බොලිවුඩ් නළු සුෂාන්ත් සිංගේ මරණය: මාධ්‍ය මගින් දැඩි අපහාස විඳි පෙම්වතිය මරණයට සම්බන්ධ නැතැයි අධිකරණයට දැනුම්දීමක්

Bollywood actress Rhea Chakraborty presents a creation by designer Guapa during the of the FDCI X Lakme Fashion Week in Mumbai on October 14, 2022.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, චෝදනාවලට ලක්වීමෙන් පසු තමන්ට බොලිවුඩ් සිනමාවේ චරිත නොලැබී ගිය බව රියා චක්‍රබෝර්ති පවසයි
    • Author, ගීතා පාණ්ඩේ
    • Role, බීබීසී

බොලිවුඩ් නිළි රියා චක්‍රබෝර්ති "මුදල් පසුපස හඹා යන්නියක [a gold digger] සහ "මිනීමරුවෙකු" ලෙස අපහාස කෙරිණි. 2020 දී, රියා චක්‍රබෝර්තිගේ පෙම්වතා වූ බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණයට සම්බන්ධ බවට චෝදනා කරමින් මාධ්‍ය හරහා දිගට ම එල්ල කළ චෝදනාවලින් පසුව, ඇය අතිශය බරපතළ අපකීර්තියකට මුහුණ දුන් අතර දින 27ක් සිරගත වී සිටීම ද ඇයට සිදුවිය.

ඉන්දියාවේ බොලිවුඩ් සිනමාවේ නැගී එමින් සිටි තරුවක් වූ සුෂාන්ත් සිංගේ මරණය සියදිවි නසා ගැනීමක් බවත්, ඔහුගේ මරණයට රියා චක්‍රබෝර්ති හෝ ඇගේ පවුලේ කිසිවෙකුත් සම්බන්ධ නොමැති බවත් ඉන්දියාවේ මධ්‍යම විමර්ශන කාර්යාංශය අධිකරණයට දැනුම් දී තිබේ.

චක්‍රබෝර්තිගේ නඩුවට පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සතිෂ් මනේෂින්ඩේ විසින් බීබීසී වෙත එවන ලද නිවේදනයක මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) සඳහන් කර තිබුණේ, "නඩුවේ සෑම අංශයක් ම සෑම කෝණයකින් ම හොඳින් විමර්ශනය කර අවසන් කර ඇත," යනුවෙනි.

මෙම නිශ්චය කරන ලද කරුණු මුම්බායිහි විශේෂ අධිකරණයකට ඉදිරිපත් කර ඇති අතර, නඩුව අවසන් කරනවා ද? නැතහොත් වැඩිදුර විමර්ශනයකට නියෝග කරනවා ද? යන්න එම අධිකරණය විසින් තීරණය කරනු ලබනු ඇත.

මනේෂින්ඩේ පැවසුවේ, චක්‍රබෝර්ති "අප්‍රමාණ දුක්ඛිත තත්ත්වයන්ට" පත්වූ බව සහ "ඇය කිසිදු වරදක් නොමැතිව" සිරගත කළ බව ය.

"තමන් කළ දේවල් පිළිබඳව නැවත සිතා බලන" ලෙස මාධ්‍ය ප්‍රධානීන්ට පවසමින්, "සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍යවල පළ කළ අසත්‍ය කතා කිසිසේත් ම පිළිගත නොහැකි," බව ඔහු පැවසුවේ ය.

"අහිංසක මිනිස්සුන්ගේ පස්සෙන් පන්නගෙන ගිහිල්ලා ඔවුන්ව මාධ්‍ය සහ පරීක්ෂණ පවත්වන බලධාරීන් ඉදිරියට දානවා. මේක ආයේ වතාවක් සිදුවෙන එකක් නෑ කියලා මම බලාපොරොත්තු වෙනවා."

