අප ගමන් කරමින් සිටින්නේ ආහාර මිල ගණන් වැඩි ම දශකයකට ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ලුවිස් බරූචෝ
- Role, බීබීසී ලෝක සේවය
බ්‍රසීලයේ, කැෆීන් ලෝලීන් කුඩු කළ "කෝපි රසැති පාන වර්ග" වෙත මාරු වෙමින් සිටින අතර, ඇමෙරිකානු අවන්හල් බිත්තර අඩංගු ආහාර සඳහා අමතර මුදලක් අය කරමින් සිටියි.
පසුගිය වසර කිහිපය තුළ ලොව පුරා ඔලිව් තෙල්වල සිට දොඩම් යුෂ දක්වාත්, කොකෝවා දක්වාත් ඇතැම් ආහාරවල මිල ගණන් ඉහළ ගොස් තිබේ.
2022දී රුසියාව යුක්‍රේනය පූර්ණ පරිමාණයෙන් ආක්‍රමණය කිරීමෙන් පසු සමස්තයක් ලෙස ආහාර මිල ගණන් වාර්තාගත ඉහළ ම අගයට ළඟා විය. දැන් තරමක් පහත වැටී ඇති නමුත් පසුගිය දශක හය තුළ පැවති මිල ගණන් දෙස බැලීමේදී ඒවා තවමත් ඉහළ මට්ටමක පවතී.
විශේෂඥයින් පවසන්නේ, මෙම තත්ත්වය ඉක්මනින් පහව නොයන සාධක නිසා ඇති වන දිගුකාලීන ප්‍රවණතාවක කොටසක් බව ය.
"ලාභ ආහාර යුගය අවසන්. ලෝකය මෙම නව යථාර්ථයට අනුවර්තනය විය යුතු යි," ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ (IFPRI) ජ්‍යෙෂ්ඨ පර්යේෂණ සාමාජිකයෙකු වන රොබ් වොස් පවසයි.
මිල ගණන් කොතරම් ඉහළ ද?
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ආහාර මිල දර්ශකය මගින් මනිනු ලබන පරිදි, 2022දී රුසියාව යුක්‍රේනනය පූර්ණ පරිමාණයෙන් ආක්‍රමණය කිරීමෙන් පසු ආහාර මිල ගණන් වාර්තාගත උපරිමයකට පැමිණියේ ය.
එය ආහාර නිෂ්පාදන කාණ්ඩ පහක් නිරීක්ෂණය කරයි: එළවළු තෙල්, ධාන්‍ය වර්ග, මස්, සීනි සහ කිරි නිෂ්පාදන, මෙන් ම එම පහ ඒකාබද්ධව නිරීක්ෂණය කරමින් ද සමස්ත අගයක් ලබා දෙයි.
ඔවුහු ආහාර නිෂ්පාදන කාණ්ඩ පහක් නිරීක්ෂණය කරති: එළවළු තෙල්, ධාන්‍ය වර්ග, මස්, සීනි සහ කිරි නිෂ්පාදන මෙන් ම මෙම ආහාර වර්ග පහ ඒකාබද්ධව නිරීක්ෂණය කර සමස්ත අගයක් ලබා දෙයි.
මෙම දර්ශකය ආහාර මිල ගණන් උද්ධමනය අනුව ගලපා ලබා දේ. 2022 මාර්තු මාසයේදී එය වාර්තාගත ඉහළ ම අගයන් කරා ළඟා විය. 2023දී පහත වැටුණ ද, පසුගිය වසර තුළ නැවතත් සෙමින් ඉහළ ගොස් තිබේ.
ජන විකාශනය සහ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු සහ බ්‍රසීලයේ ජාතික සංඛ්‍යාන විද්‍යා පාසලේ හිටපු මහාචාර්යවරයෙකු වන හොසේ යූස්ටාකියෝ ඩිනීස් පවසන්නේ, උද්ධමනය සමග ගැලපුම් කළ පසු පවා පසුගිය වසර 100 තුළ පැවති මිලට වඩා සාමාන්‍යයක් ලෙස ගත් කල මෙම දශකයේ ඉහළ ම ආහාර මිලක් වාර්තා වී ඇති බව ය.
