම වළක්වා ගත හැකි විය.
නමුත්, ඔවුන් 2023 සහ 2024 දී එය වැරදි ලෙස වටහා ගත් බව මහාචාර්ය නිෂිකාවා පවසයි. ඉල්ලුම ටොන් මිලියන 6.8ක් ලෙස ඔවුන් ඇස්තමේන්තු කළ අතර, සැබෑ ඉල්ලුම ටොන් මිලියන 7.05ක් බව ඔහු තවදුරටත් පවසයි.
වසංගතයෙන් පසු ජපානයට පැමිණෙන සංචාරකයින් වැඩි වීම සහ එළිමහනේ ආහාර ගන්නා පුද්ගලයින් වැඩිවීම හේතුවෙන් සහල් සඳහා ඉල්ලුම ඉහළ යාමක් සිදුවිය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නමුත් සැබෑ නිෂ්පාදනය ඇස්තමේන්තු ප්‍රමාණයට වඩා අඩු වූ බවත් එය ටොන් මිලියන 6.61ක් බවත් මහාචාර්ය නිෂිකාවා පවසයි.
"සහල් සඳහා ඇති ඉල්ලුම ඉහළ ගිය බව සත්‍යයක්. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. ඒ අතර අනෙකුත් ආහාර ද්‍රව්‍ය හා සසඳන විට සහල් සාපේක්ෂව දැරිය හැකි මිලකට ලබා ගත හැකි වීම සහ විදේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ යාම ඇතුළත්" යැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් බීබීසීයට පැවසීය.
"අසාමාන්‍ය විදිහට ඉහළ උෂ්ණත්වයක් තිබුණ නිසා හාල් ගුණාත්මකභාවය අඩු වුණා. ඒ නිසා හාල් නිෂ්පාදනය අඩු වුණා."
වී වගා කිරීමෙන් තවදුරටත් ලාභ ඉපයිය නොහැක
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
වී ගොවීන්ට වසර ගණනාවක් තිස්සේ ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට නොහැකි වී ඇතැයි පරම්පරා ගණනාවක් තිස්සේ ගොවිතැනේ නියැලී සිටින පවුලක සාමාජිකයෙකු වන 59 හැවිරිදි කොසුකේ කසහාරා පවසයි.
සහල් කිලෝග්‍රෑම් 60ක් වගා කිරීමට යෙන් 18,500ක් (ඩොලර් 125.70 ; පවුම් 94.60)ක් පමණ වැය වන බව ඔහු පෙන්වා දෙයි. නමුත් පසුගිය වසරේ නීගාටාහි දේශීය සමුපකාරය සහල් කිලෝවක් යෙන් 19,000කට මිල දී ගැනීමට ඉදිරිපත් විය.
"වසර තුනකට හෝ හතරකට කලින්, අඩුවෙන් වී වගා කිරීමට එකඟ වුණොත් රජය නගර සභාවලට මුදල් ගෙවීමට එකඟ වී හිටියා," ඔහු තවදුරටත් පවසයි.
සහල් වෙනුවට තිරිඟු හෝ සෝයා බෝංචි නිෂ්පාදනය කිරීමට තෝරා ගන්නා අයට රජය සහනාධාර ලබා දී ඇති බව අමාත්‍යාංශ ප්‍රකාශකයා තහවුරු කරයි.
මේ අතර, ජපානයේ සහල් සඳහා ඇති ඉල්ලුම පසුගිය වසර වන තෙක් පහත වැටෙමින් පැවති බැවින්, තරුණ ගොවීන් සකේ, රයිස් ක්‍රැකර්ස් හෝ පශු සම්පත් සඳහා භාවිත කරන විවිධ සහල් වර්ග නිෂ්පාදනය කිරීමට තෝරාගෙන ඇත.
"අවුරුදු ගාණක් තිස්සෙ මගෙන් අඩු මිලට හාල් ගන්න උත්සහ කරපු සිල්ලර වෙළෙන්දොයි, හෝටල් හිමියොයි එක්ක වැඩ කරල මට කලකිරුණා," ෂින්යා තබුචි පවසයි.
කෙසේ වෙතත්, මේ වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් වී ඇති අතර, වර්තමානයේ සහල් කිලෝග්‍රෑම් 60ක් යෙන් 40,000 සිට 50,000 දක්වා මිලකට අලෙවි වෙයි.
ඉහළ මිල ගණන් පැවතීම ගැනුම්කරුවන්ට නරක පුවතක් වුව ද, ජීවන අරගලයක නිරත වී සිටින ගොවීන්ට මුදල් උපයා ගැනීමට එය මහඟු අවස්ථාවකි.
නමුත් මිල ඉහළ යාමත් සමග මහ ජනතාව කෝපයට පත්වූ විට, මිල පහත හෙළීමට උත්සහ කිරීම සඳහා රජය මාර්තු මාසයේදී සිය හදිසි සහල් සංචිතවලින් යම් ප්‍රමාණයක් වෙන්දේසි කිරීමට කටයුතු කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බොහෝ රටවල් සුවිශේෂී තත්ත්වයන්ට මුහුණ දීම සඳහා බොරතෙල් හෝ ස්වාභාවික ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ තොග උපාය මාර්ගික සංචිත ලෙස පවත්වාගෙන යයි. ආසියාවේ, බොහෝ රජයයන් සතුව සහල් තොග ද ඇත.