මේ අතර, ස්ත්‍රීවාදී නීතිඥවරියක වන පායල් චව්ලා විසින් "චක්‍රබෝර්ති වටේ නිර්මාණය වුණ ස්ත්‍රී විරෝධී කතා ඉතා ම හිංසනකාරී" බවය විස්තර කරනු ලැබූ අතර, මේ නඩුව "අනෙක් මිනිස්සුන්ව විනිශ්චය කිරීමේ ආදීනව පෙන්වන අවවාදාත්මක සිහිකැඳවීමක් ලෙස පැවතිය යුතු බව," පවසන ලදී.

පසුගිය සති අන්තයේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය නඩුව අවසන් කිරීමට කැමැත්ත පළ කළ බව වාර්තා වූ දායින් පසු මෙතෙක් චක්‍රබෝර්ති මේ පිළිබඳ කිසිදු අදහසක් ඉදිරිපත් කර නැත. සඳුදා [මාර්තු 24] සුෂාන්ත්ගේ මරණය සම්බන්ධයෙන් පොලිස් පැමිණිල්ලක නම සඳහන් වූ ඇගේ සොහොයුරා සහ පියා සමග ඇය කෝවිලක් වෙත ගොස් සිටිනු දැකිය හැකි විය.

ඇප මත නිදහස් වීමට පෙර මාස තුනක් සිරගතව සිටි ඇගේ සහෝදරයා වන ෂෝයික් සමාජ මාධ්‍යවල පළ කළ සටහනක ඔවුන්ගේ පවුල නිවැරදි බව හැඟෙන කරුණු ඇතුළත් විය. ඔහු රියා සමග ඡායාරූපයක් "සත්‍යය පමණක් ජයගනී" යන අර්ථය සහිත "සත්‍යයමෙව් ජයතේ" යන සංස්කෘත පාඨය සමග සමාජ මධ්‍යයේ පළ කර තිබිණි.

MUMBAI, INDIA - APRIL 1: Bollywood actor Sushant Singh Rajput during the promotion of his film Detective Byomkesh Bakshy at HT's Fever office, on April 1, 2015 in Mumbai, India.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් 2020 ජූනි මාසයේදී ඔහුගේ මුම්බායි නිවසේදී මියගොස් සිටියදී සොයා ගන්නා ලදී.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සුෂාන්ත්ගේ මළ සිරුර 2020 ජූනි 14 වන දා ඔහුගේ මුම්බායිහි පිහිටි මහල් නිවාසය තුළදී සොයා ගන්නා ලදී. 34 හැවිරිදි ඔහුට මානසික සෞඛ්‍ය ගැටලු පැවති බවත්, ඒ සඳහා ඔහු ප්‍රතිකාර ලබමින් සිටි බවත්, ඔහු සියදිවි නසාගෙන ඇති බවක් පෙනෙන්නට ඇති බවත් මුම්බායි පොලිසිය පැවසුවේ ය.

සුෂාන්ත් සමග වසරක පමණ කාලයක් පෙම් සබඳතාවක් පවත්වාගෙන යමින් ඔහු සමග එකට ජීවත් වූ චක්‍රබෝර්ති, ඔහුගේ මරණයට දින කිහිපයකට පෙර ඇගේ දෙමව්පියන් සමග පදිංචියට ගොස් තිබිණි.

"තව ම මගේ හැඟීම්වලට මුහුණ දෙන්න ගොඩක් උත්සහ කරනවා... ඒක මගේ හදවතේ සුව කරන්න බැරි හිරිවැටීමක්... ඔයා මේ ලෝකේ තවදුරටත් නෑ කියන එක මට කවදාවත් පිළිගන්න බෑ," යනුවෙන් ඇය පසුව ඇගේ ශෝකය පිළිබඳව සමාජය මාධ්‍ය ඔස්සේ සටහන් කර තිබිණි.

කෙසේ නමුත්, සති කිහිපයක් ඇතුළත සුෂාන්ත්ගේ පියා චක්‍රබෝර්ති, තම පුතාගේ මුදල් සොරකම් කර ඔහුගේ සියදිවි නසා ගැනීමට දායක වූ බවට චෝදනා කරමින් පොලිස් පැමිණිල්ලක් ගොනු කිරීමෙන් පසුව මෙම නිළිය විශාල මහජන කෝපයකට සහ විවේචනයන්ට මුහුණ පෑවා ය. සුෂාන්ත්ගේ පියා ඔහුගේ පුතා මානසික සෞඛ්‍ය ගැටලුවකින් පෙළුණු බව ද ප්‍රතික්ෂේප කළේ ය.