ඔහු මෙම ප්‍රවණතාව ගෝලීය ආහාර සුරක්ෂිතතාවට "බරපතළ" අවදානමක් ලෙස දකී.
අවසන් වරට ආහාර මිල ගණන් වාර්තාගත ඉහළ ම අගයක් වාර්තා කළේ, ආහාර නිෂ්පාදනය සහ ප්‍රවාහනය ඇතුළු බහුවිධ කර්මාන්තවල පිරිවැය ඉහළ යාමට හේතු වූ 1973 තෙල් අර්බුදයෙන් පසු, 1974 සහ 1975දී ය.
යුද්ධය සහ පොහොර

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
යුක්‍රේනයේ ගැටුම ගෝලීය ආහාර වෙළෙඳපොළවල් අස්ථාවර කළේ ය. විශේෂයෙන් රුසියාව සහ යුක්‍රේනය තිරිඟු සහ සූරියකාන්ත තෙල් අපනයනය කරන ප්‍රධාන රටවල් වන අතර යුක්‍රේනය ඉරිඟු අපනයනය කරන ප්‍රධාන රටවල් වේ.
රුසියාව යුක්‍රේන වරායන් අවහිර කිරීමෙන් පසු 2022 මුල් භාගයේදී මිල ගණන් ඉහළ ගිය නමුත්, දෙපාර්ශවය අතර ඇති කර ගත් ගිවිසුමක් සහ පසුව නව නැව් මාර්ග වෙත යොමු වීම හේතුවෙන් යුක්‍රේනයට අපනයන නැවත ආරම්භ කිරීමට හැකි විය.
FAOහි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥවරියක වන මොනිකා ටොතෝවා පවසන්නේ, බලපෑම අවසානයේ ඇතැමුන් බිය වූ තරම් දරුණු නොවූ බව ය.
කෙසේ වෙතත්, දෙරට අතර ගැටුමට ගොවීන්ට ඇති තවත් කනස්සල්ලක් වන පොහොර මිල ද ඉලක්ක විය.
ස්වාභාවික වායුව පොහොර නිෂ්පාදනය සඳහා වන මූලික අමුද්‍රව්‍යයකි. පොහොර මිල ඒ වන විටත් ඉහළ මට්ටමක පැවති නමුත් 2022දී එය තවත් ඉහළ ගියේ යුක්‍රේන ගැටුම ගෑස් මිල ඉහළ යාමට හේතුවීමත් සමග ය. එය ආහාර මිල ඉහළ යාමට තවත් හේතු විය.
නිෂ්පාදනය, ආහාර සහ ඉල්ලුම
කෙසේ වෙතත්, දිගුකාලීන සාධක ද ක්‍රියාත්මක වේ.
"ආහාර සඳහා අඩු මිල ගණන් පැවති යුගය 1970 ගණන්වල ඉඳලා කෘෂිකාර්මික ඵලදායීතාවයේ සිදුවුණු විශාල වැඩිවීමක ප්‍රතිඵලයක්," ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ වොස් පවසයි.
මෙම කාල පරිච්ඡේදය තුළ "හරිත විප්ලවය" දක්නට ලැබිණි. එනම්, ඉහළ අස්වැන්නක් ලබා දෙන ශාක ප්‍රභේද සහ ඉහළ ඵලදායීතාවක් ඇති ගොවිතැන් ශිල්පීය ක්‍රම වෙත පුළුල් ලෙස මාරු වීම යි.