මෑත වසරවලදී, ස්වාභාවික විපත් හේතුවෙන් ජපානයේ සහල් තොග මුදා හැරීමට සිදු විය.
"රජය කිව්වේ 'මිල අඩු කරන්න හදිසි සහල් තොග පාවිච්චි කරන්නෙ නෑ කියලා, ඒ නිසා අපට දැනුණා පොරොන්දු කඩ කළා කියන හැඟීමක්," ටබුචි පවසයි.
සහල් නිකුත් කිරීමට රජය තීරණය කර තිබියදී ද, මිල ගණන් අඛණ්ඩව ඉහළ ගොස් තිබේ.
මිල ඉහළ යාම පාලනය කිරීම
ගෝලීය සහල් නිෂ්පාදනයෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් හිමි අග්නිදිග ආසියාවේ ද සහල් මිල ඉහළ යමින් පවතී. ආර්ථික, දේශපාලනික සහ දේශගුණික බලපෑම් හේතුවෙන් මෑත වසරවලදී සහල් හිඟයක් ඇති වී තිබේ.
ජපානයේ මෙම ගැටලුව කෙතරම් බරපතළ වී තිබේ ද යත්, පාරිභෝගිකයින් දේශීයව වගා කරන ලද ප්‍රභේදවලට වැඩි කැමැත්තක් දැක්වුව ද, වසර 25කට පසු පළමු වතාවට දකුණු කොරියාවෙන් සහල් ආනයනය කිරීම ආරම්භ කර තිබේ.
තම රජය වොෂින්ටනය සමග වෙළෙඳ ගිවිසුමක් සඳහා සාකච්ඡා කරමින් සිටින අතර, ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහල් ආනයනය පුළුල් කිරීම පිළිබඳව ද අගමැති ඉෂිබා ඉඟි කර තිබේ.
නමුත් හිගුචි වැනි පාරිභෝගිකයින් පවසන්නේ, ඔවුන් ජපන් නොවන සහල් මිල දී ගැනීමට අකමැති බව ය.
''අපි කාලයක් තිස්සේ දේශීය ආහාර වගා කිරීම සහ ආහාරයට ගැනීම ගැන කතා කළා. ගොවීන්ට මුදල් ඉපයීමට සහ මිනිසුන්ට ආරක්ෂිත, දේශීය ආහාර ලබා ගැනීමට ක්‍රමයක් තිබිය යුතු යි," ඇය පැවසුවා ය.

ඡායාරූප මූලාශ්‍රය, Memori Higuchi
මෙය ගොවීන් අතර මතභේදයට තුඩු දී තිබේ.
"කර්මාන්තය වයසට යමින් හැකිළෙමින් පවතින බව ඔබට ඇහෙන්න පුළුවන්, නමුත් ඒක ඇත්ත නෙවෙයි," රජය සහල් වගා අංශය අනවශ්‍ය ලෙස ආරක්ෂා කර ඇති බව විශ්වාස කරන ටබුචි පවසයි.
"වැඩිහිටි ගොවීන්ට විශ්‍රාම වැටුප් සහ වත්කම් තියෙන නිසා හාල් අඩු මිලට අලෙවි කරන්න පුළුවන්, ඒත් තරුණ ගොවීන් මුදල් උපයා ගන්න ඕනෙ. ගොවීන් හැමෝට ම සහන දීලා වෙළෙඳපොළ අවුල් කරනවා වෙනුවට, රජය ලාභ නොලබන අයට ගොවිතැන නතර කරන්න ඉඩ දිය යුතු යි."
කසහාරා ඊට එකඟ නොවේ: "අපේ වගේ ග්‍රාමීය ප්‍රදේශවල ගොවිතැන් කරනවා කියන්නේ ප්‍රජාවක කොටසක් බවට පත් වීමක්. අපි ඒ ගොවීන්ට අසාර්ථක වෙන්න ඉඩ ඇරියොත්, අපි ඉන්න ප්‍රදේශ විනාශ වේවි."
සහල් කිලෝග්‍රෑම් 60කට යෙන් 32,000 සිට 36,000 දක්වා සහතික මිලක් රජය නියම කළ යුතු බවට ඔහු තර්ක කරයි. එය අද මිලට වඩා අඩු නමුත් තවමත් ගොවීන්ට ලාභ ඉපයීමට ඉඩ සලසයි.
එතෝට සිදුවූ දේ සැලකිල්ලට ගත් විට, එය දේශපාලනඥයන්ට ද සංවේදී මාතෘකාවකි.
මේ ගිම්හානයේදී ප්‍රධාන ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිත ය. ඒ හේතුවෙන් පාරිභෝගිකයින් සහ ගොවීන් යන දෙපාර්ශවය ම, විශේෂයෙන් වැඩිහිටි ඡන්දදායකයින් සතුටින් තබා ගැනීම ඉතා වැදගත් ය.














