ඉන්දියාවේ තිරිඟු අපනයන තහනම ලෝකයට බලපාන්නේ කොහොමද?

Indian farmer holding wheat near Delhi

ඡායාරූප මූලාශ්‍රය, EPA

යුක්රේන යුද්ධය හේතුවෙන් අනතුරට ලක්ව ඇති ගෝලීය ආහාර සැපයුම තවත් නරක අතට හැරවීමට හැකි බවට විවේචන එල්ල වී තිබියදී තිරිඟු අපනයනය තහනම් කිරීමට තීරණය කළ ඉන්දියාව, දැන් එම තීරණය සාධාරණීකරණය කර තිබේ.

"හැමෝම අපනයන සීමා පැනවීමට පටන්ගත්තොත්... අර්බුදය තවත් නරක අතට හැරේවි," මෙම තහනම ප්‍රකාශයට පත් කිරීමත් සමග ජර්මානු ආහාර හා කෘෂිකර්ම අමාත්‍ය සෙම් ඔස්ඩෙමීර් මැයි මාසයේ දී පැවසීය.

නමුත් ඉන්දියාවේ වාණිජ අමාත්‍ය පියුෂ් ගෝයල් පවසන්නේ ඉන්දියාව ප්‍රධාන තිරිඟු අපනයනකරුවෙකු නොවන බැවින් අපනයන තහනම ගෝලීය වෙළඳපොළට බලනොපාන බව යි.

එසේ නම් ඉන්දියාවේ මෙම පියවරේ බලපෑම කුමක්ද?

ගෝලීය තිරිඟු මිල ඉහළ යාම

ඉන්දියාව මෙම තහනම ප්‍රකාශයට පත් කරන ලද්දේ මැයි 13 වන දින යි. එරටට බලපෑ අසාමාන්‍ය ලෙස උණුසුම් කාලගුණය තිරිඟු වගාවට බලපෑම හේතුවෙන් දේශීය තිරිඟු මිල ඉහළ යාමත් සමග මෙම තීරණය ගනු ලැබුණි.

ඉන්දියාව ප්‍රධාන තිරිඟු අපනයනකරුවෙකු නොවුණ ද, මෙම පියවරත් සමග චිකාගෝ තිරිඟු දර්ශකය 6% කින් පමණ ඉහළ යෑමෙන් ගෝලීය වෙළඳපොළ නොසන්සුන් විය.

ප්‍රධාන තිරිඟු වර්ග කිහිපයක මිල දින කිහිපයක් තිස්සේ ඉහළ ගිය අතර එය මැයි 17 සිට 18 දක්වා උපරිම අගයට ළඟා විය.

Chart on rise in wheat prices

යුක්රේනය රුසියානු ආක්‍රමණයෙන් පසු මාර්තු සහ අප්‍රේල් මාසය පුරා අනෙකුත් ආහාර ද්‍රව්‍යවල මිල මෙන්ම තිරිඟු මිල ද ඉහළ ගොස් තිබුණි.

යුද්ධය නිසා, ලොව විශාලතම තිරිඟු අපනයනකරුවෙකු වන යුක්රේනයෙන් තිරිඟු ටොන් මිලියන ගණනකට පිටවීමට නොහැකි විය.

කෘෂිකාර්මික දත්ත පර්යේෂණ කණ්ඩායමක් වන Gro Intelligenceහි කෙලී ගෝගරි පැහැදිලි කරන්නේ, "කළු මුහුදු කලාපයෙන් පැමිණෙන අපනයන පහත වැටීමෙන් පසු ගෝලීය ගැනුම්කරුවන් ඉන්දියාවෙන් ලැබෙන සැපයුම් මත යැපුණු" නිසා ඉන්දියාවේ තහනම තවදුරටත් මිල ඉහළ යාමට හේතු වූ බව යි.

ඉන්දියාවේ තහනමෙන් පීඩාවට පත්වන්නේ කවුද?

ඉන්දියාව ලොව දෙවන විශාලතම තිරිඟු නිෂ්පාදකයා වන නමුත්, ගෝලීය තිරිඟු වෙළඳාමට හවුල් වන්නේ 1%කටත් වඩා අඩු අගයකිනි. දුප්පතුන්ට සහනාධාර ආහාර සැපයීම සඳහා ඉන්දියාව සිය තිරිඟු අස්වැන්නෙන් වැඩි ප්‍රමාණයක් රට තුළ රඳවා තබාගනියි.

නමුත් පසුගිය වසරේ තිරිඟු ටොන් මිලියන දෙකක් අපනයනය කළ ඉන්දියාව, තහනම ප්‍රකාශයට පත් කිරීමට පෙර, මේ වසරේ වාර්තාගත ලෙස තිරිඟු ටොන් මිලියන 10ක් අපනයන කිරීමට ඉලක්ක කර සිටියේ ය.

ඉන්දියාව, ආසියාවේ සහ අප්‍රිකාවේ නව වෙළඳපොළවල් වෙත සැපයුම් ලබාදීමට එකඟව සිටි අතර, තහනමෙන් පසු පවා, අපනයන ලබාගැනීමට තමා ඉන්දියාව සමග සම්බන්ධ වී සිටින බව රටවල් කිහිපයක් ප්‍රකාශ කළේ ය.