නමුත් ඵලදායිතාවයේ මෙම වර්ධනය දැන් මන්දගාමී වී ඇති අතර, ආහාර සඳහා ඇති ඉල්ලුම වැඩි වී ඇති බැවින්, මිල ගණන් සාමාන්‍යයෙන් ඉහළ ගොස් ඇති බව ඔහු පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජනගහනය වැඩි වෙමින් පවතින සහ ආහාර රටාවන් වෙනස් වෙමින් පවතින සංවර්ධනය වෙමින් පවතින රටවල ආහාර සඳහා පවතින ඉල්ලුම විශේෂයෙන් වර්ධනය වෙමින් පවතී.
"මිනිස්සු වැඩිපුර මස්, කිරි නිෂ්පාදන, පලතුරු සහ එළවළු පරිභෝජනය කරනවා," ඩිනීස් පවසයි. "ඒ වුණත්, මේ අංශවල ඵලදායීතාව ඉල්ලුමට සරිලන ලෙස නොපැවතීමත් එක්ක ආහාර මිල ඉහළ ගිහින් තියෙනවා."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දේශගුණික විපර්යාස
දේශගුණික විපර්යාස ද ඊට බලපෑමක් ඇති කරයි. ඉහළ යන උෂ්ණත්වය නිසා 2035 වන විට ආහාර උද්ධමනය වසරකට 3.2%කින් ඉහළ යා හැකි බව යුරෝපීය මහ බැංකුව සහ දේශගුණික බලපෑම් පර්යේෂණ සඳහා වූ පොට්ස්ඩෑම් ආයතනය පසුගිය වසරේ සිදු කළ ඒකාබද්ධ අධ්‍යයනයකින් නිගමනය කළේ ය.
2022 ලෝක බැංකු වාර්තාවකට අනුව, පසුගිය වසර 60 තුළ දේශගුණික විපර්යාස හේතුවෙන් කෘෂිකාර්මික ඵලදායීතාවයේ වර්ධනය මන්දගාමී වී තිබේ. දේශගුණික බලපෑම් ඵලදායීතාව ඉහළ නැංවීමේ අනාගත ප්‍රගතිය සියල්ල අඩපණ කළ හැකි "තීරණාත්මක මොහොතක්" ගැන ලෝක බැංකුව අනතුරු අඟවයි. එය "විනාශකාරී" විය හැකි බව ද ඔවුහු අනතුරු අඟවති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කාලගුණය මත යැපෙන බොහෝ කෘෂිකාර්මික නිෂ්පාදන "ඉතා අවිනිශ්චිත ව්‍යාපාරයක්" බව ටොතෝවා පවසයි.
ඔලිව් තෙල්, කෝපි සහ කොකෝවා වැනි ඇතැම් බෝග විශේෂයෙන් අවදානමට ලක්විය හැකි බව ඇය පැහැදිලි කරන්නේ, ඒවා බහු වාර්ෂික බෝගවලින් ලබා ගන්නා අතර ඒවා නිෂ්පාදනය රටවල් කිහිපයකට පමණක් සංකේන්ද්‍රණය වී ඇති බැවිනි.
උදාහරණයක් ලෙස, 2023 සහ 2024දී ඔලිව් තෙල් මිල ඉහළ ගියේ ය. ඒ, ස්පාඤ්ඤයට සහ අනෙකුත් ඔලිව් වගා කරන ප්‍රදේශවලට නියඟයක් ඇති කරමින් දකුණු යුරෝපයට දැඩි වියළි කාලගුණයක් ඇති වූ පසුව ය.
ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ්හි World Weather Attribution (WWA) කණ්ඩායමේ විද්‍යාඥයින් පවසන්නේ, මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාස නොතිබෙන්නට ඉහළ යන උෂ්ණත්වය "බොහෝ දුරට ගැටලුවක් නොවන්නට ඉඩ" තිබිණි.