සුෂාන්ත්ගේ මරණය සම්බන්ධ නව සිදුවීම් සම්බන්ධයෙන් රාජ්පුත් පවුල කිසිදු අදහසක් දක්වා නැත.

තමාට එරෙහි සියලු චෝදනා අඛණ්ඩව ප්‍රතික්ෂේප කළ චක්‍රබෝර්ති, මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටියා ය.

කෙසේ වුවත්, කොරෝනාවෛරස් වසංගතයට ඉන්දියාව මුහුණ දෙමින් රට ලොක් ඩවුන් කර තිබූ තත්ත්වයක් මධ්‍යයේ ආ මෙම ඛේදවාචකය, රුපවාහිනීවලට ඇලී ගැලී සිටි ජනතාවට ප්‍රධානතම පුවතක් විය.

චක්‍රබෝර්ති ස්ත්‍රී විරෝධී අපයෝජනයට ලක්වූ අතර, "මන්තරකාරියක", "ධනය හඹා යන්නියක", "මාෆියා ගණිකාවක" සහ "ධනවත් පිරිමි කොටු කර ගන්නා ලිංගික ඇමක්" ලෙස කුපිත වූවෝ ඇයව නම් කළ හ. ඇයට දූෂණය කරන බවට සහ මරණයට පත් කරන බවට තර්ජන පවා එල්ල විය.

ඉන්දියාවේ වඩාත් ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නන් කිහිප දෙනෙකු විසින් ම ඔවුන්ගේ මුළු වැඩසටහන ම මේ නඩුව ගැන සාකච්ඡා කිරීම සඳහා යොදා ගත් අතර,"අඳුරු මායාවන් සිදුකරමින්", "සුෂාන්ත් සියදිවි නසා ගැනීමට පෙළඹවූ" සහ "බලපෑම් සිදුකළ" කාන්තාවක ලෙස ඇය හඳුන්වා දෙනු ලැබුවා ය.

එකල වඩාත් සංසරණය වූ වීඩියෝවක දැක්වුණේ, ප්‍රසිද්ධ ප්‍රවෘත්ති නිවේදිකාවක විසින් චක්‍රබෝර්ති "මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු" බවට අතිශෝක්තියෙන් යුතු අභිනයන් දක්වමින් චක්‍රබෝර්තිට චෝදනා කරන ආකාරය යි. තවත් නාලිකාවක සජීවී විකාශයට කාන්තා නිවේදිකාවක පැමිණ, නිළියගේ වරද ඔප්පු කළ හැකි "ලිපි ලේඛන රැසක්" තමන් සතුව ඇති බව කියා සිටියා ය.

සුෂාන්ත් මරණයෙන් මාස තුනකට පසු චක්‍රබෝර්ති අත්අඩංගුවට ගන්නා තෙක් ම සාවද්‍ය වෛරී ව්‍යාපාරය දිගට ම පැවතිණි.

Bollywood actress Rhea Chakraborty (C) arrives at the Narcotics Control Bureau (NCB) office for enquiry regarding Sushant Singh Rajput case, in Mumbai on September 6, 2020.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පොලීසිය සහ මූල්‍ය අපරාධ විමර්ශන ඒජන්සිය චක්‍රබෝර්තිගෙන් දිගින් දිගට ම ප්‍රශ්න කළේ ය.

මාසයකට පසු ඇය [බන්ධනාගාරයෙන්] නිදහස් වූ පසු ඇය අභිප්‍රේරිකාවක ලෙස කටයුතු කිරීමට උත්සහ කර ඇති අතර, මේ වන විට ඇය ඇඟලුම් ව්‍යාපාරිකාවක සහ ජනප්‍රිය පුද්ගලයින් සමග පොඩ්කාස්ට් සාකච්ඡා පවත්වන්නියක බවට පත්ව තිබේ. එමෙන් ම ඇය රුපවාහිනී රියැලිටි වැඩසටහනක් ද පවත්වාගෙන යයි.

