ආහාර සුරක්ෂිතතාව: 'ශ්‍රී ලංකාවට තවමත් පැහැදිලි ප්‍රතිපත්තියක් නැහැ'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
මිනිසාගේ මූලික අවශ්‍යතා අතර ප්‍රමුඛතම අවශ්‍යතාවක් ලෙස ආහාර හැඳින්විය හැකි යි. එහෙයින් ආහාර සුරක්ෂිතතාව යනු සැමට ලැබිය යුතු මානව අයිතියකි.
ආහාර සුරක්ෂිතතාව පිළිබඳව සරලව පැහැදිලි කළහොත් එය ආහාර වගා කිරීමේ සිට නිෂ්පාදනය, සැකසීම, ප්‍රවාහනය හා පරිභෝජනය දක්වා පැවතෙන ක්‍රියාවලිය යි.
ජාත්‍යන්තර ආහාර සුරක්ෂිතතා දිනය අදට (ජුනි 07) යෙදී තිබෙන අතර 'ආහාර සුරක්ෂිතතාව: විද්‍යාවේ කාර්යය' මෙවර ජාත්‍යන්තර ආහාර සුරක්ෂිතා දිනයේ තේමාව වී තිබේ.
'මේක පාසලෙන් පටන් ගන්න ඕන වැඩක්'
ලෝක ආහාර සුරක්ෂිතතා දිනය සමරන විට, වඩා හොඳ ආහාර සුරක්ෂිතතාවක් තුළින් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වැදගත් මොහොතකට මුහුණ දී සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අංශයේ මහාචාර්ය එරේෂා මෙන්ඩිස් බීබීසී සිංහල සේවයට පැවසුවා ය.
මහාචාර්යවරිය පෙන්වා දුන්නේ, මෙරට ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මහජනතාවට පවතින දැනුම් මට්ටම ඉහළ නැංවිය යුතු බැවින් එය සිදු කළ යුතුව ඇත්තේ, පාසල් අවදියේ සිට ම දරුවන්ට ඒ පිළිබඳව අධ්‍යාපනයක් ලබා දීම හරහා බව ය.
"ආහාර විද්‍යාව හා තාක්ෂණය කියන දේ සම්බන්ධයෙන් අද වෙද්දී ලංකාවේ ඉගෙන ගන්නේ බොහොම සුළු පිරිසක්. විශ්වවිද්‍යාලවල වුණත් ඉන්නේ සුළු පිරිසක්."
"රජයට ලොකු වගකීමක් තියෙනවා ආහාර සුරක්ෂිතතාව පාසල් අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරන්න. එතැනදී ආහාර සුරක්ෂිතතාව ගැන ළමයෙකුට දැනුමක් එකතු කරන්න එයාගේ ජීවිතේට."
"උදාහරණයක් විදිහට බිම වැටිලා තියෙන පළතුරක් ආහාරයට ගන්නව නම් නැත්නම් වර්ණකාරක යොදල තියෙන පාරවල් අයිනේ තියෙන ආහාර වගේ දේවල් කනවා. මේ වගේ දෙයක් ආහාරයට ගැනීම හොඳයි ද කියලා ළමයට අවබෝධයක් ලබා දීම වැදගත්. මොක ද ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ඒ දැනුම තමයි වැදගත් වෙන්නේ," ඇය පැවසුවාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'අපට තියෙන්නේ සුළු විද්‍යාගාර සංඛ්‍යාවක් විතර යි'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ආහාර සුරක්ෂිතතාව යනු නීතිරීති අනුගමනය කිරීම පමණක් නොව, එය අප ආහාර නිෂ්පාදනය කරන සහ අනුභව කරන ආකාරය පිළිබඳ සෑම කොටසක් ම මග පෙන්විය යුතු විද්‍යාව පදනම් කර ගත් ක්‍රියාවලියක් බව ද මහාචාර්ය එරේෂා මෙන්ඩිස් වැඩිදුරටත් පැවසුවා ය.
"අද වෙද්දී පරණ ආහාර අලුත් විදිහට පෙන්වන්න විවිධ ක්‍රම භාවිත කරනවා. අපි මේකට ඇඩල්ට්‍රන් කියල යි කියන්නේ. නමුත් මේ වගේ දේවල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ලංකාවේ තියෙන නීතිය නම් ප්‍රමාණවත් නැහැ."
"ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් රෙගුලාසි පැනවෙන්නේ ජාත්‍යන්තරව සිදුකරන විද්‍යාත්මක කරුණු සහ පර්යේෂණ පදනම් කරගෙන යි. විදේශ රටවල නම් ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් විශාල අවදානයක් යොමු කරනවා. ඇඩ්වර්ටයිසින්වලින් පවා දැනුවත් කිරීම් සිදු කරනවා."
"ඇත්තට ම කිව්වොත් ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් තක්සේරු කරන්න තියෙන රසායනාගාර තියෙන්නේ සුළු සංඛ්‍යාවක්. ඒ වගේ ම පුහුණු කාර්ය මණ්ඩලය ඉන්නෙත් ඉතා සීමිතව යි. මේ නිසා ජනතාවට ආහාර සුරක්ෂිතතාව ගැන දැනුම වැඩිදියුණු කරන්න කටයුතු කරන්න ඕන."
