උතුරු නැගෙනහිර අතුරුදන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවක

Relatives of the disappeared are protesting at Mannar

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක් වූවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් යුද්ධයෙන් අතුරුදහන්වූවන්ගේ උතුරු නැගෙනහිර ඥාතීන් ඔවුන්ගේ ආදරණීයයන් සොයාදෙන ලෙස ඉල්ලීම් කරමින් අද (අගෝ. 30) මන්නාරම නගරයේ දී විරෝධතාවයේ නිරතවිණි.

සෑම වසරකම අගෝස්තු 30 වැනිදාට යෙදෙන 'බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක් වූවන්ගේ ජාත්‍යන්තර දිනය' නිමිති කර ගනිමින්, වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව්, ත්‍රිකුණාමලය, අම්පාර හා යාපනය දිස්ත්‍රික්කයන්හි අතුරුදහන්වූවන්ගේ ඥාතීහු එක්ව මෙසේ මන්නාරම නගරයේ දී විරෝධතාවයේ නිරතවූහ.

යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට ඉල්ලීම් කරමින් ඔවුන් අද (අගෝ. 30) දිනය වන විට දින 2383ක් විරෝධතාවක නිරතවී තිබුණ ද කිසිදු රජයකින් ඔවුන්ගේ ගැටලුවලට නිසි විසඳුමක් නොලැබුණු බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පවසයි.

අවස්ථා ගණනාවක දී රජය විසින් අතුරුදහන්වූවන්ගේ ගැටලුව සඳහා පිළිතුරු ලබාදෙන බවට ප්‍රකාශ කළ ද ඔවුන්ගේ ගැටලුවට මෙතෙක් පිළිතුරක් නොලැබීම කණගාටුවට කරුණක් බව ද අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසීය.

මීට සමගාමීව, අතුරුදහන්වූවන්ගේ උතුරු නැගෙනහිර ඥාතීහු අද මඩකලපුවේ දී ද විරෝධතාවක් පැවැත්වූහ.

Relatives of the disappeared are protesting at Mannar

අතුරුදහන්වූවන්ගේ කාර්යාලය හා අනෙකුත් ආයතන රජයේ අවශ්‍යතා ඉටු කරන බැවින් ඔවුන්ට ඒ ආයතන පිළිබඳ විශ්වාසයක් නොමැතිබව පවසන විරෝධතාකරුවෝ, ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම මැදිහත්ව මෙරට අතුරුදහන්වූවන්ගේ ගැටලුවට විසදුම් ලබාදිය යුතුබවට ඉල්ලීම් කළහ.

ජාත්‍යන්තරය මැදිහත්ව ඔවුන්ගේ ගැටලුව සඳහා විසඳුම් ලබාදිය යුතු අතර, අපරාධකරුවන්ට ජාත්‍යන්තර අධිකරණයක් හරහා දඩුවම් ලබාදිය යුතු බව ද විරෝධතාවයට එක්වූ අතුරුදහන්වූවන්ගේ ඥාතීහු ඉල්ලා සිටියහ.

උතුරේ හා දකුණේ දේශපාලන නියෝජිතයින් කිසිවෙකු ඔවුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් ඔවුන්ගේ දූදරුවන් හා ඥාතීන් සම්බන්ධයෙන් මෙතෙක් සාධාරණ විසඳුමක් නොලැබී ඇති බව ඔවුන් පවසයි.

Relatives of the disappeared are protesting at Mannar

යුද්ධය නිමාවී වසර 14ක් ගතවුව ද අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් නිසි සඳහනක් හෝ සොයා බැලීමක් නොමැතිවීමෙන් ඔවුන් මහත් සේ අසරණ වී සිටින බව ද විරෝධතාකරුවෝ පවසති.

විරෝධතාව සඳහා රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයෝ හා වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සෙල්වම් අඩෙක්කලනාදන්, විනෝ නෝහදාරලිංගම් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.