කෝපි අස්වැන්නට ද අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී තිබේ. පෙබරවාරි මාසයේදී ජාත්‍යන්තර වෙළෙඳ භාණ්ඩ වෙළෙඳපොළේ අරාබිකා කෝපි මිල වාර්තාගත ඉහළ ම අගයන් දක්වා ඉහළ ගිය අතර, බ්‍රසීලයේ වසර දෙකක නියඟය ඊට හේතු විය. 2023 වසරේ අසාමාන්‍ය වියළි කාලගුණික තත්ත්වයන්ට ප්‍රධාන හේතුව දේශගුණික විපර්යාස බව WWA පර්යේෂකයෝ පැවසූහ.
පළිබෝධ සහ රෝග

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇමෙරිකා එක්සත් ජනපදයේ, කුරුලු උණ වසංගතයක් හේතුවෙන් කුකුලන් මිලියන ගණනක් මරා දැමිණි. එක්සත් ජනපද කම්කරු සංඛ්‍යා ලේඛන කාර්යාංශයට අනුව, 2021 සිට බිත්තර දුසිමක මිල තුන් ගුණයකට වඩා වැඩි වී ඇති අතර එය මාර්තු මාසයේදී ඩොලර් 6.23ක වාර්තාගත ඉහළ ම අගයකට ළඟා වී තිබිණි.
බිත්තර මිල ඉහළ යාම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ පූර්වගාමියා වූ ජෝ බයිඩ්න්ගේ ප්‍රතිපත්තිවලට දොස් පැවරූ අතර, මැතිවරණ ප්‍රචාරක කණ්ඩායම් සහ ඇතැම් ඩිමොක්‍රටික් පක්ෂයේ නීති සම්පාදකයින් බිත්තර නිෂ්පාදකයින් මිල කෘත්‍රිමව ඉහළ මට්ටමක තබා ගන්නේ යැයි කනස්සල්ල පළ කර තිබේ.
කුරුලු උණ රෝගය මෑත වසරවලදී දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සහ ජපානය ඇතුළු අනෙකුත් රටවල බිත්තර මිල ඉහළ යාමට හේතු වී ඇතත්, බලපෑම රටින් රටට වෙනස් වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දොඩම් යුෂ මිල ද මෑත කාලීනව ඉහළ ගොස් ඇති අතර එය පසුගිය සැප්තැම්බර් මාසයේදී භාණ්ඩ වෙළෙඳපොළේ වාර්තාගත ඉහළ ම අගයට ළඟා විය.
බ්‍රසීලයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ අස්වැන්නට citrus greening නමැති රෝගී තත්ත්වය බලපා ඇත. එම රෝගය වැළඳුණු පසු දොඩම් ඇතුළු පැඟිරි කුලයේ පලතුරුවල දැඩි තිත්ත රසයක් ඇති වන අතර ගස් ක්‍රමයෙන් මැරී යයි. එය යුෂ උරා බොන පළිබෝධකයෙකු නිසා ඇති වන රෝගයකි.
තීරුබදු සහ වෙළෙඳ අවිනිශ්චිතතා
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෑතකදී එක්සත් ජනපදයට ඇතුළු වන භාණ්ඩ සඳහා පනවන ලද තීරුබදු ඇතුළුව ගෝලීය වෙළෙඳාමට සිදුවන බාධා, ආහාර මිල ගණන්වලට ද බලපෑ හැකි ය.
අනාවැකි කිව නොහැකි වීම ගොවීන්ට ඇති එක් ගැටලුවකි. "වෙළෙඳ යුද්ධයක් ඇති වී තීරුබදු පැනවුවහොත් ඔවුන්ට ප්‍රධාන අපනයන වෙළෙඳපොළවල් අහිමි විය හැකි අතර ම එමගින් කන්නයේ මැද භාගයේදී වෙනත් නිෂ්පාදවලට යොමු වෙන්න ඔවුන්ට සිදුවේවි," ටොතෝවා පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ආහාර මිල ඉහළ යාමට වක්‍ර බලපෑම් ද තිබිය හැකි ය. උදාහරණයක් ලෙස, චීනය ඇමෙරිකානු සෝයා බෝංචි සඳහා පළිගැනීමේ චේතනාවෙන් තීරුබදු පැනවූ විට, චීන ආනයනකරුවෝ බ්‍රසීලය වැනි අනෙකුත් සැපයුම්කරුවන් වෙත යොමු වූහ. නමුත් ඔවුන්ට ඉල්ලුම සපුරාලීමට නොහැකි වූ නිසා ආනයනික බෝංචි මිල ඉහළ ගිය බව මෑත ලෝක බැංකු වාර්තාවක දැක්වේ.