විවධ නම් පටබැඳීම සහ චරිත ඝාතනය ඇගේ රැකියාව අහිමි කළ ආකාරය සහ ඇගේ පවුලේ අය ද පීඩාවට පත් කළ ආකාරය ඇතුළුව, ඇගේ දුක්ඛිත අත්දැකීම ගැන ද චක්‍රබෝර්ති අදහස් ප්‍රකාශ කර තිබේ.

"මම උත්සහ කළා [හින්දි සිනමා] කර්මාන්තයේ ඉන්න අයට කතා කරලා චරිතයක්, මොකක් හරි චරිතයක් ඉල්ලා ගන්න. නමුත් පස්සේ මම තේරුම් ගත්තා මේ සිද්ධ වෙලා තියෙන හැම දෙයක් ම නිසා එයාලා කවුරුවත් මාව චරිතයකට ගන්නේ නෑ කියලා," ඇය පසුගිය වසරේ හියුමන්ස් ඔෆ් බොම්බේ [පුද්ගලයන්ගේ ජීවිත කතා විකාශය කරන වැඩසටහනක්] වෙත පැවසුවා ය.

"මම ගොඩක් කාලයක් ලොකු තරහකින් හිටියා. නමුත් ඒක නිසා මට ගැස්ට්‍රයිටිස් ඇති වුණා වගේ ම බඩවැල්වල ගැටලු ඇති වුණා. ඒක නිසා මට සමාව දෙන එක මට වැදගත් දෙයක් වුණා," යනුවෙන් පවසමින් ඇය වැඩිදුරටත් පැවසුවේ, "මම හැමෝට ම සමාව දීලා නෑ. සමහර අය තාම මගේ ලිස්ට් එකේ ඉන්නවා," යනුවෙනි.

ඇයව අපකීර්තියට පත් කළ අයට එරෙහිව සිදුකරන ක්‍රියාමාර්ග යනුවෙන් ඇය අදහස් කළේ, කුමක්දැයි පැහැදිලි නැති නමුත්, සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙකු යෝජනා කරන්නේ සිදුවූ හානියට ඔවුන්ට [අපකීර්තියට ලක් කළ පුද්ගලයන්] ඇය නඩු පැවරීම කළ යුතු බවට ය.

මෙම රංගන ශිල්පිනිය හෝ ඇයගේ නීතිඥයා ඔවුන් කිරීමට අදහස් කරන්නේ කුමක්දැයි තවමත් ප්‍රකාශ කර නොමැති නමුත්, අධික බරක් පැටවී ඇති අධිකරණ පද්ධතිය සහ මිලියන ගණනක් විභාග වෙමින් පවතින අධිකරණ නඩු සහිත ඉන්දියාවේ වන්දි ලබා ගැනීම පහසු දෙයක් නොවන බව තීරු ලිපි ලේඛිකා නමිතා භාන්දාරේ පෙන්වා දෙයි.

"අපහාස නඩුවක් දශකයක් විතර යන්න පුළුවන් වගේ ම අවසානයේදී ඇය සමාව දෙන්න එකඟ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් ඇය කරයි ද?"

භාන්දාරේට අනුව චක්‍රබෝර්තිට, "ලොකු නමක් තිබුණේ නැති නිසා සහ චිත්‍රපටි කර්මාන්තයේ බලවත් පුද්ගලයින් ඇය වෙනුවෙන් පෙනී නොසිටීම" හේතුවෙන් "රසවත් කතාවක් සොයා යාමකට පාවිච්චි කළ හැකි චරිතයක්," බවට ඇය පත්විණි.

සිදුවූයේ කුමක්දැයි විස්තර කරමින් "සාම්ප්‍රදායික ඉන්දියානු චින්තනයට අනුව" අතහැර දමා යන කාන්තා සහකරුට දොස් පැවරීම සිදුවූ බව තීරු ලිපි ලේඛිකාව පැවසූ අතර, "දුෂ්ටයෙකු හොයාගෙන පසුව එයාලගේ කීර්ති නාමය විනාශ කිරීමට උත්සහ කරන සමාජ මාධ්‍යවල අඳුරු පැත්ත" පිළිබඳව ද ඉස්මතු කළා ය.