India is the second largest producer of wheat globally ඉන්දියාව තිරිඟු අපනයනය ඉහළ නැංවීමට උත්සාහ කළේය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාව සිය තිරිඟු අපනයනය ඉහළ නැංවීමට උත්සාහ දරමින් සිටියේ ය

ඇතැම් රටවලට දිගටම සිය තිරිඟු අපනයන ලැබෙනු ඇති බවත්, "අසල්වැසියන්ට උදව් අවශ්‍ය අවස්ථාවේ දිගටම උපකාර කරන" බවත් ඉන්දියාව පවසයි.

ඉන්දියාවේ ඉහළම අපනයන වෙළඳපොළවල් වන්නේ බංග්ලාදේශය, නේපාලය, ශ්‍රී ලංකාව, සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) යි.

2019-20 සමයේ දී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තම තිරිඟු අවශ්‍යතාවයෙන් 50%කට වඩා සපුරාගෙන ඇත්තේ ඉන්දියාවෙන් බව ආර්ථික සංකීර්ණතා නිරීක්ෂණාගාරය (OEC) දක්වයි. නේපාලයේ එම අගය 90%කි.

පවතින කොන්ත්‍රාත්තු යටතේ මෙම රටවල් තවමත් ඉන්දියානු තිරිඟු ලබාගනු ඇත්ද, නැතහොත් අනාගත ගනුදෙනු යටතේ සැපයුම් ලබාගනියි ද යන්න තවමත් පැහැදිලි නැත.

කෙසේ වෙතත්, ඊජිප්තුව පවසන්නේ ඉන්දීය තිරිඟු මිලදී ගැනීම් අඛණ්ඩව සිදුවන බවයි. ඊජිප්තුව ගෝලීය වශයෙන් විශාලතම තිරිඟු ආනයනය කරන රටවල්වලින් එකකි.

යුක්රේන යුද්ධයෙන් වඩාත් පීඩාවට පත් වූ රටවල දැනට පවතින තිරිඟු සැපයුම් අර්බුදය සමනය කිරීම සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉන්දියාවට ඉටුකළ හැකි බව පවසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අපනයන තහනම නැවත සලකා බලන ලෙස එරටින් ඉල්ලා තිබේ.

අයහපත් කාලගුණය සහ පොහොර මිල

තිරිඟු අපනයනය කරන ඇතැම් ප්‍රධාන රටවලට යුක්රේනයේ යුද්ධයට අමතරව කාලගුණය ද බලපා ඇත.

"නියඟය, ගංවතුර සහ දැඩි හිරු රශ්මිය අනෙකුත් ප්‍රධාන නිෂ්පාදකයන්ගේ [එක්සත් ජනපදය, කැනඩාව සහ ප්‍රංශයේ] බෝගවලට තර්ජනයක් වෙලා," Gro Intelligenceහි කෙලී ගෝගරි පවසයි.

A farmer harvests wheat in a field on May 17, 2022 in Kunshan, Jiangsu Province of China

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලොව විශාලතම තිරිඟු නිෂ්පාදකයා චීනය යි

ගෝලීය තිරිඟු නිෂ්පාදනය වසර හතරකින් වාර්තා කළ අඩුම අගය 2022-23 කාලපරිච්ඡේදය තුළ දී වාර්තා කරනු ඇති අතර, ගෝලීය තිරිඟු තොග වසර හයක් තුළ වාර්තා වූ අවම මට්ටමට වැටෙනු ඇතැ යි එක්සත් ජනපද රජයේ වාර්තාවක් පුරෝකථනය කර ඇත.

පසුගිය වසර පුරාවට ගෝලීය පොහොර මිල තුන් ගුණයකින් ඉහළගොස් ඇති අතර, එනිසා මේ වසරේ බෝග අස්වැන්නේ "සැලකිය යුතු" අඩුවීමක් සිදුවී ඇති බව ද Gro Intelligence පෙන්වා දෙයි.

සිය විශාල ජනගහනයට ආහාර සැපයීම සඳහා ලොව විශාලතම තිරිඟු නිෂ්පාදකයාව සිටින චීනය මාර්තු මාසයේ දී කියා සිටියේ 2021 දී ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් එහි ශීත සෘතුවේ අස්වැන්න "ඉතිහාසයේ නරකම" මට්ටමට පත් විය හැකි බවයි.

නමුත් අස්වැන්නේ සැබෑ ස්වභාවය පිළිබඳ තවමත් පවතින්නේ අවිනිශ්චිතතාවකි.

එය නරක අතට හැරුණහොත්, චීනයට තම ජනතාවට ආහාර සැපයීම සඳහා ගෝලීය වෙළඳපොළවලින් මිලදී ගැනීමට සිදුවී, ගෝලීය සැපයුම් ක්ෂීණ වී තවදුරටත් මිල ඉහළ යනු ඇත.

Reality Check branding