හානි වූ දත් යථා තත්ත්වයට පත් කිරීමට හිසකෙස් යොදා සැකසූ දන්තාලේපයක්

Dr Sherif Elsharkawy wearing blue gloves, white lab jacket and goggles, holds two clumps of blond hair in a laboratory

ඡායාරූප මූලාශ්‍රය, King’s College London

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම තාක්ෂණය වසර දෙකක් ඇතුළත වෙළෙඳපොළට නිකුත් කළ හැකි බව ආචාර්ය ෂෙරිෆ් එල්ෂාර්කාවි විශ්වාස කරයි.
    • Author, හැරී ලෝ
    • Role, බීබීසී

ඔබේ ම හිසකෙස්වලින් සාදන ලද දන්තාලේපයක් භාවිත කිරීමෙන් හානියට පත් දත් අලුත්වැඩියා කිරීමට සහ ආරක්ෂා කිරීමට උපකාරී වන බව පර්යේෂකයින් පිරිසක් පවසති.

කෙස්, සම සහ රෝම කූපවල ඇති ප්‍රෝටීනයක් වන කෙරටින්, එනමලය ශක්තිමත් කර මුල් අවධියේදී දත් දිරායාම වළක්වාගත හැකි බව ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන තිබේ.

කෙරටින්, කෙළවල ඇති ඛනිජ සමග ප්‍රතික්‍රියා කරන විට ස්වභාවික එනමලය මෙන් ආරක්ෂිත තට්ටුවක් සාදන බව ඔවුන්ගේ පර්යේෂණයෙන් හෙළි විය.

"වර්තමාන දන්ත ප්‍රතිකාර සඳහා කෙරටින් පරිවර්තනීය විකල්පයක් විය හැකි යි," ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි ආචාර්ය උපාධි පර්යේෂක සාරා ගේමියා පැවසුවා ය.

Mouth model shows decayed from three teeth inside a mouth containing springs

ඡායාරූප මූලාශ්‍රය, King’s College London

ඡායාරූප ශීර්ෂ වැකිය, ආම්ලික ආහාර සහ පාන වර්ග නිසා දත් දිරායාම සිදුවිය හැක.

ඇය තවදුරටත් මෙසේ පැවසුවා ය: "මේ තාක්ෂණය ජීව විද්‍යාව සහ දන්ත වෛද්‍ය විද්‍යාව අතර පරතරය පියවමින්, ස්වභාවික ක්‍රියාවලීන් පිළිබිඹු කරන පරිසර හිතකාමී ජෛවීය නිෂ්පාදනයක් සිදු කරනවා."

"එය හිසකෙස් සහ සම වගේ ඉවත දමන දෙයින් සාදා ඇති අතර, දත් සම්බන්ධ කටයුතුවලදී බොහෝවිට භාවිත කරන විෂ සහිත සහ අඩු කල් පවත්නා ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතය නතර කරනවා."

ඔවුන්ගේ අධ්‍යයනයේදී, විද්‍යාඥයින් රෝම කූපවලින් කෙරටින් ලබා ගත් බව Advanced Healthcare Materialsහි ප්‍රකාශයට පත් කරන ලද ලිපියක සඳහන් වෙයි.

A person wearing blue gloves holds a test tube containing a clump of white, fluffy keratin material, extracted from hair, in a laboratory setting.
ඡායාරූප ශීර්ෂ වැකිය, එනමලය අලුත්වැඩියා කරන දන්තාලේප සෑදීම සඳහා හිස කෙස්වලින් ලබා ගත් කෙරටින් භාවිත කළ හැකි බව පර්යේෂකයෝ පවසයි

කෙරටින් දත් මතුපිටට යොදන විට සහ කෙළවල ස්වභාවිකව පවතින ඛනිජ සමග එකතු වී, එය ස්වභාවික එනමලයේ ව්‍යුහයට සහ ක්‍රියාකාරීත්වයට සමාන ස්ඵටිකයක් වැනි ව්‍යුහයක් නිර්මාණය කරන බව ඔවුන් සොයා ගෙන ඇත.

කාලයත් සමග මෙම ස්ඵටික ව්‍යුහය මත කැල්සියම් සහ ෆොස්ෆේට් බැඳෙන අතර, එය දත් වටා ආරක්ෂිත එනමල් වැනි තට්ටුවක් වර්ධනය වීමට උපකාරී වන බව පර්යේෂකයෝ පවසති.

ආම්ලික ආහාර සහ පාන වර්ග, දුර්වල මුඛ සනීපාරක්ෂාව සහ මහලු වීම යන කරුණු සියල්ල ම එනමල් ඛාදනය හා දිරායාමට දායක වන අතර එමගින් දන්ත සංවේදීතාව, වේදනාව සහ අවසානයේ දත් අහිමි වීම සිදුවේ.

Orange-topped test tube lids with labels, measurements and containing various clear, pink and green liquids

ඡායාරූප මූලාශ්‍රය, King's College London

ඡායාරූප ශීර්ෂ වැකිය, පර්යේෂණය මෙහෙයවනු ලැබුවේ ආචාර්ය උපාධිය සිදුකරන ශිෂ්‍යයෙකු විසිනි

"අස්ථි සහ හිසකෙස් වගේ නෙවෙයි, එනමලය ආයෙත් වැඩෙන්නෙ නැහැ. ඒක නැති වුණොත්, සදහට ම ඒක නැති වෙලා යනවා," ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි කෘත්‍රිම දන්ත විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතුවරයෙකු සහ උපදේශකයෙකු වන වෛද්‍ය ෂෙරිෆ් එල්ෂාර්කාවි පැවසීය.

"රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කරන්න විතරක් නෙවෙයි, අපි ජෛව තාක්‍ෂණය ඔස්සේ අපේ ශරීරයේ ම ඇති ද්‍රව්‍ය භාවිතයෙන් ජීව විද්‍යාත්මක ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීමට ඉඩ සලසන උද්යෝගිමත් යුගයකට පිවිසෙමින් සිටිනවා."

"තවදුරටත් සංවර්ධනය සහ නිවැරදි කර්මාන්ත හවුල්කාරීත්වයත් එක්ක, හිසකෙස් වැනි සරල දෙයක් භාවිත කරලා සෞඛ්‍ය සම්පන්න සිනහවක් වර්ධනය කරන්න හැකි වේවි."