"අපේ මහජනතාව බොහෝවිට ඉන්නේ වැරදි තොරතුරු හෝ මිථ්‍යාවල බලපෑමට ලක්වෙලා. සියලු ම කල් තබා ගන්නා ද්‍රව්‍ය හානිකර යි එහෙමත් නැත්නම් දේශීයව සාදන ලද ආහාර සැමවිට ම ආරක්ෂිත යි වගේ පොදු විශ්වාසයන් නිසා ආහාරවලට අකමැති වීමට, ආහාර විවිධත්වය සීමා කිරීමට සහ විශේෂයෙන් ළමුන් සහ ගර්භණී කාන්තාවන් තුළ පෝෂණ ඌණතා ඇති කිරීමට එවැනි මත හේතු වෙනවා." යනුවෙන් මහාචාර්යවරිය පැහැදිලි කළා ය.
'පළිබෝධනාශක ගැන අවධානය යොමු කිරීම වැදගත්'
ආහාර නිෂ්පාදනයට යොදා ගන්නා පොහොර වැනි කෘෂි රසායනික ද්‍රව්‍යයන් සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීම වැදගත් වන බව සමාජ විද්‍යාව පිළිබඳ පර්යේෂකයෙකු වන අචාර්ය පියවි විජේවර්ධන බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේ ය.
"කෘෂිකාර්මික නිෂ්පාදනවලට යොදන්න කියලා ලංකාවට විදේශ රටවල්වලින් ගෙන්වන පොහොර, වල් පැළෑටි නාශක සහ පළිබෝධනාශක නිරන්තරයෙන් පරීක්ෂා කිරීම සහ ඒ ගැන අවධානය යොමු කිරීම වැදගත්."
"සමහර වෙලාවට අපි අඩු මිලට මේ කෘමිනාශක ගෙන්වනවා නම් එතැනදී ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. මොක ද ඒකෙන් නිෂ්පාදනය කරන කෘෂිබෝගවලට ඍජු බලපෑමක් එල්ල කරන්න පුළුවන්."
"ඒ වගේ ම විදේශ රටවල්වලින් ලංකාවට ආනයනය කරන සහල් ඇතුළු ආහාර වර්ග ගැනත් අවධානය යොමු කරන්න අවශ්‍ය වෙනවා," ඔහු පැහැදිලි කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දීර්ඝ කාලීන සෞඛ්‍ය අවදානම්
අනාරක්ෂිත ආහාර අනුභව කිරීම නිසා දිගු කාලීන සෞඛ්‍ය අවදානමක් ඇති වීම ගැන ද මහජනතාව දැනුවත් විය යුතු බව මහාචාර්ය එරේෂා මෙන්ඩිස් පැවසුවා ය.
"පිළිකා, වකුගඩු ආබාධ සහ දියවැඩියාව වගේ බරපතළ රෝග වැඩිවීමට ඍජුව අපි එදිනෙදා ගන්නා ආහාර සම්බන්ධ යි. මේ නිසා හානිකර රසායනික ද්‍රව්‍ය සහ ආහාරවල ඇති කෘත්‍රිම වර්ණකාරක වගේ දේවල් නිහඬව ම අපගේ ශරීර සෞඛ්‍යයට කල් පවතින හානියක් ඇති කරන්න පුළුවන්."
"දුර්වල ආහාර සුරක්ෂිතතාව කියන්නේ රටකට ඉහළ ආර්ථික පිරිවැයක් දරන්න වෙන දෙයක්. පවුලකට මේ නිසා වෛද්‍ය කටයුතු සඳහා විශාල මුදලක් දරන්න වෙනවා. සෞඛ්‍ය සේවා පද්ධතිය ඒකට මුහුණ දෙන්න යද්දී රටේ ඵලදායිතාවට ඒකෙන් විශාල බලපෑමක් එල්ල වෙනවා."
"ආහාර මගින් බෝවන රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා සෑම වසරක ම මිලියන ගණනක් වැය වනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා. ලංකාවේ ආහාර අපවිත්‍ර කිරීම බහුලව දකින්න පුළුවන්. විශේෂයෙන් ගඩොල් කුඩු සමග මිශ්‍ර කළ මිරිස් කුඩු හෝ රසායනික ද්‍රව්‍ය දමා ඉදවපු පලතුරු වගේ දේවල් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා. මේ දේවල් නිසා රටේ ජනතාවගේ සෞඛ්‍යය අර්බුදකාරී තැනකට ගෙන එන නිසා ඒ ගැන දැනුවත් වෙන එක වැදගත්. ඒ නිසා ආහාර ද්‍රව්‍ය මිල දී ගන්නකොට වැඩි අවධානයක් යොමු කරන්න." යනුවෙන් ඇය පැහැදිළි කළාය.
ශ්‍රී ලංකාවට තවමත් පැහැදිලි ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තියක් නොමැති බවත්, ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන් ප්‍රධාන වශයෙන් අපනයන අංශය කෙරෙහි අවධානය යොමු කරන අතර දේශීය පාරිභෝගිකයින්ට ආරක්ෂාව ලැබෙන පරිදි අවශ්‍ය ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමට අවශ්‍ය කටයුතු සිදුකළ යුතු බවත් මහාචාර්ය එරේෂා මෙන්ඩිස් වැඩිදුරටත් පැවසුවා ය.
"මම 2019 අවුරුද්දේදී සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති මාලාවක් හදන්න සම්බන්ධ වුණා. නමුත් අද වෙනකම් ඒ කටයුත්ත කරන්න හැකියාවක් ලැබුණෙ නැහැ," ඇය සඳහන් කළා ය.