MUMBAI, INDIA AUGUST 27: Bollywood actor Rhea Chakrabortys father Indrajit Chakraborty taken to ED office from Rhea's residence at Santacruz in connection with Sushant Singh Rajput's death case, on August 27, 2020 in Mumbai, India. The Enforcement Directorate (ED) probing the money laundering angle in Bollywood actor Sushant Singh Rajputs death questioned Rhea Chakrabortys father for the second time for nearly six hours on Thursday.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සුෂාන්ත්ගේ මරණය සම්බන්ධයෙන් රියා චක්‍රබෝර්තිගේ පියා වන ඉන්ද්‍රජිත් චක්‍රබෝර්තිගෙන් ද ප්‍රශ්න කෙරිණි

ප්‍රසිද්ධ ප්‍රවෘත්ති නිවේදකයින් චක්‍රබෝර්තිට එරෙහිව අපවාදාත්මක අදහස් දක්වන ඇතැම් වීඩියෝ දර්ශන මේ වන විට යළි මතු වී සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස හුවමාරු වෙමින් පවතියි. මෙම නිළියගේ බොලිවුඩයේ සගයන් ඇතුළු බොහෝ දෙනෙක්, නිවේදකයන්ට ඇයගෙන් සමාව ගන්නා ලෙස ඉල්ලා සිටිති.

"ඔයා මුහුණ දුන්නේ ඉලක්ක කරපු ප්‍රහාරයකට. TRP [වෙළඳ දැන්වීම් ජනතාව අතරට යාමේ ප්‍රමාණය මැනීමට භාවිත කරන මිනුමක්] වෙනුවෙන් ඇයට ලොකු වේදනාවක් සහ හිරිහැරයක් සිදුකළා. සමාව ගන්න. ඒක තමයි ඔයාලට කරන්න පුළුවන් අවම දේ," යනුවෙන් බොලිවුඩ් නිළි ඩියා මිර්සා ඉන්ස්ටර්ග්‍රෑම්හි සටහන් කර තිබේ.

මාධ්‍යවේදී රෝහිණී සිං විසින් නිශ්චිත රූපවාහිනී නාලිකා නම් කරමින් චක්‍රබෝර්තිගෙන් සමාව අයැද සිටිනවා දැයි විමසීමක් කරන ලදී.

ඔවුන්ට මොකක් හරි ලැජ්ජාවක් තියෙනවා නම්, හොඳ ගතිගුණ අංශු මාත්‍රයක් හෝ තියෙනවා නම් ඇයට අපහාස කිරීම, දරුණු ගණයේ බොරු පවසමින් න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කරගෙන සිටීම නිසා ම සිදුවුණු මේ සිරගත වීම සම්බන්ධයෙන් ඔවුන් ඇයගෙන් දැඩි ලෙස සමාව ගත යුතු යි,"යනුවෙන් ඇය X සමාජ මාධ්‍යයේ පළ කර තිබිණි.

මෙම ගැටලුව අඟහරුවාදා [මාර්තු 25] පාර්ලිමේන්තුවේ ද සාකච්ඡා විය. මාධ්‍යවේදිනියකව සිට මන්ත්‍රීවරියක වූ සාගරිකා ඝෝෂ් චක්‍රබෝර්තිට සිදුවූ චරිත ඝාතනය පිළිබඳව ප්‍රශ්න කළා ය.

"ප්‍රවෘත්ති නාලිකා ඇයට එරෙහිව ප්‍රචාරක ව්‍යාපාර දියත් කළා. අද ඇය නිර්දෝෂී බව ඔප්පු වෙලා. නමුත් මාධ්‍ය අතින් මෙතරම් නින්දාවක් විඳ දරා ගත් ඇයට ඒ කාලය ආපසු දෙන්නේ කවුද?" ඇය විමසුවා ය.