ඇමෙරිකානු තීරුබදු ගෝලීය ආහාර මිල ඉහළ යාමට බලපාන්නේ ද, නැතහොත් ඒවා ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වීමට හේතු වන අතර එමගින් මිල පහත වැටිය හැකි ද? යන්න පැහැදිලි නැති බව වොස් පවසයි.
මන්දගාමිත්වයක් ඇති වුව ද, බොහෝ අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල ආහාර මිල උද්ධමනය ඉහළ යා හැකි බවට ඔහු අනතුරු අඟවයි.
මෙයට හේතුව එම රටවල අපනයන සඳහා ඇති ඉල්ලුම පහත වැටීම ඔවුන්ගේ මුදල් ඒකක දුර්වල කළ හැකි අතර එමගින් ආහාර ආනයනය කිරීම වඩා මිල අධික විය හැකි බැවිනි.
"හරියට ම කොහොම සිදුවේවි ද කියලා නිශ්චිත නැහැ. නමුත් සමස්තයක් වශයෙන් ශුභ ආරංචියක් නැති තරම්," යනුවෙන් ඔහු පවසයි.
ජීවන වියදම
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2022 සිට ගෝලීය වෙළෙඳපොළේ ආහාර මිල ගණන් අඩු වී ඇතත්, පාරිභෝගිකයින් වෙළෙඳසල් වෙත ගෙවන මිල ගණන් සෑම තැනක ම පහත වැටී ඇති බව එයින් අදහස් නොවේ.
ලෝක බැංකුවේ පුරෝකථන කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු වන ඩාවිත් මෙකෝනන් පවසන්නේ, බොහෝ රටවල ආහාර මිල ගණන් තවමත් වසර හතරකට පෙර තිබූ මට්ටමට වඩා සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින බවත් ,මෙය "ආහාර දැරිය හැකි මිලකට ගැනීමේ හැකියාව දැඩි ලෙස දුර්වල කර ඇති" බවත් ය.
ගෝලීය වශයෙන් මන්දපෝෂණය ඉහළ යමින් පවතී. 2017දී එය ලෝක ජනගහනයෙන් 7.1%ක් තරම් අවම අගයකට ළඟා වූ නමුත් දැන් එය 9.1% දක්වා ඉහළ ගොස් ඇති බව FAO සංඛ්‍යා ලේඛනවලට අනුව පෙනී යයි.
FAOහි නවතම තක්සේරුවට අනුව, අප්‍රිකානු ජනගහනයෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් ඇතුළුව, ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි පිරිසකට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීමේ හැකියාවක් නැත.
ඉදිරි මාස 12 තුළ ආහාර මිල ගණන් තරමක් අඩු විය හැකි බව ඇතැම් ආර්ථික විද්‍යාඥයින් අනාවැකි පළ කළ ද, විශේෂඥයින්ගෙන් වැඩි දෙනෙක් ඉදිරියේදී තවත් අස්ථාවරත්වයක් අපේක්ෂා කරති.
"මිල ඉහළ යාමට හේතු වන සාධක - නිෂ්පාදන පිරිවැය ඉහළ යාම, සැපයුම් දාම බාධා, දේශගුණික විපර්යාස සහ වෙළෙඳ ප්‍රතිපත්ති - පහව යන්නේ නැහැ," වොස් අනතුරු අඟවයි.














