ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා: ආර්යන් ඛාන්ට එරෙහි මත්ද්‍රව්‍ය චෝදනා ඉවතට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත්‍රයාට එරෙහිව එල්ලවී තිබූ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවන් ඉන්දීය මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය විසින් ඉවත දමා තිබේ.
සාදයක දී තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කළබවට වන චෝදනාව යටතේ 2021 ඔක්තෝම්බර් දී 24 හැවිරිදි ආර්යන් ඛාන් අත්අඩංගුවට ගනු ලැබුණි.
මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය (NCB), "නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තමා සන්තකයේ තබා ගැනීම, පරිභෝජනය සහ විකිණීම" සම්බන්ධ නීති යටතේ ඔහුට විරුද්ධව චෝදනා එල්ලකර තිබුණි.
සිකුරාදා, මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය ඔහුගේ නඩුව ඉවත දැමුවේ, "ආර්යන් ඛාන් සතුව තිබී මත්ද්‍රව්‍ය කිසිවක් හමුවී නැත" යනුවෙන් පවසමිනි.
ඒජන්සිය සිකුරාදා උසාවියට ගොනු කරන ලද චෝදනා පත්‍රයේ විත්තිකරුවන් 14 දෙනෙකු නම් කර තිබූ නමුත්, "සාක්ෂි නොමැතිකම හේතුවෙන්" ආර්යන් ඛාන් ඇතුළු හයදෙනෙකු නිදහස් කරන ලදී.
2021 ඔක්තෝම්බර් 2 දා මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශ නිලධාරීන් මඟී නෞකාවක් වටලන ලද්දේ එහි මත්ද්‍රව්‍ය ඇති බවට ඔත්තුවක් ලැබී ඇතැ යි පවසමිනි.
ආර්යන් ඛාන් නැවට නැගීමට පෙර ඔහුව සෝදිසි කර ප්‍රශ්න කර තිබූ අතර, අවසානයේ ඔහු NCB විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඛාන් මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් කිහිප දෙනෙකුගෙන් අයෙකු වූ අතර, සති තුනකට ආසන්න කාලයක් සිරගතව සිටියේ ය. පසුව ඔහු ඇප මත මුදාහැරිණි.
ආර්යන් ඛාන් පුරුද්දක් ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙකු බවත්, හොරබඩු සපයන්නෙකු බවත් මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය ප්‍රකාශ කිරීමත් සමග, මෙම සිද්ධිය ඉන්දියානු සමාජ මාධ්‍යවල සිරස්තලයක් බවට පත්විය.
මෙම සිදුවීම අලලා පැටලුම් සහ පෙරළි රැසක් ඇතිවිය. ප්‍රධාන සාක්ෂිකරුවෙකු චෝදනා කළේ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ දී නඩුව සම්බන්ධයෙන් තමා ලවා "බලහත්කාරයෙන්" "හිස් කඩදාසි" අත්සන් කරවාගත් බව යි.
තර්ජනය කර බියවැද්දීමේ චෝදනා හෙළිවීමෙන් පසු, විමර්ශන භාර නිලධාරියෙකු වන සමීර් වන්කෙඩේ එහි විමර්ශන කටයුතුවලින් ඉවත්කෙරිණි.
සිකුරාදා, ඛාන්ගේ නීතීඥ මුකුල් රෝහත්ගි මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, තම පුත්‍රයාගේ නිර්දෝෂීබව හෙළිවීම ෂාරුක් ඛාන්ට සහනයක් වූ බව යි. "අවසානයේ සත්‍යය ජයගෙන තිබෙනවා," රෝහත්ගි NDTV ප්‍රවෘත්ති නාලිකාවට පැවසීය.
හින්දි චිත්‍රපට කර්මාන්තය තුළ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ප්‍රකාශයන් පළවීමෙන් ඒ පිළිබඳ පරීක්ෂණයක් ඇරඹුණු අතර, 2020 වසරේ සිට බොහෝ බොලිවුඩ් නළුවන් සහ රූපවාහිනී නිවේදකයන් විමර්ශනයට ලක්විය.
2020 දී මත්ද්‍රව්‍ය නාශක ඒජන්සිය දීපිකා පදුකෝන් ඇතුළු නිළියන් හතර දෙනෙකුගෙන් ද ප්‍රශ්න කළ නමුත් ඒ කිසිවෙකුත් කිසිදු වරදක් සම්බන්ධයෙන් චෝදනා ලබා නැත.
2020 දී නිළි රියා චක්‍රබෝර්ති අත්අඩංගුවට ගැනුනේ, ඇය ඇගේ පෙම්වතා වන සුෂාන්ත් සිං රාජ්පුත් වෙනුවෙන් මත්ද්‍රව්‍ය මිලදී ගත් බවට චෝදනා කරමිනි.
34 හැවිරිදි රාජ්පුත් ඔහුගේ මහල් නිවාසයේ මියගොස් සිටි අතර, පොලිසිය ප්‍රකාශ කළේ ඔහු සියදිවි නසාගෙන ඇති බව යි.
තමා කිසිදු වරදක් කළ බව ප්‍රතික්ෂේප කළ චක්‍රබෝර්ති, අත්අඩංගුවට ගෙන මසකට පසු හිරෙන් නිදහස් විය.










