ඉන්දු-ශ්‍රී ලංකා මිත්‍රත්වයෙන් ශ්‍රී ලංකාවට හිමි වී ඇති ප්‍රදාන

    • Author, බීබීසී සිංහල

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල කලින් කලට යම් උස් පහත්වීම් සිදුවුව ද, ඉන්දියාව වරින් වර ශ්‍රී ලංකාවට ආධාර ලබා දුන් අවස්ථා මෑත ඉතිහාසයේ අවස්ථා ගණනකදී දැකිය හැකි ය.

පශ්චාත් යුද සමයේදී සහ කොවිඩ් 19 වසංගත සමයේදී ඉන්දියාව කැපී පෙනෙන ප්‍රදානයන් සිදු කර තිබේ.

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනුව ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත මෙතෙක් ඇමෙරිකානු ඩොලර් මිලියන 700කට අධික ප්‍රදානයන් සිදු කර තිබේ.

මෙතෙක් ශ්‍රී ලංකාවට ලැබී ඇති විශාලතම විදේශ ප්‍රදානයන්ගෙන් දෙවන ස්ථානයේ ඇත්තේ උතුර, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල නිවාස 49,000ක් ඉදිකිරීම සඳහා ඉන්දියාව විසින් 2012 දී ලබා දී ඇති ඇ.ඩො. මිලියන 257.30ක ප්‍රදානයයි.

මේවා විවිධ කාලයන් හි සිදුකළ පරිත්‍යාගයන් නිසා ඒවායේ වර්තමාන වටිනාකම එම ප්‍රදාන ලෙස ලබා දුන් මුදලට වඩා වැඩි අගයක් ගනියි.

ගැටුම් කළමනාකරණය, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර ඉන්දියාව විසින් වරින් වර ප්‍රදානයන් ලබා දී ඇති කැපී පෙනෙන ක්ෂේත්‍ර වේ.

පසුගිය ආර්ථික අර්බුද සමයේදී ද ඉන්දියාව ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාග කර ඇති අතර, දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන 1990 ගිලන් රථ සේවාව ද එලෙස ඉන්දියාවේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට හිමි වූ එකකි.

ඉන්දියාව විසින් 1973 සිට 2023 දක්වා ලබා දී ඇති ප්‍රදානයන් පහත පරිදි වන අතර, මේ ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රජය හරහා ලබා දුන් සෘජු ප්‍රදානයන් වේ. ඉන්දියාව විසින් මෙම ප්‍රදානයන් හැර වෙනත් සංවිධාන, ආයතනවලට, හෝ දෙපාර්තමේන්තුවලට පෞද්ගලිකව සිදු කර ඇති ප්‍රදානයන් මෙම ලැයිස්තුවට ඇතුළත් වී නැත.